ගැබිනි සමය සහ මිථ්‍යාව

0
635

කාන්තාවකගේ ජීවිතයේ සුවිශේෂී කාල පරාසයක් ලෙස ගර්භණී සමය හැඳින්විය හැකිය. මවු සිහිනය වෙනුවෙන් බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙන සතුටෙන්, කැපවීමෙන් මෙන්ම යම් යම් කාරණා පිළිබඳ චකිතයකින්ද ගෙවන මෙම කාලය ජීවිතයට තදින්ම බලපානු ලබන කාල වකවානුවක් ලෙස වෛද්‍ය විද්‍යාව පෙන්වාදී ඇත.

පවුලකට අමුත්තකු එකතු වීමට යන බව දැන ගත් විගස නිවෙසහි සිටින සියලු දෙනාගේම සිත පිරී යන්නේ කුතුහලය, ආදරය, නොඉවසිල්ල යන කාරණාවලිනි. එම කාරණා සමඟ මව වටා සිටින සියලු දෙනාම තමා දන්න කියන අනාවැකි, උපදෙස්, ගුරුහරුකම් සහ ගර්භණී සමයේ තිබෙන මිථ්‍යා මත කීමට පෙලඹෙනු ලැබේ. ඇතැම් අය කළ යුතු නොකළ යුතු දේවල් පිළිබඳව මවට උපදෙස් දෙන අතර මෙම උපදෙස් මඟින් ඇතැම් මවුවරුන්ගේ සිත ව්‍යාකූල තත්ත්වයට පත්වීමටද ඉඩ හැකියාව ඇත.

ගර්භණීභාවය පිළිබඳව තිබෙන ඇතැම් මිථ්‍යා  මත අතීත ජනප්‍රවාදවලට මෙන්ම අදටත් වලංගු වී ඇත. ඇතැම් පිරිස් මෙම මත ඉහළින් පිළිගනු ලබන අතර සමාජයේ මෙම මත තවදුරටත් වැරැදි ලෙස වටහා නොගත යුතුය. එදා සමාජයේ මෙන්ම අද සමාජයේද ගර්භණී මවක් වටා විශාල මිථ්‍යාවන් ප්‍රමාණයක් ගොඩනැඟී ඇති අතර ඇතැම් මිථ්‍යාවන් දකින විට වෛද්‍ය‍ විද්‍යා‍ව කෙරෙහි ව්‍යාකූලත්වයක් පවා ඇති කිරීමට සමත්  වී ඇත.

* ගර්භණී සමයේදී දෙදෙනකුට සරිලන ලෙස ආහාර ගත යුතුයි.

“ඔහොම කාලා හරියනවද දෙන්නෙකුට හරියන්න කන්න එපැයි” මේ කතාව බොහෝ විට ගැබිනි කාන්තාවන්ට වැඩිහිටියන් කියනවා ඔබට ඇසී ඇති. ගර්භණී සමයේදී දෙදෙනකුට සරිලන ලෙස ආහාර ගත යුතුයි යනුවෙන් වැඩිහිටියන් බොහෝ විට ගැබිනි කාන්තාවන්ට පවසයි. නමුත් එය සත්‍යයක් නොවෙයි. ඇතැම් ගැබිනි කාන්තාවන් තමන්ට හුස්ම ගැනීමට පවා අපහසු වන ආකාරයට ආහාර ගනී.

