ප්‍රේතයන් භූතයන් ඔබවහන්සේට කැමැති නැත

0
647

අපි ඇයව කුමාරි ලෙස හ¾දුන්වමු. ‍ෙදාළොස් හැවිරිදි වියේ පසුවන කුමාරිගේ මව පිළිකාවකින් මියගියාය. මව මියයෑමෙන් පසුව කුමාරිගේ පියා වෙනත් විවාහයක් සිදුකර ගත්තේය. පසුව ඔහු විදේශ ගත විය. නිවෙසහි වාසය කළේ කුමාරි සහ ඇගේ මාමාත්, වයෝවෘද්ධ ආච්චිත් පමණි.

මෙම කාලයේදී වරින්වර කුමාරිගේ මාමා කුමාරිට අතවර කළේය. තම ගැටලුව පැවැසීමට කුමාරිට  කිසිවකුත් නොසිටි අතර ඒ පිළිබඳ තේරුමක්ද ඇයට නොවීය. මාමාගෙන් සිදුවන අතවර දිනෙන් දින ඉහළ ගිය අතර ඇයට නිතරම ඇයගේ මව සිහි විය. දැඩි කනස්සල්ලකින් පසුවුණු කුමාරි දිනපතා රාත්‍රි නින්දට ගිය විට මව මැවී පෙනෙන අතර නිතර මවගේ රුව ඇගේ සිතේ සටහන් වී තිබිණි. වසර කිහිපයක් මෙසේ ගත විය. එක් දිනක් උදෑසන අවදි වනවිට කුමාරි දැඩි හිසේ කැක්කුමකට මුහුණ දුන්නාය. ඇගේ සිරුර අප්‍රාණික විය. එකවර තම මව ආවේශ වුණා යැයි ඇය පැවැසුවාය.

ඇගේ  යටිගිරියෙන් කෑ ගැසීම නිසා අසල්වාසීන්ද නිවෙසට එක් විය. පසුව මියගිය මවගේ  ස්වරූපයෙන් ඇය  මාමාට තර්ජනය කිරීමට පටන් ගත්තාය. ඒ අතරතුර පියාද ලංකාවට පැමිණි අතර ඇයගේ ආවේශයට බිය වී මාමාගෙන් සිදුවන කරදරද නතර විය. එහෙත් ඇය මාමාගෙන් සිදුවුණු කරදර නිසා දැඩි මානසික පීඩාවකට ලක්විය. එම මානසික පීඩාව ඇගේ අවිඥානයේ තැම්පත් විය. මේ සඳහා ඇය මුදල් වියදම් කරමින් දේවාල වෙත ගියත් ආවේශය සුවපත් වූයේ මනෝවිද්‍යා වෛද්‍යවරයකුගේ ප්‍රතිකාර මඟිනි.

මෙවැනි සිදුවීම් අද සමාජයේ නිතර දැකීමට ලැබෙන සුලබ කරුණු වේ. ඇතැම් විට සිදුවන මෙවැනි  සිදුවීම්  බොහෝ විට  චිත්‍රපට, ටෙලි නාට්‍යය ආදියට  පාදක වීමද අපට දක්නට ලැබේ. එසේම පසුගිය දිනෙක එක්තරා රූපවාහිනි නාළිකාවක සිදුකළ වැඩසටහනක පොල්, බිත්තර  ආදී දේවල්වලට මතුරා කෙළින් කිරීම සහ   මළගිය ඥාතීන්, යකුන්, ප්‍රේතයන්, දෙවියන් ආරූඪ වීම පිළිබඳ කතිකාවක් ගොඩනැඟුණු අතර ඒ පිළිබඳ සත්‍ය අසත්‍ය සෙවීමට සමාජයේ පුද්ගලයන් උත්සුක විය. මෙම ආරූඪයන් සත්‍යක්ද, ඇත්තටම මියගිය ඥාතීන්, දෙවියන්, ප්‍රේතයන්, භූතයන් ආවේශ වෙනවාද? බුදු දහම මිථ්‍යාව ප්‍රතික්ෂේප කළේ කෙසේද? එම ගැටලුවලට පිළිතුරු ලෙස අති පූජ්‍ය පාතේගම ඤාණිස්සර හිමියන් උන්වහන්සේගේ අදහස් මෙසේ ප්‍රකාශ කළ සේක.

