එකම සිඟිති දුව තාත්තාගේ රියට යටවුණු මාතිඩල් ඛේදවාචකයේ අමිහිරි කතාව

0
34

පවුලේ සුරතලයටත් ආදරයටත් පාත්‍ර වී සිටි දෙහැවිරිදි සචිත්‍රා දැරියගේ හදිසි වියෝවෙන් මුළු මාතිඩල් ගම්මානයම මේ වන විටත් කම්පනයට පත්ව සිටිති. දැරියගේ මරණයෙන් වැඩියෙන්ම කම්පා වී සිටින්නේ අගේ පියාය. ඊට සාධාරණ හේතුවක් තිබිණි. ඒ දැරිය මියගොස්  තිබුණේ ඔහුගේ රියට යට වීම නිසාය. මෙය ඔහුට තවමත් දරාගත නොහැක්කකි. ඔහු වරින් වර සිහිමූර්ජාව ඇද වැටෙයි. වචන දෙක තුනක් කතා කර හිස් අහස දෙස බලාගෙන කල්පනා කරයි.  ආහාර ගැනීමද වර්ජනය කර තිබේ.  මේ නිසා නිවැසියන්ද දැඩි අසරණතාවකට පත්ව සිටී.

ඒ ඉකුත් අටවැනිදාය. තඹලගමුව මාතිඩල් ගම්මානයේ පැවැති විවාහ මංගල්‍ය උත්සවයකි.  ඊට සහභාගි වීම සඳහා මාතිඩල් ගමේ වඩිවේල්ගේ පවුලද සූදානම්ව සිටියහ. වඩිවේල්ට සිටියේ එකම දියණියකි. ඇය අවුරුදු දෙකක් සහ මාස දෙකක් වයසැති සුරතලියකි. කුඩා සචිත්‍රාට නිවැසියන් දැක්වූයේ දැඩි සෙනෙහසකි. ආදරයකි.

මඟුල් ගෙදර යෑමට සියලු දෙනා ලක ලෑස්තිව සිටි අතර ගමනට යොදාගෙන තිබුණේ වඩිවේල් සතු කේ.ඩී.එච්. වර්ගයේ වෑන්රියයි.

රථය පණගැන්වූ වඩිවේල් එය මහා මාර්ගයට ගැනීම සඳහා යළි ගේට්ටු දෙක අතරින් ආපස්සට පදවා ඇත. මේ බව නිවෙසේ රැඳුණු චූටි සචිත්‍රාද දැක තිබේ.

ඒ සමඟම ඇය නිවෙස තුළ සිට දිවගෙන ආවේ පියාගේ රථයට නැඟ ගැනීමේ අරමුණෙනි. එහෙත් සචිත්‍රා දිව එන බව රියැදුරු අසුනේ සිටි වඩිවේල් නොදුටුවේය. ඒ සමඟ ඇසුණේ කෑ ගැසීමකි. වඩිවේල්ගේ රිය එසැණින් නතර විය.

“දුව……”

පුංචි දැරිය රථයේ රෝදයකට හසුව තිබිණි. මර ළතෝනි දෙමින් පැමිණි වඩිවේල්ගේ බිරිය ඇතුළු නිවැසියන් වහා සචිත්‍රා දියණිය කෝවිල්අඩි ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගියේද කේ.ඩී.එච්. රථයෙනි. රෝහලට ඇතුළත් කරන විටත් දැරිය කිසිදු වචනයකුදු නො‍ෙදාඩා තිබිණි.  දැරිය පරීක්ෂා කළ රෝහල් වෛද්‍යවරු පැවසුවේ දැරිය ඒ වන විටත් මියගොස් ඇති බවකි.

මෙය වඩිවේල් ඔහුගේ බිරිය ඇතුළු පවුලේ  කිසිවකුටත් දරාගත නොහැක්කක් වූහ. ඔවුහු විලාප නඟමින් මුළු රෝහලම දෙවනත් කළහ. වඩිවේල් කරකියාගත දෙයක් නොමැතිව ඉකි ගසමින් හඬන්නට විය.