මේ ආකාරයට දෙදෙනකුට සරිලන ආකාරයට අධික ලෙස ආහාර ගැනීම මවගේ බර වැඩිවීමට සහ දරුවාගේ තරබාරුකමට හේතු විය හැකි බව පැවැසේ. එමෙන්ම ගැබිනි සමයේ ඔක්කාර ගතිය සහ වමනය නිසා ආහාර ගැනීමේ අපහසුතාද ඇතිවේ.  ගර්භණී සමයේදී මවක් ලබා ගන්නා ආහාර දරුවාගේ වර්ධනයට සෘජුව බලපානු ලැබේ. නිවැරැදිව සෞඛ්‍යසම්පන්න ආහාර ලබා ගැනීම මඟින් ගර්භණී කාලයේ නිරෝගීව සිටීමටත් සාර්ථක දරු ප්‍රසූතියක් සඳහා මවගේ ශරීරය සූදානම් කිරීමට හැකියාව ලැබෙන අතර දිනපතාම පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම මඟින් කලලයේ වැඩෙන දරුවාගේ සෞඛ්‍ය සුරැකෙනු ලැබේ.

එසේම පළමු මාස හය තුළ දරුවා  වර්ධනය වීමට ඔබෙන් ලැබෙන කැලරි ප්‍රමාණය ප්‍රමාණවත්වේ.  අවසාන මාස තුළ දිනකට කැලරි 200ක් පමණ අවශ්‍ය විය හැකි අතර දිනකට කැලරි 2000ක් පමණ මවකට නිර්දේශ කර ඇත. එයින් පෙනී යන්නේ ගර්භණී තත්ත්වයකට පත්වුණු මවක් අධික ලෙස ආහාර ගැනීම ශරීරයට නුසුදුසු වන අතර එයින් මවට සිදු වන්නේ හානියක් බව තේරුම් ගත යුතුය.

* ගර්භණී සමයේ කැෆේන් අඩංගු ආහාරපාන භාවිතයට ගැනීම නුසුදුසුයි.

වර්තමානයේ  කාර්යබහුල ජීවන රටාව සමඟ බොහෝ දෙනා කෘත්‍රිම පානවර්ගවලට දැඩි ලෙස ඇබ්බැහි වී ඇති අතර එයින් කැෆේන් අඩංගු පානවලට බොහෝ දෙනා දැඩි ලෙස ප්‍රිය කරති. එහෙත් සමාජයේ තිබෙන  දැඩි මතයක් වන්නේ ගර්භණී මවකට කැෆේන් නුසුදුසුයි යන්නයි. කැෆේන් යනු අපේ ස්නායු පද්ධතිය උත්තේජනය කිරීමට සමත් රසායනික ද්‍රව්‍යයක්. ගර්භණී වීමට පෙර සිටම තේ කෝපි වැඩි වශයෙන් පානය කරන කාන්තාවන් සිටිනවා.

එවන් කාන්තාවකට ප්‍රශ්නයක් ඇතිවන්න පුළුවන් එලෙස තේ හෝ කෝපි පානය කිරීම නුසුදුසුද යනුවෙන්. බොහෝ විට වැඩිහිටියන් ලබා දෙන උපදෙස වන්නේ ගර්භණී සමයේදී කැෆේන් අඩංගු ආහාරපාන වර්ගවලින් වැළකී සිටින ලෙසයි. එමෙන්ම දරුවකු හට මවුකිරි ලබා දෙන මවුවරුන් කැෆේන් අඩංගු පාන වර්ග ගැනීම සුදුසු නැති බව පවසන අතර එයට හේතුව ලෙස විශ්වාස කරන්නේ මවුකිරි හරහා කැෆේන් දරුවාගේ රුධිරයට එක් වන බවයි. එසේම කුඩා දරුවන් කැෆේන් අඩංගු පාන වර්ග පානය කළ විට නිසි වෙලාවට නින්ද නොයෑම සහ අධි ක්‍රියාකාරී බව සහ නොසන්සුන්කම් වැනි ලක්ෂණ පෙන්වන බව සමාජයේ විවිධ මත ඇත.

