පාන් කියා ගන්නවත් බැරි රටක කා ‘පාන්’ කියන්නේ කොහොමද?

0
31

ගෙවී ගිය මාස හය තුළත් පාන් ගෙඩිය එලෙසම තිබියදී මිල පමණක් අහස උසට නැඟුණේය. ඒ අනුව රුපියල් 50ත් 65ත් අතර මිලකට පැවැති පාන් ගෙඩිය අද රුපියල් 190ත් 300ත් අතර මිලකට අලෙවි වේ. සුපිරි වෙළෙඳසල් තුළ පාන් මිල මීටත් වඩා ඉහළ ගොස් ඇත. එනිසා දැන් පාන් කෑම කෙසේ වෙතත් පාන් කියාගන්නවත් බැරි තත්ත්වයකට මෙරට ජනතාව පත්ව සිටිති.

පාන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රධානම අමුද්‍රව්‍ය තිරිඟු පිටිය. ඒ අනුව මෙරට පාන් නිෂ්පාදනය සඳහා තිරිඟු පිටි ආනයනය සිදුවන්නේ 1960 වර්ෂයේ සිටය. පහසුවෙන් ආහාරයට ගත හැකි නිසාත් මිල පහසුව නිසාත් බත් පමණටම පාන් පරිභෝජනයටද ශ්‍රී ලාංකිකයෝ වැඩි ඇල්මක් දක්වන්නට විය. එනිසා බොහෝ නිවෙස්හි රාත්‍රි හෝ උදෑසන ප්‍රධාන ආහාරය බවට පත් වූයේ පාන්ය.

පාන් පිටි හෙවත් තිරිඟු පිටි ආශ්‍රයෙන් නිෂ්පාදනය කරනු ලබන ආහාර වර්ග රාශියකි. ඒ අතර පාන් ගෙඩියටද විවිධ විශේෂතා එක් වුණේය. එනිසා පෙට්ටි කඩයේ සිට තරු හතේ සුපිරි හෝටලය දක්වාද කුඩා, මධ්‍ය හා මහා පරිමාණ ආහාර නිෂ්පාදන සමාගම්වලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අතර ප්‍රමුඛස්ථානය පාන් පිටිවලට හිමි විය. එහෙත් ගෙවී ගිය කෙටි කාලය තුළ තිරිඟු පිටි මිල ක්‍රමක්‍රමයෙන් ඉහළ යන්නට වූ බැවින් ඒ ආශ්‍රිතව නිෂ්පාදනය වූ සියලු ආහාර ද්‍රව්‍යයන්හි මිලද ඉහළ ගියේය. පාන් මිල ඉහළ යෑම ජනතාවට තදින්ම දැනෙන්නට විය.

එනිසා පාන් සහ තිරිඟු පිටි ආශ්‍රිත අනෙකුත් ආහාර පරිභෝජනයෙන් ජනතාව විශාල වශයෙන් ඉවත් විය. මෙහි ඍජු සහ වක්‍ර බලපෑම් හේතුවෙන් බේකරි කර්මාන්තයටද විවිධ අපහසුතා අත්විඳින්නට සිදුවිය. මේ නිසාම අප මේ පිළිබඳව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතාගෙන් විමසීම් කළෙමු.

“අපේ ව්‍යාපාරයට බලපෑ ප්‍රධානම හේතුව පාන් නිෂ්පාදනය සඳහා අවශ්‍යවන අමුද්‍රව්‍යයන්ගේ මිල ඉහළ යෑම සහ හිඟකමයි. පාන් නිෂ්පාදන සඳහා ප්‍රධාන වශයෙන් තිරිඟු පිටි, මාගරින්, ෆාම් ඔයිල්, පොල්තෙල්, සීනි, බිත්තර අවශ්‍යයි. වර්තමානය වනවිට කිලෝ ග්‍රෑම් 50ක තිරිඟු පිටි මිටියක මිල රුපියල් 22,000ක් වෙනවා. ඒ කියන්නෙ පිටි කිලෝවක මිල රුපියල් 440ක් වෙනවා. මාගරින් කිලෝවක් රුපියල් 1200යි. ෆාම් ඔයිල් ලීටරය රුපියල් 1000යි. බිත්තරය රුපියල් 50යි.

සීනි කිලෝව රුපියල් 275යි. පොල්තෙල් ලීටරය රුපියල් 500යි. ඊට අමතරව ගෑස්, විදුලිය සහ වතුර මිලත් ඉහළ ගියා. පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදන බෙදාහැරීම සඳහා ඉන්ධන අවශ්‍යයි. ඉන්ධන මිලත් ඉහළ ගියා. ඉතින් පාන් ගෙඩිය පමණක් ස්ථාවර මිලක තියෙන්නෙ කොහොමද? මෙය අප හිතාමතා කළ හෝ කරන දෙයක් නෙමෙයි. අපි අපේ වියදමවත් පියවාගත යුතුයිනෙ. එසේ කිරීමේදී මෙලෙස මිල ඉහළ දැමීම හැර අපට වෙනත් විකල්පයක් නැහැ. එහෙම නැත්නම් අප මේ කර්මාන්තය වහල දාන්න ඕනෑ.

