පණ පිටින් සිඟිති දුවක් පෝර උරයක ඔබා පාළු පතලක වළ දැමූ අපරාධයක තරම..!

0
77

දහඩිය මහන්සිය හෙළමින් දරුවන්ගේ සුබ සිද්ධිය උදෙසා කැපවෙන මවුවරුන් අතර දස මාසයක් කුසේ හොවාගෙන අනේක දුක් විඳිමින් මෙලොවට බිහිකරන තම දරුවන් මරා දමන මවුවරුද අප සමාජයේ බහුලව දක්නට ලැබේ. තම කුසින් උපන් දරුවා මරා දැමීමට තරම් කිසියම් මවක් සැහැසි වන්නේ නම් එවන් මවුවරු මවු පදවියටද ගෙන දෙන්නේ නිගාවකි. මෙවන් අපරාධකාරි ක්‍රියාවල යෙදෙන මවුවරු බහුතරයක් දිළිඳු කාන්තාවෝ වෙති. නොයෙකුත් හේතුන් මත තම දරුවන් මරා දැමුවද අවසානයේ ඔවුහු ඒ ගැන සිතමින් අනේක වාරයක් දුක්වෙති. ළතැවෙති. හඬා වැලපෙති.

කාන්තිද එවන් මවකි. ඇයට දරුවන් තිදෙනෙකි. ඇගේ නීත්‍යනුකූල සැමියා ජීවත් වුවද ඔහු කාන්තිව නොසලකා හැර ඇතැයි සමහරු කියති. කාන්ති මැල්සිරිපුර පන්ලියද්ද ප්‍රදේශයේ ජීවත් වූ අතර නැතිබැරිකම ඇය කරපින්නා ගෙන පැමිණියේ සැමියාගේ නොසැලකීමත් සමඟිනි. දරුවන්ගේ කුසගින්න නිවා දමන්න ඇය නොගත් උත්සාහයක් නැති තරම්ය.

අවසානයේ ඇය මැල්සිරිපුර ප්‍රදේශයේම මිනිරන් පතලක රැකියාවට යන්නේ කුඩා දරුවන් නඩත්තු කිරීමට කිසිදු හව්හරණයක් නැති නිසාය. පතල් රැකියාවෙන් ලැබෙන සොච්චමෙන් ඇය දරුවන්ගේ බඩ කට පිරෙව්වද ඇත්තෙන්ම ඇයට කළ හැකිව තිබුණේ එවැන්නක් පමණි.

දැඩි ආර්ථික අහේනියකින් දරුවන් සමඟ ජීවත් වූ කාන්තිට සිරිපාල හමුවන්නේ ඔය අතරය. ඔහු ඇගේ පිහිටට එන්නේ ඇයට මෙන්ම ඇගේ දරුවන්ටද රැකවරණය ලබාදෙන බවට පොරොන්දුවක්ද දෙමිනි. සිරිපාල ඇය සේවය කරන මිනිරන් පතල බලා කියාගත් මුරකරුය. ඔහුද විවාහකයෙකි. දරුවන් පස් දෙනකුගේ පියෙකි. කලක් යද්දි සිරිපාල ඇගේ අනියම් පුරුෂයා බවට පත්වන්නේ නිතැතිනි. සිරිපාල ඇගේ දරුවන්ද බලාකියාගෙන ජීවත් වූයේ කාන්තියේ වුවමනා එපාකම්ද ඉටු කරමිනි.

කාලය මෙසේ ගෙවී ගියද සිරිපාලගෙන් ඇය බලාපොරොත්තු වූ සෙනෙහසක් ඇයට නොලැබිණි. මේ නිසා ඇය නැවතත් ප්‍රශ්න රැසකට මැදිවූවාය. සිරිපාලද සමහර දිනවලට ඔහු පදිංචිව සිටින කැලණිය ප්‍රදේශයට යන්නේ රැකියාවක් සොයාගැනීමේ අරමුණෙනි.ඉන්න හිටින්න හරිහමන් තැනක් නැතත් සිරිපාල පදිංචිව සිටියේ කැලණියට නුදුරු තැනකය. මේ නිසා කාන්ති සිටියේද ජීවිතය ගැන කිසියම් කලකිරීමකිනි.

ඉකුත් ජූලි මස හත් වැනිදා කාන්ති මැල්සිරිපුර පොලිසියට යන්නේ සිරිපාල සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කිරීමේ අදහසිනි.

