කුජ පීඩාවට පත්වන ඔක්තෝබරයේ මහජන විප්ලවයක්?

0
244

සෑම අවස්ථාවකදීම ලෝකයේ සිදුවන වෙනස්වීම්වලට විශ්වය තුළ විටින් විට ක්‍රියාත්මක වන ග්‍රහයන්ගේ හැසිරීම් රටාව බලපවත්වන බව එවැනි සිදුවීම් අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි වේ. 2022 වර්ෂයේ සැප්තැම්බර් විසිහය වැනි දින සිදුවීමට නියමිත ග්‍රහ යුද්ධයේ බලපෑම ලෝකායත ජේ‍යාතිෂයට අනුව ලංකාවට කෙසේ බලපවත්වනු ඇත්ද යන්න විමසීම මෙහි අරමුණ වේ. මෙදින බුධ සහ සිකුරු යන ග්‍රහයන් දෙදෙනා අතර මෙම ග්‍රහ යුද්ධය සිදුවේ. එම ග්‍රහ යුද්ධයෙන් ජයග්‍රහණය සිකුරු ග්‍රහයාට හිමිවීම නිසා ලංකාවට එහි අනිසි ප්‍රතිඵල බලපාන බව පෙනේ. 

එමෙන්ම මෙම ග්‍රහ යුද්ධය සිදුවීම කන්‍යා රාශියේ සිදුවීමත් එම අවස්ථාවේ යුද වදින ග්‍රහයන් දෙදෙනාම රාජ්‍ය කාරක රවි ග්‍රහයාගේ උත්‍රපල් නැකැතේ ගමන් කිරීමත් අනුව බුධ ග්‍රහයාගේ පරාජය පාර්ලිමේන්තුවේ පවතින ව්‍යවස්ථාපිත බලය වෙනස්වීමට හේතුවන පරිසරයක් නිර්මාණය වීමට හේතුවන බව පෙනී යයි.

රටේ ජනගහනය, කාන්තාවන්, ළමා පරපුර මෙන්ම චිත්‍ර ශිල්පීන් නියෝජනය කිරීම සිකුරුගෙන් සිදුවේ. මෙහිදී ප්‍රධාන වශයෙන් නීච බලයෙන් යුක්ත සිකුරු ජයග්‍රහණය ලබමින් මහජනතාව නියෝජනය කිරීම තුළ උසස් පෙළේ කාන්තාවන්ට, කලාකරුවන්ට විපත් සිදුවීමට හේතුවේ. ඊට අමතරව රජයේ ආදායම් තත්ත්වය තවදුරටත් පහළ අගයක් ගන්නා අතර දැනට පවතින ඉන්ධන අර්බුදය බලාපොරොත්තු නොවන ආකාරයෙන් වර්ධනය වීමක් සිදුවේ.

2023 මාර්තු දාහතරවැනි දින දක්වා ආණ්ඩුව නියෝජනය කරන කුජ ග්‍රහයා ලංකා කේන්දරයේ සිවුවැනි භාවයේ ගමන් කිරීමත් එම භාවය නවවැනි දෘෂ්ටියෙන් සිකුරු දැකීමත් නිසා කාම අපරාධ බහුල වීම සිදුවේ. මෙම අවස්ථාවේදී රාහුගේ ‍ෙදාළොස්වැනි දෘෂ්ටියෙන් කුජ පීඩාවට පත්වීම නිසා ආණ්ඩුව දැඩි ලෙස මහජනතාවගෙන් පීඩාවට පත්වේ. මෙහිදී රජය කුපිත වී මහජනතාවට හිරිහැර කිරීමට පෙලඹීමෙන් රජයට පාලනය කිරීමට නොහැකි ආකාරයේ මහජන විප්ලවයක් මතුවීමටත් එම විප්ලවය පවතින පාලන තන්ත්‍රයේ වෙනසක් ඇති කිරීම දක්වා ප්‍රබල ලෙස ක්‍රියාත්මක වීමට ජනතාව පෙළ ගැසීම තුළ රාජ්‍ය සේවය සහ ආරක්ෂක අංශ අකර්මණ්‍ය වීමේ පරිසරයක් නිර්මාණය වනු ඇත.

ඔක්තෝබර් විසිපස් වැනි දින සිදුවන අර්ධ සූර්යග්‍රහණයෙන් රාජ්‍ය නායකයන්ට, රජයේ උසස් නිලධාරීන්ට එරෙහිව නැඟී සිටීම රාජ්‍ය සේවකයන් විසින්ම සිදු කරන අතර එම තත්ත්වය 2023 වසරේ මාර්තු මාසය දක්වාම අශුභවාදී ලෙස බලපවත්වන බව ජේ‍යාතිෂමය සිද්ධාන්තවලින් පෙනී යයි. මෙම ග්‍රහ යුද්ධයට අමතරව නොවැම්බර් මාසයේ සිදුවන ග්‍රහ යුද්ධයෙන්ද සිකුරු ජයග්‍රහණය කිරීම මත එහි බලපෑම රාජ්‍ය නායකයාගේ පිරිහීමටද හේතුවේ.

රාජ්‍ය නායකයාගේ කේන්දරයට අනුව බුධ ග්‍රහයාගේ පරාජය ජනතා අප්‍රසාදය වැඩි වීමටත් ජාත්‍යන්තර බලපෑම්වලට යටත් වීමට සිදුවීම හේතුවෙන් රටේ වෙළෙඳ කටයුතු පිළිබඳ වාද විවාද පැනනැඟීමටත් හේතුවේ. ජාත්‍යන්තර මිත්‍ර සබඳතා අපේක්ෂා කරන ආකාරයෙන් ගොඩනඟා ගැනීම අපහසු වේ. මෙහිදී සිකුරුගේ බලපෑම තුළ රජයට සහ රාජ්‍ය පාලකයන්ට එරෙහිව කාන්තාවන්ගේ නැඟී සිටීම වෙනදාට වඩා ප්‍රබල වනු ඇත.

කිවිපති

කල්‍යාණි හේරත් මැණිකේ

071 8664273