දකුණතින් දෙන දෙය වමතට නොපෙන්වව

0
49

අපේ ජීවිත කාලයේ ප්‍රධාන අවස්ථා තුනක් තිබෙනවා. ඒ උපත, විවාහය සහ මරණයයි. මින් අපි කැමැති දවසක, කැමැති වේලාවක තෝරා ගන්නේ විවාහය පමණයි. එය එසේ නොවෙන්නත් පුළුවන්. උපත සහ  මරණය සිදුවන්නේ අපට කැමැති දවසක, වෙලාවක, අවස්ථාවක නොවෙයි.

අපි දන්නවා පුංචි දරුවකුගේ උපන් දිනයක් තිබෙන කොට දරුවා ඉගෙන ගන්න පන්තියේ සියලුම දරුවන්ට, ගුරුවරුන්ට රස කැවිලි බෙදනවා. සතුට ප්‍රකාශ කරනවා. සුබ පතනවා. සෙත් පතනවා. එදාට ඒ දරුවාට වගේම අනෙක් සෑම දෙනාටමත් ප්‍රීතිමත් දවසක්. ඒ සැමරුම තිබෙන දරුවට තෑගිබෝග දෙනවා. ඒ සෑම දෙයකින්ම ප්‍රකාශ වන්නේ ප්‍රීතිය, සමඟිය හා සුහදතාවයි.

“දැන් උපන් දින සැමරීම කෙසේ වෙතත් එදා වේලවත් කන්න අමාරුයි” මේ වටින් ගොඩින් ඇහෙන කතා. ජීවන වියදම අහස උසට නොවෙයි, ඊටත් එහා ගියා කියලයි දැනෙන්නේ. නමුත් ඔය අතරේ “මගේ කාර් එකට මගේ පෙට්රෝල්” කියලා තමන්ට රිසි සේ සාද පවත්වන අයත් සිටිනවා.

ඒ සාදවලට අංක එක විදේශීය මත්පැන්, අංක දෙක ඒත් විදේශීය මාංස වර්ග. ඒ වගේම වත්ත වටේ හෝ සාදය පවත්වන හෝටලය පුරාම දවල් රෑ තිස්සේ වර්ණවත් විදුලි බුබුළින් සරසනවා. හතර වටේටම ඇහෙන්න සංගීතය සපයනවා. කන්න බොන්න ඕනෑතරම් තිබෙනවා විතරක් නොවෙයි නාස්ති වෙන තරමට තිබෙනවා. අපි අහල තිබෙනවානේ විශාරද ගුණදාස කපුගේ සූරීන්ගේ ගීතයක කොටසක් තිබෙනවා “එන්න කන්න බොන්න මිහිරේ…. සැමටයි ආරාධනා” කියලා. හරියට අන්න ඒ වගේ. එතකොට මේ සාදයට සහාභාගි වෙන්නේ කවුද? තමන්ට හිතවත් ඥාති සබඳකම් ඇති අය පමණයි.

සමහර අයගේ උපන් දිනය සමරන විට ඒ අය දන්නෙත් නැහැ, ඒ සාදය සංවිධානය කරන්නේ කවුද කියලා. එන යන අය ඇතැම් විට හඳුනන්නෙත් නැහැ. ඒ එන අමුත්තන් වුණත් උපන් දිනය සමරන අයව හඳුනන්නෙවත් කතා බහක්වත් නැහැ. ඒ අය සිටින්නේ වෙනම පාට පාට ලෝකයක.

මේ කාලේ එවන් උත්සව සාද සංවිධානය කළත් ඊට සහභාගි වන පිරිස බොහොම අඩු බවක් දැක ගන්න ලැබෙනවා. ගමන් ගාස්තු වියදම්, ඉන්ධන වියදම් වගේම අතරමඟ ගමනටත් ලොකු මුදලක් වැය වන නිසා දැන් ඉස්සර වගේ ලොකු උනන්දුවකින් ඒ අවස්ථාවලට සහභාගි වන අය බොහොම අඩුයි.