මේ වනවිටත් කුඩා සහ මධ්‍ය පරිමාණ බේකරි දෙදහසක් පමණ වසා දමා තිබෙනවා. ඉතිරි පිරිසත් මේ කර්මාන්තයෙන් ඉවත් වුණොත් බේකරි හිමියාත් මේ හරහා ආදායම් සරිකරගත් තවත් ලක්ෂ 5කගේ පමණ රැකියාත් අහිමි වෙනවා. එනිසා අපි රජයෙන් ඉල්ලීමක් කරනවා මේ අසාමාන්‍ය මිල ඉහළයෑම පාලනය කර තිරිඟු පිටි ආනයනයට අවශ්‍ය ඩොලර් නිකුත් කරන්න කියලා. ඒ වගේම මාගරින්, ෆාම් ඔයිල් වැනි අපට අවශ්‍ය ආනයනික අමුද්‍රව්‍ය සඳහා දැමූ තහනම ඉවත්කරල ඉහළ දැමූ වැට් බද්ද අඩු කරන්න කියලා එහෙම වුණොත් අපට පාන් මිල පහළ දමන්න පුළුවනි.”

 ඔහු එසේ කියද්දී අපි ඊළඟට ඉහළ යන තිරිඟු පිටි හිඟය පිළිබඳ පාරිභෝගික සේවා අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ අබ්දුල් හශීෂ්ගෙන් විමසා සිටියෙමු.

“පසුගිය කාලය තුළ මෙරටට තිරිඟු පිටි ආනයනය කරන ලද්දේ ඉන්දියාවෙන්. එහෙත් මේ වනවිට ඉන්දියාව තිරිඟු පිටි අපනයනය නතර කරලා. ඊට හේතුව එරට පවතින තොග ඔවුන්ගේ පරිභෝජනයට ප්‍රමාණවත් තරමට සීමා වී පැවැතීමයි. එනිසා අපට අනෙකුත් රටවලින් පිටි ආනයනය කරන්න සිදුව තිබෙනවා. ඒ අනුව අපට දැන් තුර්කියෙන් ඇණවුමක් ලැබෙමින් තිබෙනවා. ඒ කියන්නෙ ඉදිරි සතියේදී මේ ප්‍රශ්නය විසඳෙන බවයි.

අනෙක් කාරණය මෙය මුළු ලංකාවටම එක හා සමානව බලපාන ගැටලුවකුත් නෙමෙයි. උදාහරණයක් ලෙස කොළඹ තියෙන තරම් තිරිඟු පිටි හිඟයක් වවුනියාවේ නැහැ.

අද තිරිඟු පිටි මිල රුපියල් 275 සිට 410 පමණ වන තෙක් විවිධ මිල ගණන් යටතේ අලෙවි වෙනවා. ඒ නිසා බොහෝ දෙනෙක් තිරිඟු පිටි සඳහා පාලන මිලක් නැද්ද, ඇයි පාලන මිලක් නොදෙන්නෙ කියලා අහනවා.

ඇත්තටම මේ වෙලාවෙ පාලන මිලකට යෑම එතරම් ඥානාන්විත නැහැ. වෙළෙඳපොළ හැසිරීම පිළිබඳ අපට අත්දැකීම් තිබෙනවා. මෙවැනි අවස්ථාවක පාලන මිලක් දැම්මොත් ඒ හිඟය තවත් වැඩි වෙනවා. ඒ වගේම තියෙන තොග සඟවනවා. එයින් සිදුවෙන්නෙ පාරිභෝගිකයා තව තවත් අසරණ වීමයි. එනිසා අපි මුලින්ම පිටි ආනයනය කරගෙන නියමිත විදිහට බෙදාහැරීම් සිදුවෙන්න ඉඩ දෙමු. එවිට මිල නිරුත්සාහයෙන්ම සාමාන්‍ය තත්ත්වයට පත්වන බව අප අත්දැකීමෙන්ම දන්නවා. මේ අවස්ථාවේදී තිරිඟු පිටි තොග සඟවාගෙන හෙවත් පාරිභෝගිකයාට නිකුත් නොකරන වෙළෙඳුන් සොයාගෙන ඒ අයට අපි නියෝග කරනවා තිබෙන තොග නිකුත් කරන්න කියලා.