නමුත් වර්තමානයේදී ප්‍රසව සහ නාරිවේද  විශේෂඥ වෛද්‍ය  විද්‍යාලය (ACOG) වාර්තා කරන්නේ ගර්භණී කාන්තාවන්ට දිනකට කැෆේන් මිලිග්‍රෑම් 200ක ප්‍රමාණයක් ශරීරයට එකතු කර ගැනීම ගැටලුවක් නොවන බවයි. මෙහිදී ඔබ සැලකිලිමත් විය යුතු වන්නේ කැෆේන් සහිත ආහාරපාන අතරට තේ, කෝපි පමණක් නොව ඇතැම් ශක්තිජනක පාන වර්ග සහ චොකලට් වර්ගද ඇතුළත් වන බවයි. එමෙන්ම දිනකට නිර්දේශිත ප්‍රමාණයට වඩා කැෆේන් අඩංගු ආහාරපාන භාවිත කිරීම තුළින් ගබ්සාවීමේ අවදානමක් ඇතිවිය හැකි බැවින් සීමාවක් ඇතිව කැෆේන් භාවිතයට ගැනීමට වග බලා ගන්න.

* ගර්භණී සමයේදී ඔබට ව්‍යායාම කළ නොහැකිය

 යම් දරුවකු පිළිසිඳ ගැනීමත් සමඟ මවකගේ මූලික අවධානය යොමු වන්නේ කුස තුළ වැඩෙන දරුවාගේ සෞඛ්‍යසම්පන්න බවටයි. සෞඛ්‍යසම්පන්නව ජීවිතයක් පවත්වා ගැනීමට නම්  ව්‍යායාම අත්‍යවශ්‍ය වන අතර ඇතැම් මවුවරුන් දරු ගැබට හානි වේ යැයි බියෙන් ව්‍යායාම්වලින් බැහැර වීමට පෙලඹෙයි.

නමුත් ව්‍යායාම කිරීම ගර්භණී මවට, දරුවාගේ සෞඛ්‍යයට සහ මවගේ මානසික සෞඛ්‍යයට වැදගත් වන යහපත් පුරුද්දකි. යම් කාන්තාවක් ගැබ් ගැනීමට පෙර සිටම ව්‍යායාම සිදු කරන දින චර්යාවකට හුරු වී ඇත්නම්, ඇය ගැබ් ගත් පසුවද සිය පෞද්ගලික වෛද්‍යවරයා හමු වී ඔබට වෙනත් සෞඛ්‍ය ගැටලු නොමැති බව තහවුරු කොට ගෙන ව්‍යායාමවල නිරත වීමට හැකියාව තිබේ. නමුත් ඔබ ගර්භණී වීමට පෙර ව්‍යායාම නොකළ කාන්තාවක් නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්ය වේ.

ගර්භණී වීම නිසා ව්‍යායාම නොකළ යුතුයි යන්න මිථ්‍යා  මතයක් වේ. එම නිසා  දිනකට මිනිත්තු තිහක පමණ කාලයක් ව්‍යායාමවල යෙදෙන්න. එසේම අධික ලෙස හුස්ම ගන්නා ව්‍යායාම් සහ උඩ පැනීම වැනි ක්‍රියාකාරකම් සුදුසු නොවන අතර පහසු සුදුසු ව්‍යායාම්වල නිරත වීම මඟින් ඔබට නිරෝගී දරු උපතක් ලබා දිය හැකිය.

* ගර්භණී සමයේ ඔබට අමුතු ආශාවන් ඇතිවේ

යම් දරුවකු උපත ලැබීමට සිටියදී මවකට විවිධ ආශාවන් ඇති වන බව සමාජයේ තිබෙන මතයකි. එහෙත් එය මිථ්‍යාවකි. කිසිම මවකට අමුතු අකාරයේ ආශාවන් ඇති නොවේ. මෙසේ ආශාවන් ඇති වන්නේ ශරීරයේ ඇතිවන හොර්මෝන වෙනස්කම් සහ රුධිරයේ සීනි මට්ටම ඉහළ පහළ යෑම නිසායි. එම හොර්මෝන සඳහා රස සහ සුවඳ බලපාන අතර ඔබගේ රුධිරයෙහි සීනි මට්ටම පහත වැටීම හේතුවෙන් සීනි අඩංගු ආහාර ආදිය ආහාරයට ගැනීමට සිතෙයි.

