කෙල්ලෙක් වෙන්න ඉන්දියාවට ගිහින් ශල්‍යකර්මයේදි මැරුණු අකුරැස්සෙ කොල්ලා

0
179

යුවතියක ලෙස තම ශරීරයේ අවයව වෙනස්කරගෙන විවාහ වීමට අපේක්‍ෂාවෙන් සිටි රංග සඳරුවන්ගේ දේහය දැන් මිහිදන් කොට අවසන්ය. ගෙවත්තේම පැත්තක වළ දමා ඇති ඔහුගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට පැමිණ සිටියේ ගමේ ගොඩේ ජීවත්වන ඥාති හිත මිත්‍රාදීන් පමණි. ඔහු රවටා ඉන්දියාවට රැගෙන ගොස් ලක්‍ෂ ගණනක් නිරපරාදේ වියදම් කිරීමට ඉඩහැර ජීවිතය පවා විනාශ කිරීමට හවුල් වූ මිත්‍රද්‍රෝහී කිසිවකු මේ අවස්ථාවට පැමිණ සිටියේ නැත.

මේ සටහන ආරම්භයේදී අප කීවා සේම රංග සඳරුවන්ට ජීවිතය අහිමි වූයේ ශරීරයේ අවයව වෙනස් කර ගනිමින් යුවතියක් සේ බැබළෙන්නට තිබූ ආශාව නිසාය. ඔහුගේ මේ ආශාව ඉටුකර ගැනීමට ඔහු පොලඹවා ඇත්තේ පවිටු මිතුරන් කිහිපදෙනෙකි. රංග සඳරුවන් ඒ අනුව ලක්‍ෂ කිහිපයක් සොයාගෙන ඉන්දියාවට ගොස් ඇත්තේද මේ මිතුරන් සමඟය.

“ආරංචි මාර්ගවලට අනුව අපිට දැනගන්න ලැබුණේ මේ ශල්‍යකර්මයේදී අනවශ්‍ය විධියට නහර කැපිල කියලයි. ඒ අනුව එයාගේ  මරණය සිදුවුණා කියල තමයි දැනගන්න ලැබුණේ. ලංකාවට අරන් ආවට පස්සේ මීගමුව රෝහලේදී එයාගේ මරණ පරීක්‍ෂණය කළා. ඉදිරියේදී අපිට මරණයට හේතුව දැනගන්න ලැබේවි.” එසේ කීවේ රංග සඳරුවන්ගේ පවුලේ ඥාතියෙකි.

අපේ රටේ එතරම් කතාබහට ලක්වී නැති මෙබඳු සැත්කමකට හිත ගිය රංග සඳරුවන්ගේ ජීවිතය දෙසට දැන් අපි අවධානය යොමු කරමු.

“රංගව මම පුංචි කාලේ ඉඳලම දන්නවා. ඔහු මාත් එක්ක එකට ඉස්කෝලේ ඉගෙන ගත්තා. ඒ දවස්වල ඔහුගේ ගමන් විලාසයේ පුංචි වෙනසක් හැර අමුතු වෙනසක් අපි දැක්කේ නැහැ. මෙසේ කීවේ මාතර අකුරැස්සේ පදිංචි නාමල් කොලම්බආරච්චිය.

අකුරැස්සේ, ජටන්විල, කිරිත්තෑවේ පදිංචිව සිටි රංග සඳරුවන් අමු ගැමියෙක් විය. දුප්පත් පවුලක පළමු දරුවා වූ ඔහුට සිටින්නේ එකම එක නැඟණියක පමණි.

රංග පුතා ටික කාලයක් ඉතා හොඳ ජීවිතයක් ගත කළ කෙනෙක්. ඔහු වරක් තේ කඩයක් පවත්වාගෙන ගියා. ඊට පස්සේ දේවාලයක් කළා. ඔහුට දේවාල කටයුතු ගැන දැනුමකුත් දෙවියන්ගේ ආශීර්වාදයත් තිබුණා. එයාගේ දේවාලයට බොහෝ පිරිසක් ඇදී ආවා. ඔහොම තමයි එයාගේ ජීවිතේ ගෙවුණේ. “එසේ කීවේ රංගගේ මාමා කෙනකු වූ රවි නිශ්ශංකය.

වයස අවුරුදු 31ක් වූ මේ තරුණයා තුළ කාන්තා ගති ලක්‍ෂණත් යම් යම් ශාරීරික ලක්‍ෂණත් පිහිටා තිබුණද ඔහු ඒ කාරණා කටයුතු විවාහයට මානසික බාධාවක් කර ගත්තේ නැත. ඒ අනුව ඔහු වයස අවුරුදු 22දී පමණ විවාහ වූවේය.