“සර් මගේ බාල දුව සිරිපාල අරන් ගියා. තවම එයා ගෙදර ආවේ නැහැ. දරුවට මොනවා වුණාද දන්නෙත් නැහැ”

කාන්තිගේ පැමිණිල්ල මැල්සිරිපුර පොලිසියේ සටහන් වන අතර වැඩිදුර විමර්ශන සඳහා ඇය මැල්සිරිපුර පොලිස් ස්ථානාධිපති අශෝක ප්‍රියශාන්ත මහතා වෙත යොමුකරන ලදී. ස්ථානාධිපතිවරයා ඇගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළද ඇය පැවැසුවේ අනියම් සැමියා දියණිය රැගෙන ගියද දැරිය නැවත නිවෙසට නොපැමිණි බවය.

කාන්තිට දරුවන් තිදෙනකු වූ අතර ඇය පොලිසිය හමුවේ පැවැසුවේ තම ලොකු දියණිය උණ රෝගයෙන් පෙළීම නිසා ඇයට බෙහෙත් පෙති කිහිපයක් රැගෙන එන බව පවසමින් අනියම් සැමියා තම බාල දියණිය රැගෙන ගිය බව පමණි. කෙසේ වෙතත් ස්ථානාධිපතිවරයා මේ සම්බන්ධයෙන් විමසීමට ඇගේ නීත්‍යනුකූල සැමියාද පොලිසියට කැඳවූ අතර ඔහු පැවැසුවේ තමා බිරිය හා දරුවන් අතහැර නැති බවත් දරුවන්ට තවමත් සලකන බවත්ය. එහෙත් බිරියගේ ගති පැවතුම් ගැන ඔහුගේ එතරම් පැහැදීමක් නැති බව ස්ථානාධිපතිවරයාට වැටහිණි.

වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී කාන්ති පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරියේ පැවැසුවේ මීට දින කිහිපයකට පෙර තමා සහ දරුවන් අනියම් සැමියාගේ මිතුරකු පදිංචි රත්නපුර, දෙල්වල ප්‍රදේශයට ගොස් එම මිතුරාගේ නිවෙසේ දින කිහිපයක් නතරව සිටි බවය. දරුවන් සහ කාන්ති එම ගමනට එක්කරගෙන තිබුණේද ඇගේ අනියම් සැමියා වූ සිරිපාල විසිනි.

“එදා එයා පොඩි දුවත් අරගෙන ගියා, කඩයට ගිහින් එනවා කියලා තමයි ගියේ. ඒත් දුව ආවේ නැහැ. පස්සේ මම ලොකු දුවයි බාල පුතයි එක්ක ආයෙත් මැල්සිරිපුරට ආවා”

ඇය පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ කියා සිටියාය.

කාන්තිගෙන් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීමේදී ඇය මැල්සිරිපුර පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ තවදුරටත් කියා සිටියේ තම බාල දියණිය පාසල් නොගිය බැවින් ඒ පිළිබඳ පන්ති භාර ගුරුවරිය තමාගෙන් විමසූ බවත් එවිට තමා ගුරුවරියට කීවේ දියණිය රැගෙන ගිය පුද්ගලයා මෙතෙක් තමාට දියණිය ගෙනවිත් නොදුන් බවත්ය.

ඉන් අනතුරුව ගුරුවරියගේ දැනුම්දීම මත දියණියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට තමා පොලිසියට පැමිණි බවද ඇය පොලිස් පරීක්ෂක අශෝක හමුවේ පවසා සිටියාය.

ඒ අනුව සිද්ධිය සිදුවී ඇත්තේ රත්නපුර, දෙල්වල පොලිස් වසමේ බව වටහාගත් පොලිස් පරීක්ෂක අශෝක සිද්ධිය දෙල්වල පොලිස් ස්ථානාධිපති අමල් කීර්ති මහතාට දැනුම්දෙමින් කාන්ති පවසන දේ පිළිබඳවද ඔහු දැනුවත් කරන්නට විය. ඉන් අනතුරුව ඇගේ පැමිණිල්ල ලිඛිතව දෙල්වල පොලිස් ස්ථානාධිපතිවරයා වෙත යොමු කිරීමටද මැල්සිරිපුර ස්ථානාධිපතිවරයා පියවර ගත්තේය.

