පොහොට්ටුව නාමල්ගෙ කරට

0
33

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නව තරුණ පාක්‍ෂිකයන් බඳවා ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂට විශාල වගකීම් ප්‍රමාණයක් භාරදී ඇතැයි වාර්තා වේ.

පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂත් මෙම කටයුතු නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයාට පවරා ඇත.

ඉදිරි මැතිවරණය සහ පක්ෂයේ බල ගැන්වීම් කටයුතු වෙනුවෙන් වැඩමුළු විශාල ප්‍රමාණයක් පැවැත්වීමටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත.

ඒ අනුව ප්‍රාදේශීය, දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් මෙම වැඩමුළු පැවැත්වීමට පොදුජන පෙරමුණ තීරණය කර ඇත.

පක්ෂය සඳහා තරුණ පාක්ෂිකයන් සම්බන්ධ කර ගැනීමේ කටයුතු හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වී ඇති අතර ගම් මට්ටමින් කුඩා වැඩමුළු පවත්වමින් පක්ෂයේ ප්‍රතිපත්ති පිළිබඳ තරුණ තරුණියන් දැනුවත් කිරීම නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයාගේ ප්‍රධානත්වයෙන් කෙරේ.

ඊට අමතරව නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණයෙන් පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් පක්ෂයේ බල ගැන්වීම් වැඩසටහන් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානමින් සිටී.

පොදුජන පෙරමුණේ බල ගැන්වීම් කටයුතු වෙනුවෙන් බහුතර වගකීම් ප්‍රමාණයක් පක්ෂයේ තරුණ නායකයන්ට දිය යුතු බවට පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.

එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් මෙම කටයුතු සිදුකෙරෙන බව පොදුජන පෙරමුණේ දේශපාලන ආරංචි මාර්ගවලින් කියැවේ.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය