කුඹුරු ඇට-තල-පාවට්ටා ඇතුළු ඔසු එකතුවකින් අනවශ්‍ය කැල්සියම් තට්ටු දියකර හරින ප්‍රතිකාරයක්

0
66

කුරුණෑගල ප්‍රදේශයේ සිට පැමිණි අවුරුදු 52ක් වයසැති කාන්තාවක් පිළිබඳ සටහනක් තැබීමට කැමැත්තෙමි. ඇයව මා වෙත රැගෙන ආවේ ඔසවාගෙනයි. මුළු ශරීරයම ඉතා අධික වේදනාවක් දෙන බවත් ඇවිදීමට නොහැකි බවත් අත්, පා සියල්ල හිරි වැටෙන බවත් නින්ද නොයෑම, හන්දි ආශ්‍රිත ඉදිමීම්, කොන්දේ සිට කකුල දිගට විළුඹ දක්වා යන වේදනාව, හන්දි මෙන්ම අත්, පා ආශ්‍රිත ඇඟිලි ඉදිමීම්, බෙල්ල හා පිට දිගට අමාරු මෙන්ම ආහාර අරුචිය ඇය සඳහන් කළ ප්‍රධාන රෝග ලක්ෂණයි.

පුරා අවුරුදු 8ක් පමණ ඇය බටහිර වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම ආයුර්වේද ප්‍රතිකාර දිගටම නොකඩවා ගෙන තිබුණා. වෛද්‍යවරු සැක කර ඔෟෂධ ලබාදී  තිබුණේ ආතරයිටීස් රෝගයටයි. එය ගම්භීර වාතරක්ත (Gout arthritis) ලෙස තහවුරු කර ගෙන තිබුණේ අත් පාවල ඇඟිලි දැවිලි ගතිද පවතින නිසයි. 

නමුත් නාඩි පරීක්ෂාවෙන් හා රෝග ලක්ෂණ එකිනෙකට වෙන්කර සලකා බැලීම මෙන්ම රෝගයේ ඉතිහාසය පිළිබඳ සලකා බැලීමෙන් එකෙනෙහිම මා හට හැඟී ගියේ ඇයට වැලඳී තිබෙන්නේ බෙල්ලේ සිට කොන්ද දක්වා වන කොඳුඇටපෙළ දිගට පවතින ආබාධයක් බවයි. ඕනෑම පළපුරුදු වෛද්‍යවරයකුට රෝගියාගේ කොඳුඇටපෙළ දිගට ස්ථානමය පරීක්ෂාවක් මඟින් එහි වන රෝග තත්ත්ව පහසුවෙන් හඳුනාගත හැකියි.

බෙල්ල, පිට මැද හා කොන්දේ යටි පෙදෙස තද කළ විට (ඇඟිලි මඟින්) ඇයට ඉතා දරුණු වේදනාවක් ඇතිවන බව ඇය පැවසුවා.

මා කෙසේ පැහැදිලි කළත් ඇයට වැලඳී ඇත්තේ ආතරයිටීස් තත්ත්වයක් බව ඇය දැඩි ලෙස විශ්වාස කළා. මන්ද ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරු ඒ පිළිබඳ ඇයට ප්‍රත්‍යක්ෂයෙන්ම  අවබෝධ කර දී තිබුණා.

පසුව ඇයට මා විසින් රුධිර පරීක්ෂණ කිහිපයක් සහ X කිරණ ඡායාරූප ගැනීමට නියම කළා.

X කිරණ ඡායාරූප ලෙස අනුපිළිවෙළට,

• බෙල්ල පිටුපස (Cervical area)

• පිට මැද (Thoraces area)

• කොන්ද (Lumber area)

ලෙස සම්පූර්ණ කොඳු ඇට පෙළ දිගට (Spinal cord) X කිරණ ඡායාරූප 3 ක්ද,

එසේම 

• ESR – Erythrocyte Sedimentation Rate

• CRP _ Creative Protein

• ඥදචත ලබා ගන්නා ලදී.