සිද්ධිය සම්බන්ධයෙන් දෙල්වල පොලිසිය විමර්ශන අරඹන්නේ එතැන් පටන්ය. ඒ අනුව දෙල්වල පොලිස් ස්ථානාධිපතිවරයා කාන්තිගෙන් ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට විය.

එම ප්‍රශ්න කිරීමේදීද කාන්ති ඔහු හමුවේද කියා සිටියේ තම අනියම් සැමියා බාල දියණිය රැගෙන ගියද තවම ඇය තමාට ගෙනැවිත් භාර නොදුන් බවත් අනියම් සැමියා කැලණිය ප්‍රදේශයේ ජීවත් වන බවත්ය.

මෙලෙස අතුරුදන්ව තිබුණේ වර්ණකුලසූරිය මුදලිගේ හංසිකා හර්ෂණී කුමාරි නම් වයස අවුරුදු හතක දැරියකි. මැල්සිරිපුර ප්‍රදේශයේ පාසලක දෙවැනි වසරේ ඇය ඉගෙනුම ලැබුවාය.

හර්ෂණී කුමාරිගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් දැරියගේ විසිනව හැවිරිදි මවගෙන් දෙල්වල පොලිසිය කිහිප වතාවක් ප්‍රශ්න කළද ඇය දිගින් දිගටම පැවැසුවේ අනියම් සැමියා වූ සිරිපාල දරුවා රැගෙන ගිය බව පමණකි. අවසානයේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත නිලධාරීන් ඇගේ අනියම් සැමියා බව කියන සිරිපාල නමැත්තා කැලණිය ප්‍රදේශයේ රැඳීසිටින බවට තොරතුරු ලබාගෙන ඔහුවද දරුවා රැගෙන යෑම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට කැඳවන්නට විය.

“අනේ සර් ඔය මුකුත් මම දන්නේ නැහැ. මගේ යාළුවෙක් හිටියා දෙල්වල. මම ඔය ගෑනියි දරුවොයි සේරම එහෙ අරගෙන ගිහින් දවස් ගාණක් හිටියා. ඒත් එහෙදි මට රස්සාවක් හොයාගන්න බැරිවුණු නිසා මම ආයෙත් කැලණියට ආවා. මම කිසිම ළමයෙක් අරගෙන ආවේ නැහැ. ඔය ගෑනි කියන්නේ අමූලික බොරු. කෙල්ලට මොනවාහරි වෙලා නම් ඔය ගෑනි සේරම දන්නවා”

සිරිපාල දිගින් දිගටම පොලිසිය හමුවේ පැවැසීමත් සමඟ හර්ෂණීගේ මව ගැන සැකයක් ස්ථානාධිපතිවරයාටද ඇතිවිය.

“ඔය ගෑනි මොනවාහරි හංගනවා. තවත් දිගටම ප්‍රශ්න කරන්න”

ස්ථානාධිපතිවරයාගේ නියෝගය මත කාන්ති නැවතත් පොලිසිය හමුවට කැඳවනු ලැබීය. එවර ඇගෙන් උපක්‍රමශීලීව ප්‍රශ්න කළ පොලිසිය බොරු බේගල් ඇදබෑවොත් හිරේ විලංගුවේ වැටෙන්නට සිදුවන බව ඇයට පැවැසීමත් සමඟ මෙතෙක් ඇය සිත් තුළ සඟවාගෙන සිටි සියලු තොරතුරු එකක් නෑර ස්ථානාධිපතිවරයා හමුවේ පවසන්නට වූවාය. ඒ අනුව නිලධාරීන් හෙළිකර ගත්තේ හත් හැවිරිදි හර්ෂණී දියණිය මරා දෙල්වල ගඟ පතල ප්‍රදේශයේ පතල් වළක වළ දමා ඇති බවය. වැඩිදුරටත් ඇගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඇය පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ කීවේ දැරිය මියගියේ නිවෙසේ හිමිකරු සිදුකළ පහරදීමකින් බවත්ය. පසුව ඇගේ සිරුර පොහොර උරයක දමා වළ දැමූ බවත් ඇය පොලිසිය හමුවේ පවසා සිටියාය.

“තමන්ට එතැන පෙන්නන්න පුළුවන්ද?”