මේ විවාහයෙන් පසු ඔහු පියකු වූවේ පළමු දරුවා ලෙස පියකරු සිඟිති දියණියක පවුලට එකතු වූ සතුටුදායක පරිසරයකය.

එයා ඇත්තටම හරිම සතුටින් සිටියා. ලොකු තෘප්තියකින් පවුල් ජීවිත ගත කළා. මෙහෙම ඉන්නකොට තමයි දේවාලය කළේ.

මේ ආකාරයට තෘප්තිමත් පවුල් ජීවිතයක් ගත කළ රංගට අහඹු ලෙස හඳුනා ගන්නට ලැබුණේ ඔහුගේම දේහ ලක්‍ෂණ හා වැඩි වශයෙන් ගැහැනු ගති පැවතුම් ඇති ජාන වෙනස්කම්වලට ගොදුරු වුණු පුද්ගලයන් කිහිපපොළකි.

මේ අය රංග හා කුළුපග වූයේ දේවාල කටයුතුවලට නිතර යන්නට එන්නට පටන් ගත් නිසාය.

ඊට පස්සේ එයා ඒ හැමදේකින්ම අෑත් වෙලා තමන්ගේ ස්වරූපය පවා වෙනස් කර ගන්න පටන් ගත්තා. කොළඹ යන්න එන්න පටන් ගත්තා. ඔන්න ඔය දේවල් ඉවසගන්න බැරිව තමයි එයාගේ බිරියත් රංගව දාලා ගියේ.

හැරගිය බිරියට තම දරුවා රැගෙන යෑමට නොදුන් රංග ඒ දරුවාගේ භාරකාරත්වය තමා සමඟ සිටින මවට පැවරුවේ යුවතියක ලෙසට ඇඳුම් ආයිත්තම්වලින් පවා සැරසී සිටීමේ ආසාවෙනි.

ගෙදරදී එහෙම හිටියත් පාරට තොටට යද්දී එහෙම ගියේ නැහැ. කොණ්ඩය වැව්වා. ඒත් ඒක ප්‍රදර්ශනය වෙන විදිහට හැසිරුණේ නැහැ. හොරෙන් හොරෙන් ගවුම් ඇන්දත් එහෙම ඇඳලා ගමේ ඇවිද්දෙත් නැහැ. ගෙදර අය මේවාට විරුද්ධව කතා කළා, අවවාද කළා. ඒත් එයා ඇහුම්කන් දුන්නේ නැහැ.

කාලය මේ ආකාරයට ඉදිරියට ගලා යද්දී රංග සමඟ මිතුරුදම් පැවැත්වූ ඔහුගේම විදිහට ඉන්නා පෙර කී කිහිපදෙනා කළේ ඔහුගේ ඔළුවට තවත් අලුත් අදහසක් කවන එකය.

“ඉන්දියාවේ ඉස්පිරිතාලෙක ඔපරේෂන් එකක් තියෙනවා. එතැනට ගියාම අපේ ලිංගික අවයව ගෑනු කෙනෙක් විදියටම හදාගන්න පුළුවන්. ලක්ෂ හයක් හතක් හොයා ගත්තොත් ඒක කරගන්න පුළුවන්.

මෙසේ කියූ පෙර කී හිත මිතුරු සමාගමේ කෙනකු ඒ සම්බන්ධව ඇති සියලු විස්තර රංග අත තබන්නට කටයුතු කර තිබිණි.

“ඊට පස්සේ මෙයා ගෙදරත් එක්කත් ප්‍රශ්න හදාගෙන ඉඩමක් වික්කා. ඒ සල්ලි අරගෙන තමයි පසුගිය මාසේ ඉන්දියාවට ගියේ.”

ඉන්දියාවට ගිය රංග සඳරුවන් මේ පුදුමාකාර ශල්‍යකර්මය සඳහා අගෝස්තු 18 වැනිදා චෙන්නායි නුවර පිහිටි මහත්මා ගාන්ධි වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂණ ආයතනයට ඇතුළත් වූයේ පිරිමියාගෙන් ගැලවී ගැහැනියක වීමේ ශල්‍යකර්මය

(Sex Reassignment Surgery) සාර්ථකව කරවා ගැනීම සඳහාය. එහෙත් අගෝස්තු මස 21 වැනිදා ඔහු එම ශල්‍යකර්මයෙන් පසු අවාසනාවකට මෙන් මියගියේය.

