ත්‍රි’මලේ වරායට සමාගම් දෙකකින් කෝටි 641ක පොල්ලක්

0
19

ත්‍රිකුණාමලය වරායට අයත් පෞද්ගලික ජැටි දෙකක් වසර 19ක් තිස්සේ වරාය ගාස්තු ලෙස රුපියල් කෝටි 641ක් ගෙවා නොමැති බව දූෂණ විරෝධී හඬ “ඉරිදා මව්බිම”ට පැවැසීය. එකී ජැටි දෙක වරාය අධිකාරිය විසින් ව්‍යාපාර  කටයුතු  සඳහා  පෞද්ගලික  අංශයට ලබාදී තිබෙන බවත්, ඒ අනුව මෙම පෞද්ගලික ජැටි දෙක මේ ආකාරයට 2003 සිට මෙතෙක් අදාළ ගාස්තු ගෙවා නොමැති නමුත් මේවා වරාය අධිකාරිය අයකිරීමට කටයුතු කර නැති බවත් එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවැසීය.

අදාළ ජැටි දෙක වාර්ෂිකව අය කරන ගාස්තු 2003 සිට මේ වන තෙක්ම නොගෙවා ඇති බවට සාක්ෂි තමා සතුව පවතින බව ඔහු කීය.

ඒ අනුව ත්‍රිකුණාමලය වරායට අයවිය යුතු මුදල් ලෙස එක් සමාගමක් ඩොලර් අනූතුන් ලක්ෂ අනූදෙදහස් පන්සිය විසි එකක්ද අනෙක වරායට ඩොලර් අසූ දෙලක්ෂ  හැටපන්දහස් පන්සිය තිස් නවයක් 2003 වසරේ සිට අඛණ්ඩව වාර්ෂිකව නොගෙවා ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

මෙරට පිහිටි වරායන් අතුරින් ගැඹුරුතම ස්වාභාවික වරාය වන ත්‍රිකුණාමලය වරායේ සේවකයෝ 470ක් හා විධායක ශේ‍ර්ණියේ නිලධාරීහු 6 දෙනෙක් මෙහෙයවති. වරායට එන සෑම නැවක්ම නැව් ගාස්තු ගෙවිය යුතු නමුත් අදාළ සමාගම්වල අමුද්‍රව්‍ය ගේන නැව්වල නාවික ගාස්තු මඟහැර ඇති අතර සෙසු ගාස්තු පූර්ණ කාලීනව නිදහස් කරගෙන තිබීම විමතියට කරුණක් බව වරාය සේවකයන් පවසන බව සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. වරායන් සඳහා නැවක් ඇතුළු කිරීමේදී මෙන්ම එකී නැව වරාය තුළ සිට කරන සියලුම මෙහෙයුම් කටයුතුවලදී අය කරන ගාස්තුව සම්මත ගාස්තුවක් වන අතර සෑම වාරයකදීම එකී ගාස්තුව අය කරනු ලබන බවත් ත්‍රිකුණාමලය වරායටද එය පොදු කරුණක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

නාවික ගාස්තුව ලෙස ටොන් තිස්දහසට වැඩි  නැවක ටොන් එකක් සඳහා ඩොලර් 32ක්ද වරාය සඳහා ගොඩබෑම හා භාරදීමේ ගාස්තුව ලෙස ටොන්  එකක් සඳහා ඩොලර් එකහමාරක්ද නැව් භාණ්ඩ, වාහන ගාස්තු ලෙස ටොන් එකක් සඳහා ඩොලර් පහක්ද ඒ අනුව ගෙවිය යුතු බව හෙතෙම  පැවැසීය. මෙම විශාල මුදල වරාය අධිකාරිය වහාම අයකර ගත යුතු බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

අනුරාධා හේරත්