අපි දන්නවා කොරෝනා වසංගතය දරුණු මට්ටමට තිබුණ කාලේ එහෙම සහභාගි වීමට හැකියාවක් තිබුණේ නැහැ. ඒ දවස්වල පුංචි දියණියකගේ උපන් දිනයක් තිබුණා. ඒ උපන් දිනය සමරන්න පන්සලේ හාමුදුරුවරුන්ට උදෑසන හීල් දානයක් පිළිගන්වනවා. අහල පහළ ගෙවල්වලට රසකැවිලි ගිහින් දෙනවා. වසර ගණනාවක් කළේ එහෙමයි. නමුත් කොරෝනා වසංගතය නිසා පන්සලට දන් පිළිගන්වන්න අපහසු තත්ත්වයක් ඇති වුණා. ඒ මවුපියන් නගරයේ වැඩිහිටි නිවාසයට තේ පැන් සංග්‍රහයක් පුද කරන්න අදහස් කළා. වැඩිහිටි නිවාසයේ පාලකතුමිය ඊට අවසර දුන්නා. අදාළ බල පත්‍රයත් අරගෙන, සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවලට අනුකූලව පමණක් දෙතුන් දෙනකුට පැමිණෙන්න එතුමිය උපදෙස් දුන්නා.

මවුපියන් නගරයේ පොලිස් ස්ථානයේ ප්‍රධාන නිලධාරිතුමන් හමුවුණා. අවශ්‍ය කාරණය කිව්වා. එතුමා ඒ මොහොතෙම අදාළ පොලිස් මුරපොළවලට පණිවුඩය දැනුම් දුන්නා. ඊට පස්සේ වෙළෙඳපොළෙන් අවශ්‍ය රසකැවිලි මිලදී ගත්තා. තල කැරලි, මාෂ්මෙලෝස්, විස්කෝතු, කෙසෙල් ගෙඩි එක්ක තවත් කෙටි ආහාර මධ්‍යම ප්‍රමාණයේ පොලිතින් මලුවලට දාලා, සියල්ල සකස් කර ගත්තා.

සේරම මලු දෙසීයක් පමණ තිබුණා. වැඩිහිටි නිවාසයේ මවුපියන් ඒ තේපැන් සංග්‍රහයට ගොඩක් සතුටු වුණා. දියණියට සුබ පැතුවා, සෙත් ප්‍රාර්ථනා කළා. එතන සියලු දෙනාටම රස කැවිලි මලු හැටක් පමණ දුන්නා. ඊට පස්සේ සීමාසහිත කාලයක් තුළ සංචරණ සීමා බලපත්‍රයට අනුව නැවත ගෙදර එන ගමන් පොලිස් මුරපොළේ වාහනය නතර කළා. අම්මයි, තාත්තයි සිඟිති දියණියගේ උපන් දිනයට සූදානම් කළ රසකැවිලි මලු පොලිස් නිලධාරි මහත්වරුන් ඇතුළු ත්‍රිවිධ හමුදා සහ ආරක්‍ෂක නිලධාරි මහත්වරුන්ට තිළිණ කළා.

එක් නිලධාරිතුමකුට රසකැවිලි මලු තුන හතරක් දුන්නා. “අද හවස අපිට සතුටින් තේ බොන්න පුළුවන්. දුවට සුබ උපන් දිනයක් වේවා” ඔවුන් පැවැසුවා. “අපේ දරුවන්ටත් අරගෙන යන්න පුළුවන්. දුවට දෙවි පිහිටයි” එහෙමත් ඔවුන් ප්‍රාර්ථනා කළා. අහලපහළ ගෙවල්වලටත් රසකැවිලි බෙදුවා.

බලන්න. එදා ඒ සංග්‍රහය භුක්ති වින්ද බොහෝ දෙනා දන්නා හඳුනන අය නෙවෙයි. ඇතැම් අය අතරමඟදි හමුවූ අය, ඇතැමුන් හුදකලාව දිවි ගෙවූ අය, පවුලෙන් අෑත්ව නිවාසයක ජීවත් වූ අය. ඒ පුංචි දියණිය වෙනුවෙන් මවුපියන් යුතුකමට ඉටු කළේ මනුස්සකම. ඒ මවුපියන්ටත් දියණියටත් ලැබුණේ මොනවාද? සංතෘප්තිය. සතුට. මම නිතර ලියන දෙයක් තමයි මනුස්සකම පෙන්වන්න මහා ලොකු දේවල් කරන්න ඕන නැහැ.

සතුටු වෙන්න හෝ සතුට ලබන්නත් ලොකු දේවල් කරන්න එහෙම නැත්තම් “ලොකු අතු අල්ලන්න ඕනෑ නැහැ” පුංචි දෙයකින්, පොඩි උදව්වකින් උපකාරයකින් මහත් ආත්ම තෘප්තියක් ලබන්න පුළුවන්.

