දේව මැවුම් බලයේ ප්‍රතිමූර්තිය ස්ත්‍රියයි

0
88

කාන්තාවකට සමාජයේ හිමි විය යුතු තැන කොතැනද යන්න එදා මෙන්ම අදත් සමාජය තුළ විවිධ කතිකාවන් ගොඩනැඟී ඇත. එහිදී කාන්තාවකට ලැබිය  යුත්තේ නිසි තැනද සම තැනද යන කරුණ විවාද සම්පන්නය. මැක්සිම් ගෝර්කි පවසා ඇත්තේ “හිරුගේ රැස්වලින් සහ මවගේ කිරිවලින් ලෝකය නිර්මාණය වී ඇති බවයි.” මෙලොව එළිය දකින ඕනෑම මිනිසකුට මිනිස් ජීවය දෙන්නේ මවු කිරිය. එම අසීමිත ශක්තිය මිනිසකුට දෙන්නේ ගැහැනියයි. එහෙයින් කාන්තාවන් යනු ඊළඟ පරපුර බිහි කරන සහ මනුෂ්‍ය සංහතියෙහි පැවැත්ම තීන්දු කරන්නියයි.

බොහෝ හින්දු ග්‍රන්ථ තුළ ස්ත්‍රියක් වර්ණනා කරන්නේ දෙවියන්ගේ මැවුම් බලයේ ප්‍රතිමූර්තියක් ලෙසය. එසේම මුළු විශ්වයම නිර්මාණය කරන්නේ කාන්තාව බැවින් ඒ සඳහා දෙවියන් වහන්සේ සතු ආදරය, යහපත් ගුණාංග, ශක්තිය, අලංකාරය, පරිත්‍යාගය වැනි දිව්‍යමය ගුණාංග ස්ත්‍රියකට ලබාදෙන බවද වේදයන්හි දක්වා ඇත. පිරිමියා ශක්තිමත් ලෙස මවා තිබෙන්නේ කාන්තාවක් ආරක්ෂා කිරීම සඳහා බව භගවත් ගීතාවෙහි සඳහන් වේ. තවද කාන්තාවන් සතු මෙම අරුම පුදුම ගුණාංග නිසාම ඇයට ඉතාම සැලකිල්ලෙන්, ගෞරවයෙන් සලකන ලෙස භගවත් ගීතාව මඟින් සමාජයට පණිවුඩයක් ලබාදී ඇත.

හින්දු ජනප්‍රවාදවල සහ පුරාවෘත්තවලට අනුව වෛදික කාලය කාන්තාවකට සමෘද්ධිමත් කාලයකි. ගාර්ගි, මෛත්‍රි වැනි ශේ‍ර්ෂ්ඨ කාන්තාවන් එකල සිටි අතර කාන්තාවන් ආධිපත්‍ය දැරූ පවුල් සංස්ථාවක් එකල පැවැතුණි. හින්දු ආගමෙහි කාන්තාවන් ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට බෙදා දක්වා ඇති අතර අන් ආගම්වලට සමානව කාන්තාවන් හට හිමි විය යුතු ස්ථානය ඇයට ලබාදී ඇත.

එම කොටස් කිහිපයනම්,

පද්මිනී (නෙළුම් මලක් වැනි කාන්තාව)

මෙම කාන්තා වර්ගය සමාජයේ වෙසෙන දුර්ලභ ස්ත්‍රීන් වර්ගයකි. පද්මිනී ගණයට අයත් වන මෙම කාන්තාව අලංකාර රූ සපුවක් හිමි ඉතා භක්තිවන්ත, කරුණාවන්ත ගුණාංගවලින් යුක්තය. ඇය සතු මෙම අපූර්ව ගතිගුණ නිසාම නෙළුම් මල්වල සුවඳ ඇයට ආදේශ කොට ඇත. උපතින්ම වටකුරු මුහුණක් හිමි ඇයගේ නාසය, කන්, තොල් කුඩාය. එවැනි කාන්තාවන් හට සමාජයේ ආකර්ෂණය නිරන්තරයෙන් හිමි වේ.