එහෙත් මෙම හොර්මෝන වෙනස්කම් සහ රුධිරයේ සීනි මට්ටම ඉහළ පහළ යෑම් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වනු ලැබේ.  යම් මවකට කිසියම් දෙයකට ආශාවක් ඇති නොවුණත් එයින් දරුවාට හානියක් සිදු වන්නේ නැත. ඔබ කළ යුත්තේ ගර්භණී සමය පුරාවටම පෝෂ්‍යදායී ආහාර වේලක් ආහාරයට ගැනීම පමණයි. එමෙන්ම මැටි, රෙදි සෝදන ඩිටර්ජන් වැනි දේවල්වලින් එන සුවඳට  කැමැත්තක්  සිතෙනවා නම් වහාම වෛද්‍යවරයා හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය මුණගැසෙන්න. එය PICA රෝගී තත්ත්වය සහ දරුණු රක්තහීනතාවයේ සලකුණක් විය හැකිය.

* උදෑසනට ඇති වන අසනීපය උදෑසන දෙයක් පමණි.

ගර්භණී  බවේ ඉතා සුලබ ලක්ෂණයක් වන උදෑසන අපහසුතාව (Morning Sickness) හා ඔක්කාරය, වමනය බොහෝ කාන්තාවන්ට අප්‍රසන්න අත්දැකීමක් වේ. මෙමඟින් එදිනෙදා වැඩ කටයුතුවල යෙදීමට පවා අපහසු වන අතර නවීන වෛද්‍ය විද්‍යාවට අනුව වමනය ඇති වීමට  හේතුව වන්නේ මොළයේ පවතින වමනය ඇතිකරන අවයවය උත්තේජනය වීමයි. නමුත් මෙය රෝග තත්ත්වයක් නොවේ. ගර්භණී මවකට ගර්භණී සමයේ ඇතිවන සාමාන්‍ය අපහසුතාවකි. නිරෝගීව හොඳින් වැඩෙන කලලයකින් ප්‍රමාණවත් හොර්මෝන සාන්දර්පණයක් නිකුත් වන බැවින්  අපහසුතා දැනෙනුයේ එම හේතුව නිසාවෙනි.

මෙය කලලය නිරෝගී යැයි දනවන පුවතකි. එහෙත් ඇතැම් අය සිතන්නේ වමනය කිරීමේදී ඇතිවන ගැස්ම නිසා කලලයට හානි වන බවය. කලලය වැඩීමට පෝෂණය මදියි කියාය. එහෙත් යම් මවක් ආහාර නොගත්තද කලලය තමාට අවශ්‍ය පෝෂණය මවගේ රුධිරයෙන් ලබා ගනු ලබයි. 70%ක් පමණ කාන්තාවන් මෙම තත්ත්වයට මුහුණ දෙන අතර ඇතැම් අය සිතන්නේ වමනය යෑම අසනීප ගතියක් කියාය.

ඇතැම් කාන්තාවන් හට වියළි ධාන්‍ය වැනි කුඩා ආහාරයට ගත් පසු වමනය යෑම තරමක් පහසු වන අතර මෙයට සුදුසු පිළියම වන්නේ විටමින් B-6 වැනි විටමින් පානය කිරීම සහ ඉඟුරු මිශ්‍ර තේ පානය කිරීමයි. කෙසේ වෙතත්, මෙම අසනීප හැඟීම උදෑසන වේලාවට පමණක් සීමා නොවේ, එය හොර්මෝන වෙනස්කම්වල ප්‍රතිඵලයක් ලෙස ඇති වන ක්‍රියාවලියක් බැවින් දවසේ ඕනෑම වේලාවක සිදු විය හැකිය.