ආරූඪ  වීමක් යනු මානව ඉතිහාසයේ මුල සිටම පැවත එන සිද්ධාන්තයක් බව පැරණි පොත පත කියවන විට පැහැදිලි වේ. ප්‍රාදේශීය සංස්කෘතිය හා බැඳී පවතින ආරූඪ වීම, ආවේශ වීම ලංකාවේ ඇතැම් උප සංස්කෘතීන් තුළ ප්‍රචලිතව දැකගත හැකිය. ඇතැම් ආරූඪ වීම් සමාජය පිළිගන්නා අතර ඇතැම් ආරූඪ වීම් සමාජය පිළිගන්නේ නැත. ආරූඪ වීමකින් නැති නම් ආවේශයකින් පොදුවේ සිදුවන දෙයක් ලෙස ඇතැම් අය පිළිගනු ලබන්නේ මියගිය ඥාතියෙක්, දෙවි කෙනෙක්, යක්ෂයෙක් හෝ මිථ්‍යා සත්ත්වයෙක් යම් පුද්ගලයකුගේ ශරීරය ආක්‍රමණය කර ඇති බවයි. ආරූඪයකදී පුද්ගලයකු වෙනස් භාෂාවකින් සහ වෙනස් කට හඬකින් කතා කරනු ලබන අතර යම් යම් අංග චලනද පෙන්වනු ලබයි.  ආරූඪය අවසාන වුණු පසු එය එම පුද්ගලයාට අමතක වූ බව පවසයි.

ආවේශ වීමක්, ආරූඪ වීම මිථ්‍යාවක්  බව පෙන්වා දීමට බුදු දහම හොඳම නිදසුනකි. ආටානාටිය සූත්‍රය ඒ බව මනාවට පැහැදිලි කර ඇත.

ගාවිං ඒකඛුරං කත්වා – අනුයන්ති දිසෝදිසං

පසුං ඒකඛුරං කත්වා – අනුයන්ති දිසෝදිසං

මෙම ගාථා රත්නය දක්වා තිබෙන්නේ ආටානාටිය සූත්‍රයේය. ආටානාටිය සූත්‍රය යනු බෞද්ධ සූත්‍ර පිටකයට අයත් දීඝනිකායෙහි පාථක වග්ග‍යේ නව වැනි සූත්‍රයයි. ‍මෙයින් පැහැදිලිවම දක්වා තිබෙන්නේ  බුදුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩ වාසය කරන සමයෙහි එක් අවස්ථාවක කුම්භාණ්ඩයන්ට අධිපති විරූඪ වරම් රජුත්, නාගයන්ට අධිපති විරූපාක්ෂ වරම් රජුත්, යක්ෂයන්ට අධිපති වෛශ්‍රවණ වරම් රජුත්, ගාන්ධර්වයන්ට අධිපති වූ ධෘතරාෂ්ට්‍ර වරම් රජුත් යන සිවුවරම් රජ දරුවන් විසින් තමාගේ  සේනාවන් සමඟ බුදුන් වහන්සේ බැහැ දැකීමට පැමිණි ආකාරය පිළිබඳවයි. බුදු සසුනෙහි සිවුවනක් පිරිසට අමනුෂ්‍යයන්ගෙන් සිදුවන කරදරවලින් ආරක්ෂා වීම පිණිස විපස්සි ආදී සත් බුදුන් වහන්සේලාගේ ගුණ සංගෘහිත ගාථා කිහිපයක් හා ඒවා කිවයුතු ආකාරය සම්බන්ධයෙන් වෛශ්‍රවණ වරම් රජු විසින් බුදුන් වහන්සේට පවසා ඇති අතර, එහිදී,

ඉත්ථිවාහනං කත්වා – අනුයන්ති දිසෝදිසං

පුරිසවාහනං කත්වා – අනුයන්ති දිසෝදිසං

කුමාරිවාහනං කත්වා – අනුයන්ති දිසෝදිසං

කුමාරවාහනං කත්වා – අනුයන්ති දිසෝදිසං

යනුවෙන් පවසා ඇත.

අනතුරුව නැවතත් වෛශ්‍රවණ රජු බුදු රජාණන් වහන්සේ හට පවසා ඇත්තේ,

“ස්වාමීනි, මගේ සේනාවෙහි සිටින  ප්‍රේතයො භූතයෝ ඔබ වහන්සේට කැමති නැත. ඔබ වහන්සේව පිළිකුල් කරයි. එයට හේතුව මගේ සේනාවෙහි සිටින ප්‍රේතයෝ භූතයොන්ට අවශ්‍ය වන්නේ සමාජයේ අසම්මත දේවල් කරන්න. ඔබ වහන්සේ සමාජයට උගන්වනු ලබන්නේ පංචශීලයයි. මගේ සේනාවට අවශ්‍ය වන්නේ සොරකම් කිරීම, කාමය වරදවා හැසිරීම, මුසාවාදය වැනි දේවල් කරමින් පංචශීලයෙන් සමාජ ගත නොවී පංචශීලය කඩකරන පිරිසට මෙම ප්‍රේතයෝ, භූතයෝ ඉතා කැමතියි. එම නිසා මගේ සේනාව පංචශීලය රකින භික්ෂුන්ට හරි බයයි. ඔබවහන්සේ පංචශීලය ආරක්ෂා කරන්න යැයි මිනිසුන්ට පවසන නිසා ඔබවහන්සේටත්   මගේ සේනාව කැමති නැහැ. එම නිසා පංච ශීලය රකින පුද්ගලයන් හට මෙම අමනුෂ්‍ය බලවේග හරි බයයි“

යනුවෙන් පැවසුවේය.            

බෞද්ධ ආගමෙහි උගන්වන මෙම කාරණාව සත්‍ය යැයි පිළිගැනීමට බොහෝ උදාහරණ  ඇත. අපගේ වර්තමාන සමාජයේ යම් පිරිස් ආවේශ වන ක්‍රමයන් පිළිබඳව බොහෝ වශයෙන් සාකච්ඡා කරන අතර මරණයට පත් වුණු ඥාතීන් ආවේශ වුණා යැයි පවසන ඇතැම් අයගේ ස්වභාවය සත්‍ය හැසිරීමක් වැනිය. ඇතැම් අය ඇවිදින ආකාරය, ඇඟපත සොලවන ආකාරය, කතා කරන ආකාරය, කතා කරන ශෛලීන් පිළිබඳ අධ්‍යයනය කර බලන විට බාහිරින් දකින කෙනකුට සිතෙන්නේ මෙම හැසිරීම් සත්‍ය යනුවෙනි.

ආවේශ වුණු සංකල්පයන් පිළිබඳව අපගේ සංස්කෘතික සමාජය විසින්ම අපගේ විඥානයට දී තිබේ. නමුත් බුදු දහමෙහි උගන්වන සංකල්පය වෙනත් දෙයකි. එය ගැඹුරු කතාවකි. වර්තමාන සමාජයහි මෙම ආවේශ වන සිදුවීම් පිළිබඳව සොයා බලන විට, විමසා බලන විට  සිදුවන්නේ වෙනස් කාරණාවක් බව අපට පැහැදිලිය. එයට හේතුව වන්නේ අප දකින බලන ආකාරයයි.   ඇතැම් පුද්ගලයන් තම ඥාතියා ආවේශ වුණා යැයි පවසන අතර එයට අනුගත වී බලන කල එය ඇත්තක් සේ පිටතින් දකින අයට පෙනිය හැකිය. නමුත් අවසානයේ සිදුවී ඇත්තේ  ඔහු හෝ ඇය සතුව තිබෙන ගැටලු වෙනත්  අකාරයකට සමාජයට දීමට උත්සාහ කිරීමයි. සරල වශයෙන්  අවේශ වීම යනුවෙන්  එය හැඳින්විය හැකිය.

සමාජයේ සිටින ඇතැම් අය ආවේශයක් වුණු සැණින් දිවීමට පටන් ගනියි. ඇතැම් වෙලාවට සමාන්‍ය කෙනකුට නැති තරමේ ශක්තියක් ඔහුගේ හෝ ඇයගේ ශරීරයට පැමිණෙයි. ඇතැම් විටෙක මට කනත්තට යන්නට අවශ්‍ය යැයි පවසයි.  එහෙත් මඳක් සිතන්න. ඔහුගේ දිවීම වළක්වන්නට කෙනකු නැතිනම් ඔහු දුවන්නේ නැත. ඔහුව වළක්වන්නට කෙනකු ඇතිනම් පමණක් ඔහු දුවයි. අවේශ වන ඕනෑම කෙනකු සිතන්නේ එය සමාජය පිළිගන්නා බවයි.

යම් කෙනකු  මියගිය පසුව මැරුණු කෙනාට තවත් කෙනකුට ආවේශ වීමේ හැකියාවක් නොමැති බව බුදු දහමේ පැහැදිලිව දක්වා ඇත. කෙනකු මරණයට පත් වුවොත් එම මරණයට පත්වන පුද්ගලයා වෙනත් භවයක උත්පත්තිය ලබයි. එය සතර ආකාරයෙන් බුදු දහමේ පෙන්වාදී ඇත. එමඟින් උත්පත්තිය ලබන කෙනා තවත් කෙනකුට ආවේශ විය නොහැකි බව අපට තර්ක කළ හැකිය.

සමාජයේ අප දකින පරිදි කෙනකු ආවේශ වුණ සැණින්  ඔහුට හෝ ඇයට අනෙක් මිනිසුන් බියක් මුසු ගෞරවයක් දක්වයි. ඇතැම්  නූගත් පුද්ගලයෙක්, ප්‍රඥාව අඩු පුද්ගලයෙක් මෙම අසත්‍ය සත්‍ය යැයි සිතාගෙන එයට ප්‍රතිචාර දක්වනු ලබයි. මියගිය ඥාතියකු ආවේශ වීම අසත්‍යක් යැයි එයින් මනාවට ගම්‍ය වෙයි. සාමාන්‍ය ජීවිතයේ  ගැටලු රැසක් මැද ජීවත් වන පුද්ගලයන්,  ජීවන ප්‍රශ්න වැඩි පුද්ගලයන්, ජීවත් වීමට ක්‍රමයක් නැති වුණු කල තමාගේ ගැටලු විසඳා ගැනීමට ක්‍රමයක් නැතිවුණු විට බොහෝ අවස්ථාවල   ඔහුට හෝ ඇයට සිතෙන්නේ මගේ මියගිය ඥාතියා (මව, පියා, සහෝදරයා, නැන්දා, මාමා,) වත් සිටියා නම් යනුවෙනි. එසේ කාලයක් යන විට එහි ප්‍රතිඵල ලෙස ඔවුන්ගේ මනෝභාවය නිසාම ආවේශය සිදුවන බව ඇතැම් පර්යේෂණවලින් සොයාගෙන ඇත.

සත්‍යයෙන්ම ආරූඪයකදී බාහිර බලවේගයක් යම් කෙනකුගේ ශරීරයක් ආක්‍රමණය කරනවාද යන්න බොහො දෙනකුට පැන නඟින ගැටලුවකි. සියලුම පුද්ගලයන් තුළ සිහිය, මතකය, සිය අනන්‍යතාව අතර අන්තර් සබඳතාවක් තිබෙන බවත් තාවකාලිකව මෙම අන්තර් සම්බන්ධතාව බිඳවැටීම ආවේශයකට ආරූඪයකට හේතු වන බවත් සොයාගෙන ඇත. යම් කෙනකු හට අරූඪයක් ඇති වීම සඳහා

* ආගමික විශ්වාසයන්.

* මනසෙහි ඇතිවන රෝග.

* සංස්කෘතියහි තිබෙන හැඩගැසීම්.

* මනසෙහි ඇතිවන ගැටුම්.

බලපාන බව සොයාගෙන ඇත. මෙම තත්ත්වය දිගින් දිගටම පැවතීම මඟින් මුදල් උපයා ගැනීමට හැකිවීම, සමාජයෙන් ලැබෙන වරප්‍රසාද වැඩිවීම වැනි දේවල් ආරූඪ වන පුද්ගලයාට හිමි වේ.