ස්ථානාධිපතිවරයා ඇගෙන් විමසා සිටි අතර ඇය දියණිය වළ දැමූ ස්ථානය පොලිසියට පෙන්වීමටද ඉදිරිපත් වූවාය. ඉන් අනතුරුව පොලිසිය ඇගෙන් දීර්ඝ ප්‍රකාශයක්ද ලබාගත් අතර දැරිය ඝාතනයට හවුල් වූ පිරිස ගැන තොරතුරුද ඇගෙන් ලබාගත්තේය.

දැරිය ඝාතනය කළ බව කියන ප්‍රධාන සැකකරු දෙල්වල පොලිස් වසමේ පදිංචිකරුවෙක් වූ අතර ඔහු නීත්‍යනුකූල බිරියට අමතරව තවත් අනියම් බිරියක් සමඟ සිය නිවෙසේ එකට ජීවත්ව ඇති බවද පොලිසිය අනාවරණය කරගත්තේය. නීත්‍යනුකූල බිරියට දාව ඔහුට පුතකු සිටින අතර ඔහු සමඟ පවුල්කන අනෙක් බිරිය ගැබිනියක් බවද පොලිසියට දැනගන්නට ලැබිණි. කෙසේ වෙතත් ඒ වන විටත් ප්‍රධාන සැකකරු දහහත් හැවිරිදි දැරියක් අපයෝජන කිරීමේ වරදට දෙල්වල පොලිසිය මඟින්ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියදී බන්ධනාගාරයෙන් පැනගොස් තිබූ අතර ඒ වනතෙක් ඔහු කොටුකර ගැනීමට පොලිසියට හෝ බන්ධනාගාරයට නොහැකි වී තිබිණි.

ඒ අනුව සැකකරුගේ දෙල්වල නිවෙසට ගිය පොලිසිය නිවෙසේ සිටි සැකකරු සමඟ ජීවත් වූ ගැබිනි  බිරිය අත්අඩංගුවට ගත් අතර ඇගෙන් සහ හර්ෂණීගේ මවගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවූයේ මෙවන් කතාවක්ය.

රත්නපුර දෙල්වල පදිංචි මෙම සැකකරුට කාන්තිගේ අනියම් පුරුෂයා වූ සිරිපාල මුණගැසී ඇත්තේ අහම්බෙනි. ඒ සැකකරු කිසියම් අවශ්‍යතාවකට කැලණියට පැමිණි මොහොතකදීය. එතැන් පටන් දෙදෙනා අතර ඇතිවූයේ මිතුදමකි.

“දවසක වරෙන් අපේ ගෙවල් පැත්තේ”

ඇති වූ හිතවත්කම මත ප්‍රධාන සැකකරු සිරිපාලට එසේ පැවැසූ අතර සිරිපාල ඊට ප්‍රතිචාර දෙමින් කියා සිටියේ තමා දරු තිදෙනකු සිටින මවක් සමඟ ජීවත්වන බවත් එබැවින් ඔවුන්ද සමඟ දෙල්වලට පැමිණීමට අදහස් කරන බවත්ය.

“අවුලක් නැහැ. කට්ටිය එක්කම එන්න දවස් දෙක තුනක් ඉඳලා යන්නත් එක්ක.”

ප්‍රධාන සැකකරුගේ එම ඇරයුමත් සමඟ මීට මාස තුනකට පෙර සිරිපාල සිය අනියම් බිරිය සහ දරුවන්ද සමඟ දෙල්වලට ගියේ දවස් දෙක තුනක් මිතුරාගේ නිවෙසේ නතර වීමේ අදහසින්ය.

දෙල්වල පදිංචි සැකකරු සිරිපාල, බිරිය සහ දරුවන් සාදරයෙන් පිළිගෙන ආහාරපාන වලින් සංග්‍රහ කළ අතර දින කිහිපයකට පසු සිරිපාල නැවත කැලණිය බලා ගියේ බිරියත් දරුවනුත් මිතුරාගේ නිවෙසේ නතර කරමිනි.  ඒදවස් දෙක තුනකට පසු නැවත දරුවන් හා බිරිය රැගෙන ඒමට දෙල්වලට පැමිණෙන බව පවසමින්ය.

කෙසේ වෙතත් ඒ වන විට ප්‍රධාන සැකකරුගේ නීත්‍යනුකූල බිරියත් ගැබිනි බිරියත් එක නිවෙසේ සැකකරු සමඟ පවුල් කමින් සිටි අතර වැඩි කලක් යන්නට මත්තෙන් කාන්තිද සැකකරුගේ අනියම් බිරියක් බවට පත්විය. මෙය සෙසු බිරියන්ට එතරම් ගැටලුවක්ද නොවීය.