* ක්‍රීම් සහ සීරම් මඟින් සමෙහි ඇතිවන ඇදීම් සලකුණු වළක්වා ගත හැකියි

ගර්භණී සමය යනු දීප්තිමත් කාල පරිච්ඡේදයක් බැවින් ගර්භණී මවකගේ මනෝභාවයන් නොසන්සුන් කරන අප්‍රසන්න රූපලාවණ්‍ය ‍ෙදා්ෂයක් ලෙස ස්ට්‍රෙච් මාර්ක්ස් හැඳින්විය හැකිය. එයට පිළියමක් ලෙස ඇතැම් මවුවරුන් විවිධ ක්‍රීම් වර්ග සහ සීරම්  ආලේප යොමු වෙයි. නමුත් ඇතැම් ක්‍රීම් මඟින් ස්ට්‍රෙච් මාර්ක් මැකීයා හැකි අතර ස්ට්‍රෙච් මාර්ක් ජානමය සැකැස්මේ කොටසක් නම් කිසිදු ක්‍රීම් වර්ගයකට ස්ට්‍රෙච් මාර්ක් මතුවීම වැළැක්වීමට නොහැකිය.

නමුත් ඔබේ සම මොයිස්චරයිසින් කිරීමෙන් සම මෘදු තත්ත්වයේ පවත්වා ගැනීමට හැකි අතර ඔබ ස්ට්‍රෙච් මාර්ක් ගැන නොසන්සුන් නම් හොඳම විකල්පයක් වන්නේ  ගර්භණී කාලය තුළ විස ද්‍රව්‍යන්ගෙන් තොර මොයිස්චරයිසින් එකක් භාවිත කිරීමයි. එයින් ඔබේ සම මෘදුව සහ ප්‍රත්‍යස්ථව තබා ගත හැකි අතර ඔබේ සම ආරක්ෂා කරන විකල්ප පිළිබඳව ඔබේ වෛද්‍යවරයා මුණ ගැසී සාකච්ඡා කරන්න.

* ගර්භණී සමයේදී ඔබට බළලුන් අසල සිටිය නොහැකිය

තවද  ගර්භණී මවක් ජීවත් වන නිවෙසක සුරතල් සතුන් ඇති කිරීම මඟින් ගර්භණී මව යම් කිසි අවදානමකට ලක් විය හැකි බව ඇතැම් අය පවසනු ලැබේ. එයට හේතුව වන්නේ නිවෙසක සිටින  සුරතලුන් විසබීජ  සහ ක්‍ෂුද්‍ර  ජීවීන් විශාල ප්‍රමාණයක් නිවෙසට රැගෙන එන බව නිවැසියන් විශ්වාස කරන බැවිනි.

ගර්භණී කාන්තාවකගේ ප්‍රතිශක්තිය දුර්වල බවත් එමඟින් මෙම ක්‍ෂුද්‍ර ජීවීන් දරුවා වෙත පහසුවෙන් ළඟාවන බවත් සමාජයෙහි මිනිසුන් විශ්වාස කරයි. එම නිසා ගැබිනි මවක් සිටින නිවෙසක බළලුන් ඇති දැඩි කිරීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබේ. එහෙත් කරන ලද අධ්‍යයනයන් තුළින් පෙනී යන්නේ ගර්භණී මවක් බළලුන් සුරතල් කිරීම හා ගර්භණී මවක් සිටින නිවෙසක බළලුන් ඇතිකිරීම මඟින් ටොක්සොප්ලාස්මෝසිස් (toxoplasmosis)  (නූපන් දරුවාට ඇතිවන ආසාදනයක්)  ඇති වීමේ අවදානමක්  ඇති නොවන බවයි.

