ගෝල්ෆේස් කූඩාරම් ගැලවුණාට අර්බුදය ඉවරයි කියලා හිතන්න එපා

0
20

ආණ්ඩුවේ හිටපු බොහොමයක් දෙනා වෙන වෙන පක්ෂ, සභාග, සන්ධාන හදාගෙන එළියට යනවා. නමුත් මේ ඒකට සුදුසු වෙලාවද?

මට මෙයට උත්තර දෙකක් තිබෙනවා. අංක එක මේක පක්ෂයක් නෙවෙයි. අපි දේශපාලන වැඩසටහනක් තමයි රට හමුවේ තැබුවේ. අංක දෙක ඔබ අහන්නෙ මේ එවැන්නක් කරන්න සුදුසු වෙලාවද කියලා නම් එයට උත්තරේ අපි ඒ සඳහා ප්‍රමාද වුණා කියන එකයි. දේශපාලන වැඩසටහනක අවශ්‍යතාව තිබුණේ මීට පෙර. මේ අර්බුදය හඳුනාගත් පළමු පැයේම මෙවන් දේශපාලන වැඩසටහනක් ආවා නම් රට මෙතරම් විනාශකාරී තැනකට එන්නෙ නෑ. අපි මෙවැනි දේශපාලන වැඩසටහනකට නෑවිත් නිහඬව සිටීම තමයි මෙතරම්ම මේ අර්බුදය මෝරන්න හේතුවක් වුණේ.

ඒ කියන්නෙ ඔබ පිළිගන්නවා අර්බුදය පැනනැඟෙන විට ඔබලා නිහඬව සිටි බව?

නෑ.. නෑ.. නිහඬව සිටියා කියන එක වැරැදියි. අපි ඊට අදාළ සාකච්ඡා ගෙනගියේ පක්ෂ ව්‍යුහයන් තුළ පමණයි. නිහඬව සිටියා කියනවා නම් අපි පක්ෂ ව්‍යුහ ඇතුළෙ නිදියගෙන ඉන්න ඕනනෙ. සාකච්ඡා ගෙනගියේ ආණ්ඩුව තුළ, කැබිනට් එක තුළ සහ පක්ෂ තුළ පමණයි. ඒ සීමාව බිඳ, එතැනින් එහාට මේක සමාජය තුළට නොගෙනාපු එක තමයි වරද?

අවසානාර්ථයෙන් ගත්තම මේ හදන සභාග, සන්ධාන, සභාවල අරමුණ ඉදිරි මැතිවරණය නෙවෙයිද?

ඕනෑම කෙනෙක්ට එවැන්නක් සිතලා අපිව සැක කරන්න පුළුවන්. අපි කියන්නෙත් සියලුදේම සැක කරන්න කියලයි.

මේ සන්නද්ධ වෙන්නෙ මැතිවරණ ඉලක්ක කරගෙන නෙවෙයිද?

අපේ පැත්තෙන් අපිට නෑ කියලා උත්තර දෙන්න පුළුවන්. නමුත් ඒවා වචනනේ. හරි දේ ඔප්පු වෙන්නෙ වචනවලින් නෙවෙයිනෙ. කතාවකුත් තියෙනවානෙ වචන ටොන් එකකට වඩා භාවිතාවෙ අවුන්සෙත් වටිනවා කියලා. කොහොම නමුත් දේශපාලන සාහිත්‍ය සහ ඉතිහාසය දෙස බැලුවම ඒ සැකය සාධාරණයි. සැකමුසුව අපේ දෙසත් බලන එක හොඳයි. එයින් අපිට හානියක් නෑ. මොකද අපේ අතේ පොඩි හෝ වරදක් තිබෙනවා නම් ඒවා නිවැරැදි වෙන්න ඒක හේතුවක් වෙයි.

ප්‍රශ්නවලින් හෙම්බත් වෙලා ඉන්න මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නෙ නව  දේශපාලන පක්ෂ නෙවෙයි කඩිනම් විසඳුම් කියලා සිතෙන්නෙ නැද්ද?