චිත්‍රාණි (කලා කාන්තාව)

ස්වභාවයෙන්ම බුද්ධිමත්, වටකුරු හිසක් සහ ක්‍රියාශීලී ඇස් තිබෙන, මෙම කාන්තාවන් වෙහෙස මහන්සි වී වැඩ කිරීමට කැමැති නැත. නමුත් ස්වාමිපුරුෂයාට ඉතා හොඳ බිරියක් වන ඇය ඉතා විශ්වාසවන්ත සහ තම ස්වාමි පුරුෂයා සතුටින් තැබීමට කැමැති කාන්තාවකි. ඉතා අලංකාරවත් ලෙස ඇඳුම් ඇඳීමට ප්‍රිය කරන, නිය ආලේපන භාවිත කරන, විවිධ වර්ගයේ පාවහන් පලඳින ඇය නිතරම අන් අයගේ නෙත් පැහැර ගන්නා දසුනක් සහිත ස්ත්‍රියකි.

හස්තිනී (ශක්තිමත් කාන්තාව)

මෙම කාන්තාවන් නිරෝගී වන අතර ශරීරය තරමක් විශාලය. කෑමට දැඩි ප්‍රියතාවක් දක්වන මොවුන් නිතරම වාසය කරන්නේ ගෘහය ආශ්‍රිතවය. එහෙත් සමාජගත වීමට ප්‍රියතාවක් දක්වන ඇය සමඟියෙන් වාසය කිරීමට ඉතා කැමැතිය. තොල්, කන්, බෙල්ල ගන වන ඇයගේ ඇස් කුඩාය.

ශංකිනි (නිර්භීත කාන්තාව)

අන් කාන්තාවන්ට වඩා තරමක් උසින් යුතු මෙම කාන්තාව කතා කරනු ලබන්නේ ඉතා ඝෝෂාකාරීවය. එහෙත් ඇය සතුව තීක්ෂණ බුද්ධියක් ඇත. ස්වාධීන වශයෙන් ජීවත්වීමට කැමැත්තක් දක්වන ඇය යම් දෙයකට ඉක්මනින් පොලඹවා ගැනීමට සහ කෝපයට පත් කිරීමට තරමක් අපහසුය. ඉතා අලංකාරවත් ශරීරයකින් යුතු ඇය ඕනෑම ස්ථානයක නායකත්වය දැරීමට මැළි නොවේ.

සද්මිනී (භයානක කාන්තාව)

සාමාන්‍ය ශරීර හැඩයෙන් යුතු මෙම කාන්තාවන් ඉතා පහසුවෙන් බියට පත්වේ. එසේම ඔවුන් ඉතා ලැජ්ජාශීලීය. තම ස්වාමිපුරුෂයා සතුටු කිරීමට උපරිම උත්සාහයක යෙදෙන ඇය නිතරම සතුටින් සිටීමට උත්සාහ කරන්නීය.

මෙත්‍රායිනි (අවාසනාවන්ත කාන්තාව)

නිතරම වෙහෙස මහන්සි වී වැඩ කරන ඔවුන් අලංකාරවත් රූ සම්පත්තියකට උරුමකම් කියනු ලබන අතර ඉතා ආකර්ෂණීයයි. නමුත් ඔවුන්ට හිමි වන ස්වාමිපුරුෂයා ඉතා නපුරු සහ දුර්වල කෙනෙකි. එබැවින් ඔවුන්ගේ පවුල් ජීවිතය ඉතා අරගලකාරීය.

සෑම කෙනකුම ඔවුන් වෙත පහසුවෙන් ආකර්ෂණය වන අතර එම කාන්තාවන් දුරස්ථව සිටීමට දැඩි ප්‍රියතාවක් දක්වයි.

භගවත් ගීතාවට අනුව යම් කෙනකු සෑම විටම කාන්තාවට ගරු කළ යුතුය. යම් කාන්තාවක් විසින් වරදක් කළත් ඇයට සමාව ලබාදිය යුතුය.