නමුත් ටොක්සොප්ලාස්මෝසිස් ඇති කරන පරපෝෂිතයා බළලුන්ගේ මලපහ තුළ ජීවත් වන බැවින් ගර්භණී කාන්තාවක් බළලුන්ගේ මලපහ ආදිය ඉවත් කිරීමෙන් වැළකිය යුතුය. එසේම නිවෙසහි අපද්‍රව්‍ය ඉවත් කරන කුණු බ¾දුන දිනපතාම පිරිසුදු කරන්න. බළලුන්ට නිවසින් පිටතට යෑමට නොදී ගෘහස්ථව ඇති කරන්න. එසේම ගර්භණී කාන්තාවක් තම ගෙවත්ත පිරිසුදු කරන විට නිතරම අත්වැසුම් පලඳින්න. එවැනි පිරිසුදු කිරීම් ආදිය සිදු කර අඩුම තත්පර 20ක්වත් සබන් ගා අත් සෝදන්න.

* දරුවාගේ ලිංගිකත්වය පිළිබඳව විවිධ ක්‍රම මඟින් අනාවැකි පැවැසිය හැකිය

ගර්භණී  සමයේදී ඔබත් ඔබගේ පවුලෙහි උදවියත් ලැබෙන්නට සිටින දරුවාගේ ලිංගිකත්වය නැතිනම් ගැහැනු  දරුවකු හෝ පිරිමි දරුවකු ලැබෙන ලක්ෂණ දැන ගැනීමට බලා ඉන්නේ පුදුම කුතුහලයකින්. සමාජයේ මේ පිළිබඳ ඇතැම් විශ්වාස පවතින අතර පරම්පරා ගණනාවක් තිස්සේ පවතින මෙම කුතුහලය නිසාම ළදරුවකුගේ ලිංගිකත්වය කල්තියා දැනගැනීම පිළිබඳව උපකල්පන, කතා  සහ මිථ්‍යාවන් කිහිපයක් ඇති වී ඇත.

නමුත් ඒ කිසිවක් දැනට විද්‍යාත්මකව ඔප්පු වී නැත. උදෑසන ඔක්කාරය, අසනීප ගතිය දැනෙන්නේ නැතිනම් ඇතැම් අය විශ්වාස කරනු ලබන්නේ පිරිමි දරුවකු බවයි. එහෙත් උදෑසන වමනය යෑම ගර්භණී කාන්තාවන් හට පොදු ලක්ෂණයකි. තවද සමාජයේ පවතින මිථ්‍යාවක් වන්නේ පිරිමි දරුවකු ලැබීමට සිටින විට මවගේ සම කුරුලෑවලින් තොර විය හැකි බවත් ගැහැනු දරුවකු ලැබෙන විට මවගේ රූපය අවලස්සන බවත්ය. නමුත් මෙම ප්‍රකාශය සනාථ කිරීමට කිසිදු සාධකයක් නැත. ගර්භණී සමයේදී සම සහ හිසකෙස් වෙනස් වීම හොර්මෝන මට්ටම්වල වෙනස් වීම අනුව සිදුවේ.

තවද ඇඹුල් හෝ ලුණු සහිත ආහාර වැඩිපුර කෑමට සිතෙන්නේ පිරිමි දරුවකු ලැබීමට සිටියදී යන්න විශ්වාසයක් සමාජයේ තිබෙන අතර එයට හේතුව වන්නේ හොර්මෝන වෙනස්කම්, පෝෂණ උෟනතා  සහ සංස්කෘතික මනෝ සමාජීය සාධකය. එසේම උදරය පහත් වී පිහිටීම පිරිමි දරුවකු බිහිවිමට හේතුවක් බව ඇතැම් අය විශ්වාස කරන අතර Journal Birth සඟරාව කරන ලද   අධ්‍යයනයකින් කියැවෙන්නේ මෙවැනි කරුණු මඟින්  දරුවාගේ ලිංගිකත්වය විනිශ්චය කළ නොහැකි බවයි. ගර්භණී කාන්තාවකගේ උදරයේ පිහිටීම සහ ඉරියව් වෙනස්වීම් දරුවාගේ ප්‍රමාණය සහ  ගර්භාශයේ හැඩයට සම්බන්ධ විය හැකි බව පර්යේෂණ තුළින් ඔප්පු වී ඇත.