ඉහත X කිරණ ඡායාරූපවල මා විසින් පළමු දිනයේ ස්පර්ශයෙන් රිදුම් දුන් ස්ථානවල කැල්සියම් තැන්පත් වී ඇති අයුරු පැහැදිලිවම පෙන්නුම් කළ අතර Renal Profile හි කැල්සියම් සංඝටකවල අනුපාතයේ වැඩි වීමක්ද පෙන්නුම් කරන ලදී. CRP අගයන් වැඩි අගයක් ගත් අතර ඇයගේ දැඩි විශ්වාසය නිසා Rheumatoid Factor (ආතරයිටීස් තිබේද යන්න දැන ගැනීමට) යන රුධිර පරීක්ෂණ වාර්තාවද ලබා ගත්තා. නමුත් එය සාමාන්‍ය ලෙස පෙන්නුම් කළ අතර රෝගියාද ඉන් පුදුමයට පත් වුණා. ඇයට තිබුණේ කොඳුඇටපෙළේ ස්ථාන තුනක කැල්සියම් තැන්පත් වීම නිසා හටගත් රෝගාබාධවල එකතුවක්.

පළමුව එම කැල්සියම් තට්ටු දිය කිරීමට රත් කර නිවාගත් තෙල් පෙඟවූ පුළුන් සහිත පැලැස්තර දැමීම සිදු විය. එය ඉන්දියානු කේරළීය ප්‍රතිකර්මයක් වන අතර එය තෛල පිචු දැමීම නමින් හඳුන්වනවා.

මුල් දින සිටම සති 2න්  2ට ඇයට පානයට මා විසින් සකස් කළ ඔෟෂධීය කෂාය, පේයා, චූර්ණ, ගුළි, කල්ක ලබා දුන්නා.

ඔෟෂධ මඟින්, මුල් සති 4ක පමණ කාලය තුළදී කැල්සියම් තට්ටු දියවීම නිසා ඉතා අධික වේදනාවක් ඇතිවූ බවද ඇය නිරන්තරයෙන් මා හා පැවසුවා.

නමුත් දිනෙන් දින ඇයට ඇවිදීම පහසු වූ අතර අත් පාවල තිබූ ආබාධ නිරායසයෙන්ම නැතිවී යන්නට විය. ඒවාට මා විසින් වෙනත් ඒකීය ඔෟෂධ ප්‍රයෝග නොකළ අතර රෝග මූලයටම නිරන්තරයෙන් ප්‍රතිකාර සිදුකරන ලදී.

මාස 3 ක් සම්පූර්ණ වනවිට ඇයට ඇවිදීම පහසු වූ අතර ඉන්පසු තෙල් සාත්තු හා ව්‍යායාම (Physio Therapy) වලට රෝගියාව යොමුකරන ලදී. ඊට ප්‍රධාන හේතුව කොඳුඇටපෙළේ ආබාධවලදී හුදෙක් ස්නායු තන්තු ආක්‍රාන්ත වීමකට පත්වනවා. ඒ නිසා කිසිවිටෙක තැවිලි පොට්ටනිවලින් තැවීම සිදු නොකළ යුතුයි. ඒ නිසා නිසි වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමෙන් හා නිසි ඔෟෂධ ප්‍රයෝගයෙන් ඔබගේ නහරගත, ස්නායුගත හෝ හන්දිගත ඕනෑම රෝගයක් නිට්ටාවටම සුවකර ගත හැකියි.  

පිට දිගේ පවතින අනවශ්‍ය කැල්සියම් තට්ටුව දියකර හැරීමට ඇයට ලබාදුන් පත්තුවක් පහතින් දක්වමි.

එඬරු ඇට මද

කුඹුරු ඇට මද

සතකුප්ප

තල

තිත්ත අබිං

රසකිඳ

නික

පාවට්ටා

නමුත් මෙම පත්තු දැමීමට පෙර පළපුරුදු වෛද්‍යවරයකු ලවා ඔබගේ කොඳුඇටපෙළ නිසි ලෙස පරීක්ෂාවට ලක්කර ගැනීම කළ යුතු වන්නේය.

විජිත කේ. පතිරණ

වෛද්‍ය

එන්. දිල්හාරා ඩයස්

D.A.S.N. (Hons)

M.Ac.F (SL) I.F.A.S.Sc Chandigarh (India)

Q.C.O.P (India)

ස්වර්ණහංස ආයුර්වේදය

ගම්පහ

0778075452