ඔහුගේ මරණය සිදුවීමට හේතුව ලෙස සඳහන් වී ඇත්තේ හෘදයට රුධිරය සපයන නහරයක අවහිරතාවකි. එහෙත් ඔහු සමඟ ගිය අය මුලදී පවසා ඇත්තේ ශල්‍යකර්මය වැරැදීම නිසා රංග සඳරුවන්ට ජීවිතය අහිමි වූ බවකි. එමෙන්ම දේහය මෙරටට රැගෙන ඒම සඳහා තවත් ලක්ෂ හතරකට වැඩි මුදලක් අවශ්‍ය වන බවද ඔවුන් ඉන්දියාවේ සිටම රංග සඳරුවන්ගේ නිවැසියන්ට දන්වා තිබිණි.

“ගෙදර මිනිසුන්ට මේ වගේ මුදලක් සොයා ගන්න එක හීනයක්. ඒත් මොනවා කරන්නද අපි ණය වුණා. එහෙම තමයි මේ මුදල ඉන්දියාවට යවලා දේහය ගෙදරට අරන් ආවේ. දැන් අපි කල්පනා කරනවා කොහොමද මේ මුදල ගෙවන්නේ කියලා. එක පැත්තකින් රංග සඳරුවන් ඉඩමකුත් අඩු මුදලකට විකුණා දාලනේ මේ ශල්‍යකර්මයට මුදල් සොයා ගත්තේ” රංග සඳරුවන්ගේ සොහොයුරිය විවාහ වී සිටින තුෂාර අප සමඟ කීවේය.

රංග සඳරුවන්ට පෙර කී අමුතුම විදිහේ මිතුරු මිතුරියන් හමුවෙද්දී ඔහු යුවතියක වීමෙන් පසු විවාහ වීමට සිටි යුද හමුදා සෙබළකුද මේ කාර්යයේදී බෙහෙවින් උදවු උපකාර කර ඇත. ඒ කිසිවකු මේ ඉන්දියානු ගමනට වචනයකුදු බාධා කර හෝ එහි ඇති භයානක තත්ත්වය පෙන්වා දී නැත.

“මේ අයම තමයි කොළඹ එක්කරගෙන ගිහින් හදිසියේම පාස්පෝට් එක හදල වීසා ගන්න පවා

උදව්කර තිබෙන්නේ.

රංග සඳරුවන් කාන්තාවක් වීමට කෙතරම් ඇලුම් කළාද යන්න පැහැදිලි වන තවත් කාරණයක් වන්නේ ඔහු පෙනුමෙන් පමණක් නොව පිරිමි නම පවා වෙනස් කර ගැනීමට කටයුතු කළ විධිය ගැන සිතන විටය. ඔහු හැමෝටම තමන්ගේ නම ලෙස සඳහන් කළේ ‘සඳුනි නිහංසා’ ලෙසය.

කෙසේ හෝ මේ වෙද්දී ඔහු බාහිර ස්වරූපයෙන් පවා වෙනස් වී සිටියේ පිරිමියකු ලෙස හඳුනා ගැනීමට පවා නොහැකි වන තරමටය.

“මේ මොනවා කළත් එයා දුවට හරිම ආදරෙයි. කවදාවත් දුවට සැර වෙනවා අපි දැකලා තිබුණේ නැහැ. මේ වගේ අදහස් එයාගේ ඔළුවට දාපු අය තමයි එයාව වෙනස් කළේ.” රවි නිශ්ශංක කීවේය.

බුදු දහමට අනුව අපි මුහුණදෙන සියලු යහපත හෝ අයහපත තීරණය වන්නේ පෙර ආත්මයේදී කළ කුසල් හා අකුසල් ක්‍රියා අනුවය.

රජවරුන් මෙන් ජීවත් වූ මිනිසුන් මහමඟට වැටෙන්නේද මහමඟ හිඟමන් යදින්නා ධනවතකු වන්නේද ඒ අනුවය.

උපතින් අපිට හිමිවන බොහෝ ශාරීරික අඩුපාඩුවලට බලපාන්නේද ඒ සත්‍යය. නිරෝගී මිනිසුන් ලෙස උපත ලබන්නේද ඒ දහමට අනුවය.

ඉදින් රංග සඳරුවන්ට හිමි වූ ජීවිතය හා එහි පැවැත්ම තීරණය වූයේද පෙර පින් අනුවය. ඒවාට සිනාසී ඔච්චම් කිරීම හෝ පහත්කොට කතා කිරීම නිරෝගී මනුෂ්‍ය ජීවිතයක් ලද අපට සුදුසු දේ නොවේ.

දැන් රංග සඳරුවන් ජීවිතයෙන් සමුගෙන ගොස් ඇතත් ඔහු වැන්නෝ සමාජයේ සිටිති. අප ඔවුන් දෙස බැලිය යුත්තේ යථාර්ථවාදීවය.

සමන් ප්‍රියංකර නම්මුනිගේ