පුද්ගලයකුගේ  මනසෙහි  නොයෙක් ගැටුම් ඇතිවන අතර මෙම ගැටුම් මඟින් එම පුද්ගලයාගේ  මනසෙහි මානසික ආතතියක් ඇති කරයි. එම ආතතිය  නිරාකරණය කර ගැනීමට සහ ඊට මුහුණ දීමට අසාර්ථක වන යම් පුද්ගලයකු ආරූඪයකට පත්වේ. එයින් සිදුවන්නේ  මානසික ආතතිය අඩු වීමයි. උදාහරණයක් ලෙස  විරුද්ධ පාර්ශ්වය කෙරෙහි ඇති වන ආකර්ෂණය සහ මවුපිය ආදරය යන සිද්ධීන් දෙක අතර මානසික ගැටලුවකට ලක්වන යෞවනියකට කළු කුමාර දිෂ්ටිය ඇතිවිය හැකිය. එම මානසික ගැටලුව  හ¾දුනාගෙන එය විසඳා ගැනීමට උපකාරී  වීමෙන් මෙම තත්ත්වයන්  පහසුවෙන් මඟහරවා ගත හැකිය.

භීනෝන්මාදය සහ විෂාදය ආදී මානසික රෝගවල ඇති වන රෝග ලක්ෂණයක් ලෙස ආරූඪ වීම පෙන්වා දිය හැකි අතර මෙහිදී සුදුසුම දෙය වන්නේ වෛද්‍යවරයකු මුණගැසී ප්‍රතිකාර ලබාගැනීමයි. ඇතැම් අය දිගින් දිගටම ආරූඪ වන්නේ ආර්ථික වාසි වෙනුවෙනි.

මනෝපුබ්බංග මා ධම්මා – මනෝසෙට්ඨා මනෝමයා

මනස සියලු දෙයට මුල් වෙයි යනුවෙන් ධම්මපදයෙහි යමක වග්ගයේද සඳහන් කොට ඇත. පෙරදිග රටක් වන ශ්‍රී  ලංකාවෙහි ජනයා  ප්‍රේතයෝ,  භූතයෝ පිළිබඳ දැඩි විශ්වාසයක් තබති. එහි ප්‍රතිඵලයක් ලෙස මනස දුර්වල පුද්ගලයන්  දෙවියන්, යකුන් හට තිබෙන බය නිසාම ආවේශ වන බව සොයාගෙන ඇත.  ඇතැම් වෙලාවට මනසේදී සිදුවන යම් යම් රසායනික විපර්යාස නිසා නිවැරැදි සංජානනය තමාගේ මනසට නොලැබේ. ඒ හේතුවෙන්   නිවැරැදි සන්නිවේදනය තමාගේ මොළයෙහි ඉන්ද්‍රියන් වෙත ගමන් කළත් එය  මොළයට ගමන් කරන මාර්ගයේ සිදුවන යම් යම් අක්‍රමිකතා නිසාම  ඇතැම් කෙනකුට මළවුන් පෙනෙනවා, මළවුන්ගේ කටහඬ ඇසෙනවා, මළවුන් සමඟ ගනුදෙනු කරනවා යනුවෙන් පවසයි.

මෙසේ බලන විට ආවේශ වුණා යැයි පවසන කරුණ අපගේ සමාජයේ සංකීර්ණ ලෙස පැතිරී ඇත. විවිධ හේතු සාධක මත ආවේශ වන  කටයුත්ත සිදුවෙන බව මෙයින් පෙනී යයි. ඇතැම් කෙනකු ආවේශ වීමෙන් අෑත් වීමට කටයුතු කළ යුතුයි යනුවෙන්  සිතා  එයින් ඉවත් වෙනු ලබයි.  ඇතැම් අය ආවේශ වීම මුදල් ආදායමක් බව පවසමින් ශාස්ත්‍ර කීමට පෙලඹී ඇත. මෙවැනි දේවල් විශ්වාස කරනු ලබන අය මෙවැනි ස්ථානවලට ගොස් ශාස්ත්‍ර අසනු ලබයි.

යම් යම්  අකරතැබ්බයන්ට ලක්වුණු අය ආරූඪ වීමෙන් මුදල් උපයා ගන්නා අතර ලංකාවේ මෙවැනි ශාස්ත්‍ර පවසන පිරිස පිළිබඳව සංගණනයක් සිදුකළහොත් සියලු දෙනාම පවසන්නේ අසත්‍යක්  යැයි අපට හැඟී යයි.  එහෙත් එය අසත්‍යක් යැයි  පැවැසුවත් ඇතැම් අය එය තේරුම් ගන්නේ තම තමන් සතු  ඥානය තම තමන්ගේ විධිය අනුවයි. ඒ අනුව ඇතැම් අයෙක් බොරුව ඇත්ත ලෙස සලකා ක්‍රියා කරන සැටිත් බොරුව ඇත්ත කර කතා කරන සැටිත් මෙම ආවේශ වීම් තුළින් අපට දැකගත හැකිය.