මේ දේශපාලන වැඩසටහන් වෙන්නෙ මිනිස්සු වෙනුවෙන් තමයි. මිනිස්සු වෙනුවෙන් නොවී අපේ වරප්‍රසාද වෙනුවෙන් නම් අපි වැඩ කරන්නෙ මේ මොහොතේ අපි ඉන්න ඕනා ආණ්ඩුවේ ඇමැතිකම්වල.

හැමෝම කෑලි කෑලිවලට වෙන් වුණාම ඔබලව විශ්වාස කරපු 69 ලක්ෂයක ජනතාවට මොකක්ද වෙන්නෙ?

ඔවුන්ගෙන් අපිට එල්ලවෙන ප්‍රධානම චෝදනාව තමයි ඇයි මෙතෙක් කල් නිහඬව සිටියේ කියන එක. 69 ලක්ෂයක ජනවරමක් ගැන අපි කතා කරනවානෙ. ඒක ඓතිහාසික දැවැන්ත ජනවරමක්. මේ ජනවරම වෙනුවෙන් කැපවුණු බොහෝ දෙනෙක් සිටිනවා. නමුත් අද මේ 69 ලක්ෂය කියන වචනෙත් හාස්‍යයට අප්‍රසන්නභාවයට පත්වෙලා. අපි මේ  හදන්නෙ ඒ 69 ලක්ෂයට පුළුවන් උපරිම සාධාරණයක් කරන්න. අපි ඒ ජනවරමට ද්‍රෝහී වෙන්නෙ නෑ. අපි කරන්නෙ ඒ ජනවරමට එරෙහිව යන කණ්ඩායම්වලට එරෙහි වීමක් මිස 69 ලක්ෂයට එරෙහි වීමක් නොවෙයි. ඒක මිනිස්සුන්ට දැනෙනවා.

නිදහස ජනතා සභාව හැරවුමක ඇරඹුමක් විධියට භාරගන්න කියලා ඔබ කියනවා?

ඔව්. මම කරන්නෙ ආරාධනයක්. මම ඔබට ආරාධනයක් කළා කියමුකො. නමුත් එය භාරගැනීම හෝ නොගැනීම ඔබේ වැඩක්.

ඔබලගෙ වචන විශ්වාස කරලා ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දීපු මිනිස්සු ඉන්නෙ දැඩි කලකිරීමෙන්. එවැනි තත්ත්වයක් තුළ තවදුරටත් ඔවුන් ඔබලා කියන දේවල් පිළිගනීවිද?

 ඔබ අහන දෙයට මම එකඟයි. මොකද මිනිස්සු නැවත නැවතත් රැවටිලා විශාල අසහනයකින් ඉන්නෙ. ඔවුන්ගෙ සැකය ඉතාම යුක්තිසහගතයි. අරගලයට ආපු නිර්පාක්ෂික තරුණ පිරිස් ඉල්ලුවෙත් වසර 70 ගණනක් පුරා එන මේ මජර දේශපාලන ක්‍රමය වෙනස් කරන්න කියලයි. ඒ ඉල්ලීම් සාධාරණයි මොකද අපිටත් ඉන්නවා ඒ වයස්වල දරුවො. ඒ මජර දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ හැරවුමක ඇරඹුමක් විධියට තමයි අපි මේ දේශපාලන වැඩසටහන පටන් ගන්නෙ. පවුල්, පක්ෂ, මුග්ධත්වය, චෞරත්වය කේන්ද්‍ර වුණු දේශපාලන ක්‍රමයන්ට එරෙහි වීම තමයි අපේ හැරවුම වෙන්නෙ. ඒක වගකීමක් විධියට අරගෙනයි අපි එළියට එන්නෙ. ඒක පිළිගන්නවද නැද්ද කියන එක මහජනතාවගේ වැඩක්.

පක්ෂ සහ සන්ධාන හදන්නෙ මිනිස්සු වෙනුවෙන් කියලා කිව්වට අවසානයේ තමන්ගෙ දේශපාලනික අරමුණු තමයි ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉදිරියටම එන්නෙ. නිදහස ජනතා සභාවත් ඒ පන්නයේම තව එකක් වෙයිද?