ඉන්දියානු සමාජයෙහි හින්දු දහමට අනුව ස්ත්‍රී-පුරුෂ සමාජභාවය විමසීමේදී අතීතය දෙස අවධානය යොමු කිරීම ඉතා සුදුසුය. ස්ත්‍රියකගෙන් තොරව පිරිමියකුගේ පැවැත්මක් නොමැති බව එකල සමාජීය මතයයි. එසේම ස්ත්‍රී පාර්ශ්වයේද ජීවිත අලංකාර වන්නේ පුරුෂයන් නිසාය. හින්දු ආගමට අනුව කාන්තාව මැවීම පිළිබඳව අපූරු ආකාරයෙන් විග්‍රහ කොට ඇත. හින්දු පුරාවෘත්තවලට අනුව විශ්වකර්ම දිව්‍යපුත්‍රයා ගැහැනිය මැවීමේ අවස්ථාවට පැමිණි විට ඇය මැවීමට ගන, ද්‍රව කිසිවක් නොපැවැතුණ හෙයින් පරිසරයේ සුන්දරත්වය එකතු කර ගැහැනිය මවා ඇති බව දක්වා ඇත. එය අපූරු ආකාරයෙන් අලංකාර වචන මාලාවකින් පෙන්වා දී ඇත. එනම්,

–             චන්ද්‍රයාගේ ගෝලාකාරයද

–              ලතාවන්ගේ නැමිද

–              පඳුරුවල ඇලෙන ස්වභාවයද

–              බටලීයේ කම්පනයද

–              පුෂ්පයන්ගේ පුබුදුවද

–              කොළවල සැහැල්ලුවද

–              මුවන්ගේ බැලුම්ද

–              හිරු රැස්වල කෙළිමත් ප්‍රීතියද

 –             සුළඟේ චපල බවද

–            හාවාගේ බියසුලු බවද

–              ගින්නෙන් උණුසුම් බවද

–             හිමෙහි සීතලද

ආදී වශයෙන් ස්ත්‍රිය මවා ඇති බව සඳහන් කර ඇත. මෙම මැවීම තුළ ඇත්තේ කාන්තාවට කාන්තාවක් වීම නිසා උරුම වන ගති සිරිත් ස්වභාවය පිළිබඳවය. ඒ තුළින් සමාජය ආරම්භයේදීම කාන්තාව සුකොමළ චරිතයක් ලෙසින් හුවා දක්වා ඇත.

ඍග් වේදයේ සඳහන් කර ඇත්තේ ගෘහයේ සොබා සම්පන්න බව තහවුරු කරන්නේ ස්ත්‍රියගේ පැවැත්මෙන් බවයි. තවද ඉන්දියානු සමාජය තුළ කාන්තාවට විශේෂිත වූ පූජාවක් ලෙස සති පූජාව නම් කර ඇත. බෞද්ධ, කතෝලික, ඉස්ලාම් ආගම් තුළ මෙන්ම හින්දු ආගම තුළද කාන්තාව උසස් ලෙස සලකා ඇති බවත් ඇයට සුදුසු ස්ථානය ලබාදී ඇති බවත් මෙම කරුණු කාරණා තුළින් මනාවට ඉස්මතු වේ.

හින්දු ආගම තුළ ශිව දෙවියන් අදහන අතර ඊට සමාන ගරුත්වයකින් පාර්වතී දේවියද අදහනු ලබයි. හින්දු නිවෙසක පුද  පූජා කටයුතුද නිරතුරුව සිදු කරන්නේ කාන්තාව විසින් වන අතර කාන්තාවට සුදුසු පරිසරයක් තැනීමට හින්දු දහමද මඟ පෙන්වා ඇති බව ඉහත කරුණු තුළින් ගම්‍ය වේ.

ආගමික සංස්ථාවන් තුළින් කොපමණ ගැහැනියක් ආරක්ෂා කර ඇයට සුදුසු තැන ලබා දුන්නත් අද සමාජයේ කාන්තාවකට හිමි තැන දකින විට දැනෙන්නේ ඉතා කනස්සල්ලකි. හුදෙක්ම තමා ගොඩනංවා ගැනීමට කාන්තාවට හැකියාවක් ඇත. ඉන් එහාට වෙනස් කළ යුත්තේ සමාජ චින්තනයයි. හැකි සෑම තැනකදීම සමාජයක් ලෙස අවැසි තැන්වලදී ඇයට සහාය ලබාදිය යුතුය. ආගමික චින්තනයන්ද උපයෝගි කොටගෙන වර්තමාන සමාජයේ කාන්තාවකට නිසි තැන ලබාදීම සමාජයේ වගකීමකි.

සචිනි බස්නායක