සිද්ධිය තඹලගමුව පොලිසියට සැලවිණ. ස්ථානාධිපති සම්පත් බණ්ඩාර මහතාගේ උපදෙස් මත රථවාහන අංශය භාර පොලිස් පරීක්ෂක දිසානායක ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළහ.

දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ත්‍රිකුණාමලය රෝහලට රැගෙනයාමෙන් පසු ඥාතීන්ට භාරදෙන ලදී.

පොලිසිය පවසන්නේ දැරියගේ පියාගේ නොසැලකිල්ල මෙම අනතුරට මුල්ව ඇති බවය. දැරිය වාහනය දෙසට දිව එන බව ඔහු දැක තිබුණේ නැත. ඒ බව නොදත් දැරියගේ පියා වාහනය පසුපසට ධාවනය කිරීම නිසා දැරිය වාහනයේ පසුපස වම් රෝදයට යටවී ඇතැයි පොලිසිය කියයි.

කෙසේ වෙතත් මෙය වුවමනාවෙන්ම සිදුකළ මරණයක් නොවන බව විමර්ශනයේදී හෙළි වී තිබේ. එහෙත් දැරියගේ මරණය සම්බන්ධයෙන් වාහනය පැදවූ රියැදුරා පොලිසිය මඟින් අත්අඩංගුවට ගත යුතු වේ. එමෙන්ම ඔහු අධිකරණයටද ඉදිරිපත් කළ යුතුව තිබේ.  එහෙත් දරුවාගේ මරණයෙන් දැඩි ලෙස කම්පනයට පත්ව සිටින රථයේ රියැදුරා වූ දැරියගේ පියා වැටී ඇති මානසික තත්ත්වය නිසා පොලිසියට ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකිව තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී තඹලගමුව පොලිස් ස්ථානාධිපතිවරයා පවසන්නේ මේ සම්බන්ධයෙන් අධිකරණයටද කරුණු වාර්තා කර ඇති බවය. මානුෂික හේතූන් මත සහ දැඩි කම්පනය මත  දැරියගේ මරණය සම්බන්ධයෙන් ඇගේ පියා මෙතෙක් අත්අඩංගුවට නොගත් බව පොලිසිය සඳහන් කරයි.

කෙසේ වෙතත් දැරියගේ අවසන් කටයුතු අවසන් වීමෙන් පසු කරුණු කාරණා පහදා දී දැරියගේ පියා අධිකරණයට ඉදිරිපත් කරන බවද තඹලගමුව පොලිසිය කියයි. එතෙක් ඔහුට දැරියගේ අවසන් කටයුතුවල නිරතවීමට ඉඩකඩ ලබාදී ඇතැයි වාර්තා වේ.

දහසකුත් බලාපොරොත්තු බැඳගෙන පවුලට ලැබුණු එකම චූටි දියණිය මෙසේ අකාලයේ මරු වැලඳගැනීම වඩිවේල්ගේ සිතින් කිසිදා අමතක කළ නොහැක්කකි. දියණියගේ මරණය ඔහුගේ සිතට සදා වේදනාවක් ගෙන දෙනු නියතය. ඒ එකම දියණිය ඔහුම පැද වූ රියට යටවී අවසන් හුස්ම හෙළීම නිසාය.

මෙවන් සිද්ධීන් මීට පෙරද නොයෙකුත් පළාත්වලින් වාර්තා වී තිබිණි. මේ හැම සිදුවීමකට මුල නොසැලකිල්ලය. ඒ හේතුවෙන් පුංචි දරුවන් බොහොමයක් අකාලයේ මරු වැලඳගත්හ. එය එම දරුවන්ගේ පවුල්වලට කිසිසේත් දරාගත හැක්කක් නොවේ. පුංචි සචිත්‍රාගේ මරණයද එවැන්නකි. දෙනෝ දාහකගේ කර මතින් ඇය පසුගියදා අවසන් ගමන් ගියේ මුළු තඹලගමුව සෝ සයුරේ ගිල්වමිනි.

තඹලගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් බණ්ඩාර මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.ඒ. ආර්.එස්. දිසානායක ඇතුළු සැරයන්වරුන් වන සුගත් (5745), ආනන්ද (58502)  සහ නිසාන් (61693) මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරති. 

කීර්ති මෙන්ඩිස්