කාලය මෙසේ ගෙවී ගියේය. සැකකරුගේ නීත්‍යනුකූල බිරියට දාව උපන් පිරිමි දරුවා සහ කාන්තිගේ දෙවැනි දියණිය කෙළි ‍ෙදාළෙන් කාලය ගත කළ අතර ඔවුන් අතර පොඩි පොඩි ගැටුම්ද ඇති වන්නට විය.

“ඔය අතරේ දවසක් ඔය සැකකරුගේ නීත්‍යනුකූල බිරිය දරුවට කන්න පැණි වළලු වගයක් ගෙනත් තිබෙනවා. ඒ පැණි වළලු හොරෙන් කෑවා කියලා සැකකරු ඔය පුංචි හර්ෂණී දැරියට හොඳටම ගහලා තිබුණා”

“තවත් දවසක සැකකරුගේ පුතාට මැණික් ගලක් වගේ දෙයක් හම්බවෙලා එයා ඒක ගෙදර තැනක හංගලා තියෙනවා. ඒක දැකපු මේ දැරිය හංගපු තැනින් ඒ මැණික් ගල අරගෙන කොහාටද විසි කරලා. ඒක දැනගත්ත සැකකරු ඒ දැරියට කුරුඳු කෝටුවක් කැඩෙනතුරුම ගහලා තියෙනවා”

‘මේ පහරදීම නිසා ඇය දැඩි ලෙස රෝගාතුර වෙලා. ඒ වෙලාවේ මේ ගෙදර සැකකරුගේ නීත්‍යනුකූල බිරියත් ගැබිනි කාන්තාවත් හර්ෂණීගේ මවත් ඉඳලා තියෙනවා.’

“පහරදීම නිසා දැරියට තදින් උණ හැදිලා.  ඒත් එක්කම දැරියගේ මව දැරිය නාවලත් තියෙනවා. ඒත් ඇය කතාබහ කරලා නැහැ. ඇය සිහිමූර්ඡා වෙලා තමයි ඉඳලා තියෙන්නේ.”

ඒ වෙලාවේ පොලිස් නිලධාරීන් කිහිප දෙනකු කසිප්පු අල්ලන්න ඔය පැත්තට ගිහින් තිබුණා. ඒකට බයවුණු  සැකකරු අසනීප දියණිය පහළට අරන් යන්න කියලා දැරියගේ මවට කියලා තියෙනවා. ඒ වෙලාවේ දැරියගේ මව දැරියත් අරගෙන පහළට ගිහින් දරුවා ඔඩොක්කුවේ තියාගෙන ඉන්නකොට දරුවගේ හිස පැත්තකට කඩා වැටිලා.”

පස්සේ දරුවා හවස් වෙනකම්ම එහෙම තියාගෙන ඉන්නකොට සැකකරුත් නීත්‍යනුකූල බිරියත් එතැනට ඇවිත් තියෙනවා.”

සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකදී විමර්ශන සිදුකළ නිලධාරියකු හත් හැවිරිදි හර්ෂණී දැරියට සිදුවූ දේ  එලෙස පැහැදිලි කරන්නට විය.

කෙසේ වෙතත් හර්ෂණී දැරිය සිහිසුන්ව සිටියේද  මියගොස් සිටියේද යන්න ප්‍රධාන සැකකරුත් ඔහුගේ බිරියත් නියත වශයෙන්ම දැන සිටියේ නැත. කෙසේ හෝ හර්ෂණී මියගිය බවට නිගමනය කළ ප්‍රධාන සැකකරු දැරියගේ සිරුර පොහොර කවරයකට දමා එතැන් සිට මීටර් තුන්සියයක් පමණ දුරක් ඔසවා ගෙනගොස් ඇත. ඉන් අනතුරුව දැරියගේ සිරුර අතහැර දැමූ මැණික් පතලක් අසලට රැගෙන ගොස් එම පොහොර උරයට ගල්කැබලි දමා පොහොර උරය පතල්වළට දමා ඇතැයි පොලිසිය කළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ. ඒ මොහොතේ ප්‍රධාන සැකකරුගේ නීත්‍යනුකූල බිරියත් දැරියගේ මවත් ප්‍රධාන සැකකරුට දැරිය වළදැමීමට ආධාර අනුබල දී  ඇතැයිද හෙළි වී ඇත. ඒ බව සැකකාරියන්ගේ ප්‍රකාශවලින්ද අනාවරණය වී තිබිණි.