මෙවැනි කාරණා ජනමාධ්‍ය තුළින් පවා ප්‍රේක්ෂකයාට හඟවා තිබෙන්නේ මේවායෙහි  ඇත්තක් තිබෙනවාය යන අදහස පෙරදැරි කොටගෙනය.  ආවේශ වන ආරූඪ වන සිද්ධීන් හට වැඩිපුරම මුහුණපානු ලබන්නේ කාන්තාවන්ය. එයට එක හේතුවක් වන්නේ කාන්තාව සමාජය තුළ පීඩනයට පත්වී සිටීමයි.

තවත් පිරිසකට දෙවි දේවතාවුන් ආවේශ වන  අතර තමන්ගේ ආගමික නායකයන්ද ආවේශ වන පිරිසක් සමාජයේ සිටිති. මෙසේ විමසන විට ආවේශය යන අදහස තුළ විවිධ පැති දකින්නට ලැබෙන අතර එය තරමක් කුතුහලය වඩවන කරුණක් නිසා මිනිසුන් එවැනි දේවල් නැරඹීමටද  පෙලඹෙති. එසේ පෙලඹෙන අය මෙවැනි දේවල් සත්‍ය  යැයි පිළිගනු ලබයි. එසේ බලන පුද්ගලයන් හට ජීවිතයේ ලොකු දැනුමක් නැත.

ආවේශ වීම, ආරූඪ වීම, මළවුන් වැසීම, යකුන් ආවේශ වනවා යැයි පැවැසීම වැඩිපුර දකින්නට ලැබෙන්නෙ ශ්‍රී  ලංකාවෙහි දකුණු පළාත ආශ්‍රිතවය. බුදු දහමට එකඟව ගත්කල යම් අයෙක් මියගිය විට ඔහුට හෝ ඇයට යම් කෙනකුගේ ශරීරයට අවේශ විය නොහැකිය. යම් ආත්මයක උපත ලබනවා විනා යම් කෙනකුට ආවේශ වීමට ඔවුන්ට හැකි වන්නේ නැත. එසේ වෙනවා යැයි කෙනකු පවසනවා නම් එය බුදු දහමට පටහැනිය.

යම් කෙනකු බුදු දහම අදහනව නම් ඔහුට අවේශය පිළිගත නොහැකිය. ආවේශය පිළිගන්නවා නම් ඔහුට හෝ ඇයට බෞද්ධයකු බවට පත්වීමට නොහැකිය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ උපාසක චණ්ඩාල යන සූත්‍රයහි මේ පිළිබඳව ඉතාම හොඳින් පැහැදිලි කර ඇත. එම නිසා ආවේශය ආරූඪය යන අදහස ඇතැම් වෘත්තීමය මාර්ගයක් බවට පත්වී ඇති අතර එය තමාගේ මනසින් මවා ගත් ප්‍රතිරූපයකි.

වෛද්‍ය මතය අනුව ඔප්පු වී ඇත්තේ ආවේශ වන පුද්ගලයන් ස්නායු දුර්වලතාවන්ගෙන් යුක්ත පුද්ගලයන් බව‍යි. ආරූඪය නැතිනම් ආවේශය කුමන වර්ගයකට අයත් වුවත් එය ඇති වන්නේ මනස තුළ ඇතිවන සංසිද්ධියක් නිසාවෙනි. කිසිදු බාහිර බලයක් එයට අදාළ නොවේ. මෙම කරුණු අනුව ඔප්පු වන්නේ ආවේශය යනු මිථ්‍යාවක් බවයි. වෛද්‍ය විද්‍යාව අනුවද මෙය තහවුරු වී ඇත.

ඹුරෙගොඩ ශ්‍රි නාගාරාම

පුරාණ විහාරාධිකාරි

ජේ‍යෂ්ඨ මහාචාර්ය දර්ශනශූරි

පූජ්‍යපාද පාතේගම ඤාණිස්සර හිමි.

සචිනි බස්නායක