තවද මවගේ දෙපා සිසිල් නම් පිරිමි දරුවකු ලැබෙනවා යන්න සමාජයේ ඇතැම් අය විශ්වාස කරන අතර ගර්භණී සමයේදී  පාදවල සීතල  ඇති වන්නේ  දුර්වල රුධිර සංසරණය, දියවැඩියාව නැතිනම්  අධික ශීතල  කාලගුණය නිසා විය හැකිය.  එහෙත් වැඩිදුර රෝග විනිශ්චය සහ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගැබිනි මවක් තම වෛද්‍යවරයා මුණ ගැසිය යුතුය. එහෙත් ළදරුවාගේ ලිංගිකත්වය තීරණය වන්නේ සංසේචනය වන අවස්ථාවේදී (ශුක්‍රාණුවට ඩිම්බය හමු වූ විට) එහි වර්ණදේහ සැකසීම මඟිනි.

* ගර්භණී සමයේදී ඔබට වයින් වීදුරුවක් හෝ දෙකක් පානය කළ හැකිය

සමාජයේ තවත් එක් මිථ්‍ය මතයක් වන්නේ ගර්භණී මවක් වයින් පානය කිරීම සුදුසුයි යන්නයි. ගර්භණී මවක් මත්පැන් පානය කිරීම නුසුදුසුයි යන්න සමාජය පිළිගෙන තිබුණත් අද එය මිථ්‍යාවක් බවට පත් වී ඇත. ගර්භණී මවක් වයින් පානය කිරීම සුදුසුය යන මතය සමාජ ගත වී ඇති හෙයින් ඇතැම් මවුවරුන් වයින් ආදිය පානයට හුරු වී ඇත. එහෙත් වයින් පානය මඟින් කලලයට හානි සිදුවන සීමාව වැඩි බවත් මවුකිරි තුළට ඇල්කොහොල් කලවම් විය හැකි බැවින් එය අවදානම් බවද පෙන්වාදී ඇත.

* දරුවාට හානියක් වන නිසා ගර්භණී සමයේදී ඔබට ලිංගිකව හැසිරීමට නොහැකිය.

ගර්භණී සමයේ ලිංගිකව එක් වීම සුදුසු නැත යන්න විවිධ කටකතා පැතිරෙන අතර ඔබේ වෛද්‍යවරයකු හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ලිංගිකව එක් වීම සුදුසු නැත යන්න පැවසුවහොත් ඔබ ලිංගිකව එක් වීම සුදුසු නැත. එහෙත් මෙම කාලය තුළ මව සහ පියා ළඟින් ඇසුරු කිරීම තුළින් මවගේ මානසික තත්ත්වය සහ දරුවාගේ වර්ධනයටත් උපකාරී වනු ලැබේ. සාමාන්‍යයෙන් ගර්භණී මවකට මුල් මාස ත්‍රිත්ත්වයේදී ඇති වන ඔක්කාරය, පියයුරුවල තද ගතිය, මානසික වෙනස්කම් වැනි රෝග ලක්ෂණ නිසා ලිංගික ආශාවන් අඩු වීම සාමාන්‍ය තත්ත්වයකි.

ලිංගික එක්වීමකට ගර්භණී කාන්තාවගේ අකමැත්තක් ‍නැත්නම් එලෙස ලිංගිකව එකතු වීමෙහි කිසිදු වරදක් නැත. දරුවා සිටින්නේ ගර්භාශයේ water bag එක ඇතුළත නිසා පිටත ඇතිවන කම්පනයන් සහ ගැස්සීම් වැනි දේ දරුවාට දැනෙන්නේ ඉතා සුළු වශයෙනි. එම නිසා වෙනත් කිසිම සංකූලතාවක් නිසා වෛද්‍යවරුන්  ලිංගික එක්වීමෙන් වැළකී සිටීමට ඔබට උපදෙස් ලබා දී නොමැති නම්, ගර්භණී කාලයේ ලිංගික එක්වීම හෝ සුරතාන්තයට පත්වීම මඟින් දරු ගැබට කිසිම හානියක් සිදු වන්නේ නැත.