මේ අතර ඒ වන විට නිවෙසේ රැඳී සිටි සැකකරුගේ ගැබිනි අනියම් බිරිය නිවෙසට වී  දැරිය වළ දැමූ ස්ථානයට කිසිවකු  පැමිණෙන්නේදැයි ඔත්තු බලමින් සිට ඇති බවත් පොලිසිය කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

දැරිය වළ දැමීමෙන් අනතුරුව නැවත නිවෙසට ගිය පිරිස කිසිත් නොදන්නවුන් සේ  කාලය ගත කර ඇති අතර ඊට ටික දිනකට පසු කාන්ති යළි මැල්සිරිපුරට පැමිණියේ සෙසු දරු දෙදෙනාද සමඟිනි. නංගී කොහේදැයි ඇගේ වැඩිමහල් සොහොයුරිය මවගෙන් විමසද්දි ඇය පවසා ඇත්තේ නංගී සිරිපාල මාමා සමඟ ගමනක් ගිය බව පමණි.

සෙසු දරුවන් සමඟ මැල්සිරිපුරට පැමිණි කාන්ති කිසිත් නොදත්තියක් සේ නිවෙසේ රැඳෙද්දී ඇගේ බාල දියණිය පාසල් නොපැමිණීම ගැන පන්තිභාර ගුරුවරිය දිගින් දිගටම විමසීමේ ප්‍රතිඵලයක් ලෙස දැරිය අනියම් සැමියා විසින් රැගෙන ගිය බව කියමින් බොරු පැමිණිල්ලක් ඇය මැල්සිරිපුර පොලිසිය වෙත ඉදිරිපත් කර තිබුණාය.

කෙසේ වෙතත් පොලිසිය මෙම අබිරහස් ඝාතනය සොයාගෙන ඇත්තේ දැරිය මරා දමා මාස තුනකට පසුවය. එමෙන්ම පොලිසිය සැක කරන්නේ දැරිය පණපිටින් වළදැමීමට මොවුන්  කටයුතු කර ඇති බවත්ය.

සිද්ධිය සම්බන්ධයෙන් හර්ෂණීගේ මව සහ ප්‍රධාන සැකකරුගේ අනියම් ගැබිනි බිරිය සැකපිට අත්අඩංගුවට ගෙන ආධාර අනුබල දීමේ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සිද්ධිය රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත දැරිය මරා වළ දැමූ ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා ඇති අතර මහෙස්ත්‍රාත්වරයාගේ සහ රත්නපුර ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා ඉදිරියේ අද (11දා) දැරියගේ සිරුර ගොඩගැනීමට නියමිත බව දෙල්වල පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ස්ත්‍රී දූෂණ ළමා අතවර. ඇසිඩ් ගැසීම්, හොරකම් සහ නීති විරෝධී මත්පැන් ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබූවකු බවත් ඔහු සහ නීත්‍යනුකූල බිරිය මේ වන විට සැඟව සිටින බවත් පොලිසිය අවධාරණය කළේය.

කෙසේ වෙතත් සැකකාර අඹුසැමි යුවළ අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයිද වාර්තා වේ.

රත්නපුර පොලිස් කොට්ඨාසය භාර පොලිස් අධිකාරි සේනක වීරසිංහ, සහකාර පොලිස් අධිකාරි අජිත් කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත දෙල්වල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමල් කීර්ති මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක රුවන් පතිරණ, කොස්තාපල් වීරසිංහ (38754) හා කාන්තා පොලිස් කොස්තාපල් ලක්මාලි (12284) ඇතුළු කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ විමර්ශනවලට සහභාගි වූහ.

සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණය මැල්සිරිපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක ප්‍රියශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් පැවැත්විණි.

මෙහි ඇති පුද්ගල නාම මන–කල්පිත ඒවාය.  පොලිස් පරීක්ෂණ ඇසුරෙන් සකස් කෙරිණි.

කීර්ති මෙන්ඩිස්

පින්තූර _ පල්ලේබැද්ද – සිසිර පීල්ලදෙණිය