මම මීට පෙරත් පැවැසුවා. මට නැහැ කියලා උත්තර දෙන්න පුළුවන්. නමුත් ඒක වචනයක්නෙ. ඒ නිසා භාවිතයෙන් තමයි ඔප්පු කොට පෙන්වන්න වෙන්නෙ. අපිටත් පුළුවන් ඕන නම් මිනිස්සුන්ගෙ ප්‍රශ්නවලට උත්තර නොදී ප්‍රශ්න ගැන පමණක් මතක් කරමින් ඉන්න. අර්බුදය ගැන කතා කර කර සිටියට අර්බුදයේ පීතෘත්වය ගැන කවුරුත් සොයන්නෙ නෑ. මේ මූලයන් තමයි අපි සොයන්න ඕනා. මේ රටේ ජනතා පරමාධිපත්‍ය බලය එක මිටකට අරගෙන හිර කරලයි තිබෙන්නෙ. එතැනම නෙවෙයිද ප්‍රශ්නයේ මූලය. අපි මවු ප්‍රශ්නය දෙස නොබලා මවු ප්‍රශ්නය විසින් මතු කරනු ලැබූ අතුරු ප්‍රශ්න දෙස බල බල ඉන්නවා.

ආණ්ඩුවේ කට්ටිය නිදහස ජනතා සභාවට බයවෙලා ඉන්නවා කියලා ඔබ කියනවා?

මම ඒක කිව්වෙ නිකන් හිතළුවක් විධියටවත් අපහාසයක් විධියටවත් නෙවෙයි. මෙහෙම කියන්න කාරණා කිහිපයක් තිබෙනවා. අපි ජනතා නිදහස සභාව හදන්නත් කලින් අපි සියලු දෙනා මේ පාර්ලිමේන්තු කමිටුවලින් ඉවත් කළා. මහාචාර්ය  ජී.ල්. පීරිස් මහත්මයා, ඩිලාන් සහ මම දශකයකටත් වඩා කාලයක් බිස්නස් කමිටි එකේ හිටපු අය. කිසිම හේතුවක් නැතිවයි අපිව ඉවත් කළේ. අපිට ඒ ගැන කිසිම දුකක් නෑ. අනෙක් කාරණය අපිට කතා කරන්න තිබෙන කාලය නැවැත්තුවා. අය-වැය විවාදයේදි ජී.එල්. පීරිස් මහත්මයාව නැවැත්තුවා. එතුමා 7 වතාවක් මේ රටේ අය-වැය ඉදිරිපත් කරපු කෙනෙක්. මගේ සහ නාලක ගොඩහේවාගෙ, චන්න ජයසුමනගෙ කතා නැවැත්තුවා. අපිට පාර්ලිමේන්තුව තහනම් කලාපයක් කළා.

හේතුව?

අපිත් අහන්නෙ ඒකම තමයි. නිකන් බොළඳ කතා කියලා මිනිස්සු හිනස්සන්නෙ නැතිව ඒවට පැහැදිලි හේතු දැක්වූවා නම් හරිනෙ.

ඩලස් අලහප්පෙරුම දේශපාලන පක්ෂයක් එහෙම හදාගෙන ඊගාව ජනාධිපතිවරණයට ඉල්ලන්නයි හදන්නෙ කියලා ඇතැම් පිරිස් කියනවා?

මම මේ රටේ ජනතාවට කියන්නෙ කවදාවත් දේශපාලනඥයන්ට හෝ දේශපාලන පක්ෂවලට හිස් චෙක්පත් දෙන්න එපා කියලයි. මේ අපටද ඇතුළුව. 48 සිට දේශපාලනඥයන්ට දුන්නෙ හිස් චෙක්පත්. එසේ කිරීමේ ප්‍රතිඵලය තමයි වසර 74න් 64ක්ම මේ රටේ පාලනය පවුල් 4ට අත්පත්වීම. නිදහස ජනතා සභාව කියන්නෙ තනි පුද්ගලයෙක්  නෙවෙයි කණ්ඩායමක්. ඉතිහාසය පුරාම වුණේ පුද්ගලයන්ව විශ්වාස කරගෙන බලය දීම. මම කියන්නෙ තවදුරටත් ඒ මිථ්‍යාවට යන්න එපා කියලයි. ඇත්තටම අපි සතුටු වෙනවා මේ මොහොතේ අපිට ඉතා හොඳ කණ්ඩායමක් සිටිනවා. ඔබ අහපු ප්‍රශ්නයට උත්තරය දුන්නොත් මම මගේ ජීවිතයෙ කවදාවත් මන්ත්‍රි කෙනෙක් ඇමැති කෙනෙක්, ජනාධිපති කෙනෙක් වෙන්න හීන දැකපු කෙනෙක් නෙවෙයි. මගේ දේශපාලන ආගමනයත් අහඹුවක්.