* ගැබිනි කාන්තාවක් හිසට උඩින් දෑත් එසවීමෙන් හෝ ඇතැම් නිදාගැනීමේ ඉරියව් මඟින් දරුවාගේ පෙකණි වැල දරුවාගේ ගෙල වටා එතීමට ලක්විය හැකිය

ඇතැම් වැඩිහිටියන් අතර පවතින මතයක් වන්නේ ගැබිනි කාන්තාවක් සිය හිසට උඩින් දෑත් එසවීම මඟින් ගර්භයේ සිටින දරුවාගේ පෙකණි වැල දරුවාගේ ගෙල වටා එතීම සිදු වන බවයි. එමෙන්ම මේ හා සමාන තවත් මතවාදයක් වන්නේ මවගේ ඇතැම් නිදාගැනීමේ ඉරියව් මතද දරුවාගේ පෙකණි වැල දරුවාගේම ගෙල වටා එතෙන බවයි. නමුත් මෙම මතයෙහි කිසිදු සත්‍යතාවක් නොමැත. දරුවකුගේ පෙකණි වැල එම දරුවාගේ ගෙල වටා එතෙන්නේ වෙනත් හේතූන් මතය.

ඉතින් එදිනෙදා අසන්නට ලැබෙන නොයෙකුත් මතවාද විශ්වාස කිරීම හේතුවෙන් සමාජයේ ඇතැම් මවුවරුන් නොයෙකුත් කරදර පීඩාවලට මුහුණ දුන් අවස්ථා නැතිවාම නොවේ. විවිධ මිථ්‍යා මත විශ්වාස කරමින් ඇතැම් ආහාරවලින් වැළකී සිටීමෙන් පෝෂණ උෟනතා ඇති කරගත් මවුවරුන්  සමාජයේ අපමණ ඇත. ඉපදීමට සිටින ඉන්නා දරුවා පුතෙක් යැයි විශ්වාස කර ඔහුට අවශ්‍ය බඩු සියල්ල සූදානම් කරගත් පසුව ලැබෙන දරුවාගේ දුවෙක් වූ අවස්ථාද සමාජයේ අපමණ දකින්න ලැබේ.

කවුරුන්  කෙසේ කොහොම  කිව්වත් ඔබේ දරුවා ඔබගේ කුස තුළ  දරාගෙන  සිටින්නේ ඔබ බැවින් ඔබ ඔබේ සිතුවිලි ශක්තිමත් කරගත යුතුය. මෙවැනි සමයක  ඔබේ වෛද්‍යවරයා හෝ පවුල්  සෞඛ්‍ය සේවා නිලධාරිනිය නැතිනම්  ඔබේ මව වැනි ළඟම අයෙක් විශ්වාස කිරීම  මේ මොහොතේ ප්‍රමාණවත්ය. නමුත් ඔබ ශක්තිමත් මනසකින් ක්‍රියා කළහොත් විවිධ මිථ්‍යා මතවලට වඩා නිරෝගී දරුවකු බිහිකර ගැනීමට ඔබට හැකි බව විශ්වාසය. ඒ සඳහා ,

සුවබර නින්දක්

නිසි පෝෂණය

විවේකය

භාවනාව

සො¾දුරු පරිසරයක ඇවිදීම

සතුටින් සිටීම

මිහිරි සංගීතයට ඇහුම්කන් දීම

දරු පැටියාට කතා කිරීම

වැනි සො¾දුරු වටිනා දේවල් මේ කාලයේ එකතු කරගත්තොත් ඔබේ දරුවා ලෝකයට වටිනා වස්තුවක් ලෙස මෙලොව එළිය දකින බව විශ්වාසය.

සචිනි බස්නායක
අන්තර්ජාලය ඇසුරිනි.