දෙවියන් සතුටු කරන්න අපි පඬුරු පුදනවා. ඒ පඬුර කැටයකට දමන්න පුළුවන්. ප්‍රතිමාවක් අබියස තියන්න පුළුවන්. ආගමික සේවාධාරී තැනකට පිරිනමන්නත් පුළුවන්. කිතු දහමෙත් බාර ඔප්පු කිරීම් තිබෙනවා.

ක්‍රිස්තුන් වහන්සේ දුටු එවන් එක්තරා සිද්ධියක් බයිබලයේ සඳහන් වෙනවා. දේවස්ථානයේ සහ පූජකවරයාගේ නඩත්තුවට සැදැහැවතුන් පඬුරු කාසි හෝ මුදල් පරිත්‍යාග කරනවා. දිලිඳු අය, වංශවතුන්, ධනවතුන් විවිධ ක්‍ෂේත්‍රවල අය එසේ මුදල් පරිත්‍යාග කරනවා. එතැනට අන්ත දුගී කාන්තාවක් එනවා. මිනිස්සු ලොකු වටිනාකම් ඇති මුදල් බොහොම ආඩම්බරයෙන් පිරිනමනවා.

ඒ අතරේ අර පෙර කී ස්ත්‍රිය කාටත් නොපෙනෙන්න තමන් ළඟ තිබූ තඹ කාසි දෙක බොහොම ලැජ්ජාවෙන් පුදනු ලබනවා. ඇයට එදා දවස ගත කිරීමට තිබූ එකම මුදල එපමණයි. එහි අනෙක් විශේෂත්වය වන්නේ ඇය වැන්දඹුවක්. අපි දන්නවා ස්වාමිපුරුෂයා මියගිය කාන්තාවක් කියන්නේ බොහොම පරිස්සමට ජීවත් විය යුතු ස්ත්‍රියක්. කොයි මොහොතේ කෙනෙක් වරදකට පොලඹවා ගනීවිද දන්නේ නැහැ. කොයි මොහොතෙ නොහොඹිනා කතාවක් ගොතලා අපහාස කරයිද දන්නේ නැහැ. අනෙක වැන්දඹු ස්ත්‍රියක් කියන්නේ යැපෙන්නියක්. තමන්ගේ තනි නොතනියට හෝ ඥාතියකුගේ පිළිසරණ පතන කාන්තාවක්. ඉතින් එදා පැමිණි පිරිසට ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ “සැබැවින්ම මම ඔබට කියමි. මේ දිලිඳු වැන්දඹුව ගබඩාවට මුදල් දැමූ අනිත් සෑම දෙනාටම වැඩියෙන් දැමුවාය. ඒ කවුරුත් තමන්ගේ වැඩිපුර මුදලින් යමක් දැමූහ. එහෙත් මෑ දුප්පත්ව සිටියදීත් සිය දිවි පෙවෙත සඳහා තිබුණු මුළු වත්කම ම දැමුවාය” (ශුද්ධ වූ මාක් 12.41-44)

ඇත්තටම අද අපි කරන්නෙත් අපට ඇති, අපට හැකි දෙයක් කෙනකුට පරිත්‍යාග කිරීමයි. අපට ඇති සියලුම දේ වෙනත් අයට බෙදා දීලා හිස් අතින් ජීවත් වෙන්න අමාරුයි. හැබැයි එහෙම අයත් සිටියා. ඒ තමයි තෙරේසා මවුතුමිය. ඇල්බේනියාවේ වංශවත් පවුලක උපන් ඇයට පැවිදි ජීවිතය කෙරේ ඇල්මක් ඇති වුණා. ඇය සිය පවුලමත් මවුබිමත් අතහැර ඉන්දියාව සොයාගෙන කිසිදු වත්කමක් නැතිව ආවා. සමාජයෙන් කොන් කළ අන්ත පීඩිතයන් සොයා එතුමිය කල්කටාවේ අතුරු මාවත්වල ඇවිද යමින් තමන්ගේ සේවය ආරම්භ කළේ ඉන්දියානු රුපියල් පහක් තම ලේන්සුවේ කොනක ගැට ගසාගෙනයි.

මේ වන විට තමන්ගේ පැවිදි පිරිසත් සමාජයෙන් කොන් කළ අයට සේවය රැකවරණය හා පිළිසරණ සැපැයීමේ මධ්‍යස්ථානත් සිය ගණනක් ලෝකය පුරා ව්‍යාප්ත වී තිබෙනවා.