පසුගිය කාලෙම මාරුවෙන් මාරුවට හැමෝම සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කළා. ඒත් දැන් කවුරුත් සද්ද නෑ?

මේ ගැන මුලින්ම කිව්වෙ අපි. නමුත් අපි වචන දෙකක් කිව්වා. එකක් සර්වපාක්ෂික, අනෙක අන්තර්කාලීන. ඒ සඳහා අපි වැඩපිළිවෙළක් සහ ව්‍යුහයක් යෝජනා කළා. නමුත් වැඩපිළිවෙළකුත් ව්‍යුහයකුත් නැතිව ඔයා එන්න අපි ඇමැතිකම් දෙන්නම් රාජ්‍ය ඇමැතිකම් දෙන්නම් කියලා පිරිස් එකතු කරගෙන ආණ්ඩු හදන එකට නෙවෙයි සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන්නෙ. මම උදාහරණයක් කියන්නම්; රනිල් වික්‍රමසිංහ මහත්මයා මැයි 13 අගමැතිවරයා බවට පත්වුණා. ජූලි 13 වැඩබලන ජනාධිපති වෙලා ජූලි 20 ජනාධිපති වුණා. එතුමා ජනාධිපති වූ දවසේ සිට ඔබයි මායි මේ සම්මුඛ සාකච්ඡාව කරන අද දවස දක්වා කාලය මාසෙකුත් දවස් 26 ක්. නමුත් මේ කාලසීමාව තුළ එතුමාගෙ සර්වපාක්ෂික ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන අපිට කිසිම දෙයක් ඉදිරිපත් කරලා නෑ. අරමුණක් හෝ නිශ්චිත කාලයක් ගැන අදහසක් නෑ. අපිට පේන්නෙ මේක වරප්‍රසාද බෙදාහදාගෙන යන සැණකෙළියක් විධියට මිසක් සර්වපාක්ෂික, අන්තර්කාලීන ආණ්ඩුවක් විධියට නෙවෙයි. ඒක එහෙම නෙවෙයි නම් අපි වැරැදියි නම් නිවැරැදි කරන්න.

මේක යෝජනා කරපු අයම දැන් පස්ස ගහනවා කියලා නාමල් රාජපක්ෂ කියනවා. ඒ කතාවෙත් ඇත්තක් නැත්‍තෙම නෑ නේද?

ඔබ මාධ්‍යවේදිනියක්නෙ. මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. දැන් මේ සර්වපාක්ෂික වචනය මෙතුවක් කලක් පාවිච්චි වුණා. නමුත් මම ඔබෙන් අහනවා මේ සර්වපාක්ෂික වැඩපිළිවෙළ ගැන මාධ්‍යවේදිනියක් විධියට ඔබට අවබෝධයක් තිබෙනවාද කියලා. හරි සරලයි උත්තරය. ආණ්ඩුවේ සර්වපාක්ෂික ආණ්ඩු වැඩපිළිවෙළ ගැන ඔබටත් අවබෝධයක්  නෑ. ජනාධිපතිතුමා සාකච්ඡා කරනවා පේනවා, පක්ෂවලට එන්න කියනවා, යෝජනා මොනවද අහනවා මිසක් මෙන්න ආණ්ඩුවේ සර්වපාක්ෂික වැඩපිළිවෙළ  කියලා දෙයක් ඉදිරිපත් කරන්නෙ නෑ. ඒක විතරක් නෙවෙයි. අතුරු අය-වැයේ ජනාධිපතිතුමාගෙ කතාවෙදි දේශපාලන ප්‍රතිසංස්කරණ කිසිවක් ගැන කතා කළේ නෑ. ව්‍යවස්ථා සංශෝධනයක් ගැන දීර්ඝ සාකච්ඡාවක් රටේ තිබියදීත් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන වචනයක් කතා කළේ නෑ.