අපි හැමදාම මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දුන්නෙ නැහැ. මේ සියල්ල කෙටි කාලීනයි. එනිසා අපි තව ටිකක් ඉවසමු.” කියන්නා කෙසේ කීවද අසන අප දන්නේ පාන් ගෙඩියේ මිල වැඩි වීමෙන් දුක්විඳින අහිංසක පාරිභෝගික ජනතාවගේ බඩ කට ගැනය. මේ කිසිදු කාරණාවක් ඔවුන්ගේ බඩගින්නට අදාළ වන්නේ නැත.

ඒ නිසාම තවදුරටත් මෙම ජනතා ගැටලුව පිළිබඳ අපි වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දුගෙන් ප්‍රශ්න කළෙමු. 

“පාන් පිටි මිල සහ පාන් මිල ඉහළ යෑමත් හිඟවීමත් නිසා සාමාන්‍ය ජනතාව මහත් අපහසුතාවට ලක්වූ බව මම දන්නවා. අපට ජනතා ප්‍රශ්න තේරෙනවා. ඒ නිසා අප ඒ සඳහා කඩිනම් විසඳුම් ගෙන එනවා. ඒ අනුව මේ මස 20ත් 25ත් අතර මෙම පිටි හිඟය අවසන් කරන්න අප කටයුතු කරල තියෙනවා. එක්වරම ඉන්දියාව එරට පිටි අපනයනය නතර කළ නිසා මේ ගැටලුව ඇති වුණා. එවන් කාරණාවලදී අපට ටිකක් ඉවසන්න සිදුවෙනවා. මොකද ඉන්දියාවේ ආනයනය නතර වුණාම අප ඒ ආනයනය තවත් රටකට බාර දෙන්න ඕනෑ. ඉන්පසුව ඒ රටවලින් එම ද්‍රව්‍ය නිකුත් වෙන්න ඕනෑ. ඉන්පසුව ඒවා මෙරටට ළඟාවෙන්නේ නැව් මාර්ග හරහායි. ඉතිං ප්‍රවාහනයටත් කාලයක් ගත වෙනවා.

ඒ වගේම මේ නව ඇණවුමේ තොග ලැබීමත් සමඟ පිටි කිලෝවක මිල රුපියල් 50ත් 60ත් අතර මුදලකින් අඩුකරන්නත් කටයුතු කරල තියෙනවා. බොහෝ දෙනෙක් අපෙන් විමසනවා මේ වෙලොවේ මිලෙහි තීරකයා වෙළෙඳපොළද කියලා. ඇත්තටම ඒක එහෙම නැහැ. මේ මුළු ලෝකයේම භාණ්ඩ හා සේවාවන්හි මිල ඉහළ ගිය අවස්ථාවක් නිසාත් පවත්නා ඩොලර් අර්බුදය නිසාත් අප රට පවත්නා ආනයන අපනයන සීමා සහ තහනම් නිසාත් වෙළෙඳ ප්‍රජාවත් බොහෝ අපහසුතාවන්ට ලක්ව සිටිනවා.

ඒ නිසා අපි ඒ අයගේ අපහසුතාද වටහාගෙන පොදු ජනතාවටද බරක් නොවන ලෙස වෙළෙඳපොළ කළමනාකරණය කරගන්න හැකි සෑම උත්සාහයක්ම දරනවා. එනිසා හැම භාණ්ඩයකටම පාලන මිලක් ගෙන එන්න බැහැ. ලෝක ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයන් වන රුසියාව සහ යුක්රේනය මේ අවස්ථාවේ දැවැන්ත යුද්ධයක යෙදී සිටිනවා. ඒ නිසා එම රටවලින් ආහාර ආනයනය කරගත් බොහෝ රටවල් අද මෙවැනි ගැටලුවලට මුහුණ දෙනවා.”

ඉහළ ගිය බඩුමිල අනාගතයේදී අඩුවීම පිළිබඳ සුබදායී බලාපොරොත්තුවක් පොදුජන හදවත් තුළ සටහන් කරන්නට වෙළෙඳ ඇමැතිතුමාගේ ප්‍රකාශය සමත් විය. එමෙන්ම ඒ වෙනුවෙන් ගෙන ඇති ඇතැම් සැලසුම් මේ වනවිටද සාර්ථක වී ඇති බවද ඔහු පවසයි. එහෙත් ඒ සැලසුම් හා ක්‍රියාමාර්ග යථාර්ථයක් විය යුතුය. එසේ නොවුණහොත් පාන් පෙත්තකින් බඩගින්න නිවා ගන්නා දුගී දුප්පත් මිනිසුන්ට පවා සිදුවන්නේ කුසගින්නේ මියැදෙන්නටය. ඒ අවාසනාවන්ත වටපිටාව සිත් පිත් ඇති මිනිසුන් වන අපි නම් අහන්නට දකින්නට පවා අකැමැතිය.

 තනූජා සූරියබණ්ඩාර