මේ දන්දීම, පරිත්‍යාග කිරීම් ආදිය දැන ගන්නේ කොහොමද? සමාජ මාධ්‍ය ජාලය මඟින්. දැන් කරන සමාජ පරිත්‍යාගයක් මොහොතකින් සමාජ මාධ්‍ය ජාලයට ඇතුළත් කරනවා. මිනිසුන්ගේ තිබෙන දුප්පත්කම, අසරණකම නැතිබැරිකම සමාජ මාධ්‍ය ජාලයෙන් ප්‍රසිද්ධියේ පෙන්වනවා. ඒ පවුල්වල තිබෙන දිලිඳුකමේ අභිමානය හෑල්ලුවට ලක් කරනවා. කිතුදහමේ දුප්පත්කම හඳුන්වා දෙන්නේ එක්තරා තත්ත්වයක් ලෙසයි. එය මදි පුංචිකමක් හෝ සමාජයේ පහත් ස්ථානයක් නෙවෙයි. එහිදී කිතු දහමේ දැක්ම වන්නේ ඔවුන් ඒ තත්ත්වයෙන් නඟා සිටුවීමයි.

ඔවුන්ට දිලිඳු තත්ත්වයෙන් නැඟී සිටීමට අතදීමයි. අපි හිතමු මෙහෙම. දුප්පත් පවුලක කෙනෙක් සිටිනවා බොහොම අපූරුවට කොට්ට උර මහන්න පුළුවන්. ඒවට මල් මහලා, රැලි තබලා, ටීක් බොත්තම් අල්ලලා නියම ප්‍රමිතියට වැඩේ කරනවා. එයාට මූලිකව අවශ්‍ය දේ සොයා බලා සපයනවා. රෙදි, නූල් බෝල, කතුරක්, මහන මැෂිමක් පරිත්‍යාග කළාම ඒ අය දන්නවා ජීවිතය නැඟී සිටුවන අන්දම. තවත් කෙනකුට උපකාර කරන විධිය. එතකොට ඒ අයට අභිමානයක් තිබෙනවා. අපි කිසිම දෙයක් කාගෙන්වත් අත පාලා ඉල්ලුවේ නැහැ කියලා. නමුත් අද සමාජ මාධ්‍ය මඟින් කරන්නේ ඒ පවුල් ජීවිත අන්තිම පහත් අඩියටම දැමීමයි. සමහර වේලාවට ඒ පවුල්වල ළමයින්ට පාසල් යන්න පවා අපහසුයි. පවුල පිටින්ම අසරණ වෙනවා.

ක්‍රිස්තුන් වහන්සේ දන්දීම පිළිබඳව දක්වන්නේ නව අර්ථකථනයක්.

“මිනිසුන්ට පෙනෙනු පිණිස ලෝකයා ඉදිරියෙහි ඔබේ පුණ්‍ය ක්‍රියා නොකරන්න බලා ගන්න. එබැවින් ඔබ දන්දෙන කල මිනිසුන්ගෙන් ප්‍රශංසා ලබනු පිණිස ධර්ම ශාලාවලදීත්, වීදිවලදීත් කපටි මිනිසුන් කරන්නාක් මෙන් ඔබට පෙරටුවෙන් හොරණෑ නොපිඹින්න. සැබැවින්ම මම ඔබට කියමි. ඔබ දන්දෙන කල දකුණත දෙන දෙය වමතට නොදැනේවා. ඒ දන්දීම රහසක්ව තිබිය යුතුය.” (ශුද්ධ වූ මතෙව් 6.1-4)

කිතු දහමේ උගන්වන්නේ අපි කරන පරිත්‍යාගය කෙනකුට පිළිසරණක් වීමයි. නැවත ඒ අයගෙන් එවන් උපකාරයක් බලාපොරොත්තු වෙන්නෙ එපා. අපි රහසින් දන්දෙන දෙය දෙවියන් වහන්සේ පමණක් දැන ගත්තොත් ඇති. එහි ප්‍රතිඵලය උන්වහන්සේට කැමැති ලෙස අපට ලබාදෙයි. සමහර විට නොදෙයි. නැත්නම් අපි හිතපු නැති වෙලාවක අපට අවශ්‍ය කරන දෙයක් අපිව පුදුම කරවන්න ලැබෙයි.