මොකක්ද ඔබ මතු කරන්න හදන තර්කය?

අපි අහන්නෙ ඒ ඇයි කියලයි. ඒක තමා ප්‍රශ්නය. අපිට ඒකෙන් දැනෙන්නෙ මෙතැන සැඟවුණු න්‍යාය පත්‍රයක් තිබෙනවා කියලයි. පැහැදිලිවම ගුප්ත වූ තව වැඩපිළිවෙළක් තිබෙනවා. අවංක නොවී නිශ්චිත නොවී අරමුණක් නැතිව නිකන්ම නිකන් හුදු වචනයක් විධියට සර්වපාක්ෂික කියන වචනෙ මන්තරයක් වගේ ජප කළාට මේක සිද්ධ වෙන්නෙ නෑ.

ඔබ කියන්නෙ සැඟවුණු න්‍යාය පත්‍රයක අවශ්‍යතාව මත සර්වපාක්ෂික ආණ්ඩුව නොහැදෙන තැනට කල්මරනවා කියලද?

ඔව්. පළමු වැනිම දේ තමයි සර්වපාක්ෂික වැඩපිළිවෙළ ගැන සැබෑ වුවමනාවක් නෑ.

ඒ කියන්නෙ ජනාධිපතිවරයා දිගින් දිගටම දේශපාලන පක්ෂවලට  ආරාධනා කරන්නෙ බොරුවට?

ඇත්තම වුවමනාවක් පැහැදිලිවම නෑ. වුවමනාවක් තිබෙනවා නම් හැසිරෙන්නෙ ඔහොම නෙවෙයිනෙ.

ඔබ කියපු සැඟවුණු න්‍යාය පත්‍රය රාජපක්ෂවරුන්ට අයත් එකක්ද?

මම තවම දන්නෙ නෑ නිශ්චිතවම කවුද ඉන්නෙ කියලා. නමුත් මට නිශ්චිතවම එකක් කියන්න පුළුවන් කුමන හෝ අදෘශ්‍යමාන හස්‍තයක් තිබෙන බව. අපේ කණ්ඩායමේ සාමාජිකයන්ට සිදුවෙන අසාධාරණකම් සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට ගිහින් කිව්වා. ඔහු පිළිගත්තා අපිට කතාවල් නොදීම අසාධාරණයි කියලා. ඉන්පසුව අපි අගමැතිවරයාට කිව්වම එතුමත් එය අසාධාරණයි කියලා පිළිගත්‍තා. සභානායක සහ කථානායකට කිව්වම ඔවුනුත් පිළිගත්තා එය අසාධාරණ බව. ඒ හැමෝම කිව්වා මේක නිවැරැදි කරන්නම් කියලා නමුත් ඒක සිද්ධ වුණේ නෑ. ඒකෙන් අපිට පේනවා ව්‍යවස්ථාදායකය කාගෙ හෝ ප්‍රාණ ඇපකරුවෙක් වෙලා කියලා.

ඔබ එදා අනුප්‍රාප්තික ජනාධිපතිවරණයේදී රටේ ජනාධිපති වුණා නම් මෙලහකටත් ඔය කියන සර්වපාක්ෂික ආණ්ඩුව හැදිලද?

ඔව්, පැහැදිලිවම ඒක වෙනවා. ඒ වගේම මම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නම්, පුරප්පාඩු වුණු ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයට  ආර්ථික විද්‍යා විෂය ගැන හසළ දැනුමක් තිබෙන මෙරටත් ජාත්‍යන්තරවත් පිළිගත් සහ හොඳ දැනුමක් තිබෙන පුද්ගලයෙක්ව ගේනවා. ඇතැම්විට වර්තමාන මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහත්මයා හෝ  ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්මයා වෙන්න පුළුවන්. එවැනි කවුරු හෝ සුදුස්සෙක් පාර්ලිමේන්තුවට ගෙනත් මම රටේ මුදල් ඇමැතිකම භාර දෙනවා. මොකද මේ වෙලාවෙ රටේ තිබෙන්නෙ විශාල ආර්ථික අර්බුදයක්. මේක දැවැන්ත ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න  සිදුවෙන මොහොතක්. එහෙම වුණා නම් රටට විශ්වාසයක් හැදෙනවා.

වජිර අබේවර්ධන කියන්නෙ bad choice එකක්ද එතකොට?

මට වජිරත් එක්ක කිසිදු පෞද්ගලික ගැටලුවක් නෑ. අපි හොඳ යාළුවො. නමුත් මම අර පෙර සඳහන් කළා වගේ තීරණයකට ගියා නම් එතුමා ගැන ජනතාව අතර තිබෙන ප්‍රශ්න ගණනාවකටම පිළිතුරු ලැබෙනවා. ඇත්තටම 20දා ඡන්ද ප්‍රතිඵල නිකුත් වුණු වෙලාවෙ මට ආපු පළමු සිතිවිල්ල තමයි, මට මේ මනුස්සයා ගැන තිබෙන සෘණාත්මක අදහස් ටික දුරු කරගන්න හැකිවෙයි කියන එක. මම ඇත්තටම හිතුවා රටේ පවතින ආර්ථික තත්ත්වය තේරුම් අරගෙන එතුමා එයට ආමන්ත්‍රණය කරාවි කියලා.

නව අගමැතිවරයෙක් පත්කර ගැනීමට උත්සාහ කරන බවට කතාවක් පැතිරෙනවා. මේ වැඩේට ඔබේ පාර්ශ්වයෙනුත් සහයෝගය ඉල්ලුවා කියන්නේ ඇත්තද?

ඒක ඉතින් එතුමන්ලගෙන්ම තමයි අහන්න වෙන්නේ. මොකද අපිට අගමැතිවරයෙක් පත්කරන්න බෑනෙ. මේක අඛණ්ඩව කොහොමහරි පවත්වගෙන යන්න තනතුරු ප්‍රදානය කරනවා. ආණ්ඩුවේ එකම උපක්‍රමය ඒක. විසඳුම් විධියටත් ඔවුන් කළේ ඔළු මාරු කිරීම්. ඔළු මාරු කරලා ප්‍රශ්නවලට උත්තර හම්බෙන්නෙ නෑ කියලා දැන් ඔප්පු වෙමින් තිබෙනවා. නමුත් ආණ්ඩුවට ඒක තේරෙන්නෙ නෑ. ආණ්ඩුව හිතනවා ප්‍රශ්නයක් ආවම කාව හරි බිල්ලට දීලා බිලිපූජාවක් කරලා මේකෙන් ගොඩ එන්න පුළුවන් කියලා. ඒක තමයි ඔය නැවතත් කරළියට ඇවිත් තිබෙන්නෙ.

ඇත්ත්ටම අනුප්‍රාප්තික ජනාධිපතිවරණයේදී මොකක්ද වුණේ දිනන්නම හිටපු ඔබ අවසාන මොහොතේ පරාජය වුණා?

ඇත්තටම මම දැන් ඒ ගැන කතා කරන්න කැමැති නෑ. මේ ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වූවාට පසුව මම ජීවතුන් අතර සිටියොත් ඔබ ඔය ප්‍රශ්නය මගෙන් නැවතත් අහන්න. එදාට මම උත්තර දෙන්නම්. එයට හේතු කියලා මම කැමැති නෑ මේ රටේ ජනාධිපතිවරයාව හෑල්ලු කරන්න. එතැනට වැටෙන්න මම කැමැති නෑ. නමුත් මම එක දෙයක් දන්නවා. එදා බුර බුරා නැඟුණු මහජන විරෝධය හමුවේ අපේ පක්ෂය කළේ රනිල් වික්‍රමසිංහ මහත්මයාව පලිහක් විධියට භාවිත කිරීම. ඒ තමන්ගෙ ආරක්ෂාව වෙනුවෙන්. දැන් ඒ අරමුණ ඉටුවෙලා අවසන්. නමුත් දැන් කෙමෙන් කෙමෙන් මේ පාර්ශ්ව අතර තිබෙන බල තරගය හිස ඔසවනවා. 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් අතරමඟ ඇනහිටියේ ඒ නිසයි.