අද බොහෝ මිනිසුන් පුරුදු වෙලා සිටින්නේ දෙවියන්ගෙන් ඉල්ලන්න. දරුවා විභාගයෙන් සමත් කරලා දෙන්න, දුවකුට හොඳ මහත්තයෙක් හමුවෙන්න, ලෙඩ රෝග සුව කර දෙන්න, රැකියාවක් ලබාදෙන්න ආදී වශයෙන් දෙවියන්ගෙන් ඉල්ලා යාච්ඤා කරනවා. සමහර දරුවෝ ආගමික වත්පිළිවෙත්වලට සහභාගි නොවී පන්ති යනවා. ක්‍රීඩා කරන්න යනවා. විභාගය අත ළඟට එන විට පොතේ ඇලී ගැලී පාඩම් කරනවා. පුනරීක්‍ෂණ කරනවා. විභාගයට සතියක් තියලා ලොකු කැපකිරීමක් කරනවා. විභාගය දවසේ උදේට දෙවියන් සිහි කරන්න දේවස්ථාන ගානේ දුවනවා. හමුවෙන අයට කියනවා තමන් වෙනුවෙන් යාච්ඤා කරන්න කියලා. විභාගය සමත් වුණොත් ඒ තමන්ගේ උත්සාහය හා මහන්සිය නිසා. අසමත් වුණොත් දෙවියෝ තමන් දිහා නොබලපු නිසා. යම් සුබ කටයුත්තක් කරන විට තම ආගමික ශාස්තෘවරුන් සිහි කරලා ආගමික නායක උතුමන්ගේ අනුශාසනා පැතීම ඉතා හොඳ පුරුද්දක්. ආශීර්වාද ලබනවා කියන්නේ සෙතක් ශාන්තියක් වෙනුවෙන් කරන ප්‍රාර්ථනාවක්.

අපි මඟට බැස්සම මිනිස්සු සිය දහස් ගණනක් එහා මෙහා යනවා එනවා පේනවා. එක තැන සිටිනවා පේනවා. වාහනවලින් යනවා පයින් යනවා. බලන්න මේ අතර ඇතැම් අය ඉන්නවා හිස ගිනි ගත්ත අය වගේ ඔළුවේ කරදර පුරවගෙන, මූණේ කිසිම හිනාවක් කලාවක් නැතිව. “මටමයි වෙන්නේ” කියන අදහසින් කා එක්කවත් කතා නොකර යනවා. කතා කළත් එයාට ලොරියක තරම් ප්‍රශ්න. ක්‍රිස්තුන් වහන්සේ එවැනි අයට හොඳ පිළිතුරක් දෙනවා. ඒ හැම විටෙකම කරදර ගැන කල්පනා කරන අයට.

“හෙට දවස ගැන කරදර නොවන්න. හෙට දවසේ කරදර හෙට දවසට සෑහේ. එක දවසක කරදරවලට තව කරදර එකතු නොකරන්න” (ශුද්ධ වූ මතෙව් 6.34) හැම විටෙකම හැම දෙයක්ම කරදරයි කියා සිතමින් හැම මොහොතක්ම අසුබවාදී විදිහට හිතනවා නම් යම් කෙනෙක් ඒ අයගේ යහපතට දෙයක් උදාවුණත් ලැබුණත් එයද කරදරයක් කියා සිතනවා නම් ඒ ජීවිතය කිසිදා තෘප්තිමත් වෙන්න නැහැ.

කෙනකුගේ ජීවිතය සුඛෝපභෝගී විදිහට ගත කරන්න හිතාගෙන සකල සම්පත් රැස් කරගෙන තමන් වටා තියා ගත්තත් යම් දවසක ඒ සියල්ල එතැනම දාලා අපට යන්න වෙනවා පරලොව. ඒ නිසා දෙලොවට වැඩදායක විදිහටයි මෙලොව අපි ජීවත් වෙන්න ඕනෑ. ඒ ලෝකය බලාගෙන වැඩ සිද්ධ කළාට වැඩක් නැහැ මෙලොව පය ගහලා ඉන්න දන්නේ නැත්නම්. ඒ නිසා ආගමික ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම් ආදර්ශයන් මඟින් අපේ ජීවිත ආලෝකවත් කර ගනිමු.

මංගල ජයවර්ධන

ගිංතොට

ජාතික කතෝලික ලේඛක සංවිධානය