තමන්ගෙ පක්ෂය වෙනුවෙන් බොහෝ කැපවීම් කරපු ආණ්ඩුවේ නියෝජිතයෙක් වුණු අලහප්පෙරුමව බැහැර කරලා තමන්ගෙ සදාකාලික ප්‍රතිවාදියා වුණු රනිල් වික්‍රමසිංහව තමන්ගෙ නායකයා කරගත්තු පොහොට්ටු පක්ෂය ගැන මොකද හිතෙන්නෙ?

මම එයට comment කරන්න යන්නෙ නෑ. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්මයා වසර 28ක් පුරා ජනාධිපතිවරණයට තරග කළා. නමුත් අසාර්ථක වුණා. වසර 28ක් අසාර්ථක වුණු එතුමව පොහොට්ටුවේ පිරිස එකතුවෙලා මාස දෙකක් තුළ සාර්ථක කළා. වසර 28ක් බැරි වුණ දේ මාස දෙකෙන් කළා. එතැනදී රනිල් වික්‍රමසිංහ මහත්මයා පොහොට්ටුවට ණයගැති වෙන්න ඕනෑ. එතුමා පොහොට්ටුව දිහා කරුණාබරිතව, දයාබරිතව, ආදරණීයව බලන එක වරදක් නෙවෙයි. නමුත් පොහොට්ටුව එහෙම කළේ ඇයි කියන එක දන්නෙ ඔවුන්ම තමයි.

ඔබට පොහොට්ටුව ගැන පොඩි හෝ කලකිරීමක් නැද්ද?

දැන් මේ රටේ දේශපාලන සිතියම වෙනස් වෙලයි තිබෙන්නෙ. කිසිම දේශපාලන පක්ෂයක් සර්වකාලීන නෑ. පසුගිය කාලවල සිදුවුණු දේවල්වලින් එය ඔප්පු වෙනවා. ඒ නිසා කිසිම දේශපාලන නායකයෙක්, කඳවුරක්, පක්ෂයක් අධි මානසිකත්වයකින් කටයුතු කරන්න නරකයි. පොහොට්ටුවේ නායකයනුත් ඇතුළත්වයි මම මේ කියන්නෙ. කිසිම විධියකින් මහජතාව අවතක්සේරු කරන්නත් එපා. කැපුවත් කොළ, නිල්, රතු කියන ඡන්ද දායකයො දැන් මේ රටේ නෑ. මේ තත්ත්වයන් වටහා නොගෙන ඉදිරියට ගොස් වඳවුණු දේශපාලන සත්ත්වයන් වෙන්නෙපා කියන එකයි මගෙ ඉල්ලීම.

සජිත් ප්‍රේමදාස සමඟ එකතු වීමෙනුත් ඔබට අවාසියක් වුණා කියලා සිතෙන්නෙ නැද්ද?

වෙන්න ඇති. ඒ ගැන විවිධ නිර්වචන තිබුණනේ. නමුත් මම ඒ ගැන කිසිසේත්ම පසුතැවෙන්නෙ නෑ. එතුමා ඉතා අවංකවයි එයට මැදිහත්වුණේ. මම එයට ස්තූතිවන්ත වෙනවා.

ජනපතිවරයාට තවමත් සර්වපාක්ෂික ආණ්ඩුවට සජිත් ප්‍රේමදාසව එකතු කරගන්න බැරි වුණා. නමුත් ඩලස් අලහප්පෙරුම ඒක කරලා පෙන්නුවා. මොකක්ද රහස?

රනිල් වික්‍රමසිංහ මැතිතුමා මාස දෙකක් පුරා කරන්න උත්සාහ කරලා කරගන්න බැරිවුණු දේ තමයි අපි කළේ. තවමත් ඔහුට සර්වපාක්ෂික ආණ්ඩුව හදාගන්න බැරිව ඉන්නවා. අපි ඒක කරලා පෙන්නුවා. ගෝඨාභය මහත්මයත් වසරකට පෙරත් ඒ ආරාධනය කළා ඔහුටත් බැරි වුණා. නමුත්  අපිට පුළුවන් වුණා ප්‍රධාන කඳවුරු දෙක අතර සම්මුතිය හදන්න.

මොකක්ද දාපු ඩීල් එක?

අවංකකම තමයි ඩීල් එක.

ත්‍රස්ත විරෝධී පනත ප්‍රමුඛ කරගෙන දිගින් දිගටම අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන මොකක්ද ඔබේ අදහස?

මේක සම්පූර්ණයෙන්ම වැරැදියි. හදිසි නීති විවාදයේදිත් අපි එයට විරුද්ධ වුණෙත් ඒ නිසයි. පාර්ලිමේන්තුව තුළ අපේ කතා වාරණය කරනවාට වඩා සාහසිකයි මෙවැනි පනත් ඉස්සරහට දමාගෙන තමන්ට විරුද්ධ මත මැඬලන්න ගන්න උත්සාහය. අපි මෙයට විරුද්ධව අපේ උපරිමයෙන් කටයුතු කරනවා. සාමකාමී රැස්වීම්, උද්ඝෝෂණ, විරෝධතා දැක්වීම් සඳහා තිබෙන පුරවැසි අයිතිය අපි ආරක්ෂා කළ යුතුයි. තලෙයිබාන් පන්නයේ පාලනයක් ශ්‍රී ලංකාවට අවශ්‍ය නෑ.

රනිල් වික්‍රමසිංහ ආපු නිසා නැවතත් ජන කැරලි මතුවෙන්නේ නෑ. මෙතැනින් ජන අරගලය අවසානයි කියලා ඔබ හිතනවාද?

ගෝල්ෆේස් කූඩාරම් ගැලවුණාට සිතන්න එපා ප්‍රශ්න ඉවරයි කියලා. මේ මොහොත වන විට ලංකාවේ සෑම තැනකම කූඩාරම් ඉදිවෙලයි තිබෙන්නෙ. ඒවා සමාජ  පීඩනයේ කූඩාරම්.

විමල් වීරවංශලාගෙ උත්තර ලංකා සභාගයත් සමඟ සන්ධානගත වීමේ මතු බලාපොරොත්තුවක් තිබෙනවාද?

ඇත්තටම මම මුලින්ම ඔවුන්ට සුබ පතනවා. එවැනි සන්ධානගත වීමක් ගැන සාකච්ඡාවක් නැහැ. නමුත් පුළුල් සන්ධානයක් ගොඩනැඟෙන සෑම විටකම රටට නරකක් වෙන්නෙ නෑ. විවිධ මත දරන අය එකට එකතු වීම දේශපාලන සෞඛ්‍යයට හිතකරයි. මේ රටේ එතෙක් මෙතෙක් බිහිවූ පුළුල්ම දේශපාලන සන්ධානය හැදෙනවා නම් එයට මැදිහත්කරුවෝ වෙන්න අපිටත් හැකි නම් ඒක තමයි අපේ ප්‍රාර්ථනාව. මොකද අපි විශ්වාස කරනවා තනි පුද්ගලයකුට හෝ පක්ෂයකට මේ රට ගොඩ දමන්න බැරි බවට. විශාල සම්මුතියක් රටට අවශ්‍යයි. අපි ජනාධිපතිවරණයට ආවෙත් ඒ සම්මුතිය ඇතිව. ප්‍රධාන විපක්ෂය සහ ආණ්ඩුව එක්ව. ඒ සම්මුතිය අපි ජයග්‍රහණය කළා. ඉලක්කම්වලින් පැරදුණාට. එදා මම ජනාධිපති වුණා නම් ජනාධිපති ආණ්ඩුවේ, අගමැති විපක්ෂයේ. ඇත්තටම අපි මේ මොහොතෙත් බලාපොරොත්තු වෙන්නෙ ප්‍රධානම දේශපාලන බලවේග ටික එකතු කරලා පළල්ම යාන්ත්‍රණයක් හදාගන්නෙ කොහොමද කියලයි.

අරුණි මල්ලවආරච්චි