උතුරු ඩෙන්වර්හි ළමා ඝාතකයා Black phone

0
606

ස්කොට් ඩෙරික්සන් කියන්නේ මට අනුව වර්තමානයේ හොරර් ශානරයේ වැඩදාන නිර්මාණකරුවන්ගෙන් වඩාත්ම අඩු අවධානයකට ලක්වූ අධ්‍යක්ෂවරුන්ගෙන් කෙනෙක්.

ඩෙරික්සන්ගේ මම වඩාත් කැමැතිම දේ කතාවේ හොරර් වයිබ් එක ආරම්භ කිරීමට පෙර ඔහු කතාවේ සිටින චරිතවලට ස්වාභාවිකත්වයක් දෙන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මේ චරිත එක්ක ප්‍රේක්ෂකයාට බැඳීමක් ඇති කරනවා. ප්‍රේක්ෂකයන් යම් චිත්‍රපටයකට අල්ලා තබාගැනීමට නම් ඔවුන්ව මුලින්ම චරිත එක්ක සම්බන්ධයක් ඇති කළ යුතු බව ස්කොට් දන්නවා. ඒක නිර්මාණකරුවෙක් විදිහට ස්කොට්ගේ මම දකින හොඳ දෙයක්.

සාමාන්‍යයෙන් ෆිල්ම් එකක ස්ටෝරි එක පවර්ෆුල් වෙන තරමට ඒ ෆිල්ම් එක සාර්ථක වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. මම කිව්වත් වගේ මේ චිත්‍රපටයේ කතාව ප්‍රබල වීම සහ ඒක කෙමෙන් කෙමෙන් ගොඩනඟන ආකාරය නිසාම අවසානයේ මෙය මෑතක පැමිණි හොඳ හොරර් චිත්‍රපටයක් බවට පත්වෙලා තිබෙනවා.

Black phone ගුණාත්මක හොරර් චිත්‍රපටයක් වෙන්න තව සාධක කිහිපයක් තිබෙනවා. හොරර් කියපු ගමන් අපේ ඔළුවට එන දෙයක් තමයි මොනවහරි කරලා බයකිරීමට උත්සාහ කිරීමක් තමයි මේ චිත්‍රපටවල තියෙන්නේ කියලා. ඇතැම් නිර්මාණකරුවොත් හිතන්නේ එහෙමයි. ඒත් ස්කොට් බය කිරීමකට වඩා එහාට ගිහින් හොඳ කතාවක් ප්‍රේක්ෂකයා ඉදිරියට ගේන්න උත්සාහ කරලා තියෙනවා.

ස්කොට් විසින් ආකර්ෂණීය චරිත, හොඳ තිරපිටපතක්, හොඳ සිනමා ආඛ්‍යාන සහ අවසානයේ බලන්නාට දැනෙන ඉමෝෂනල් වයිබ් එකක් ගොඩනැඟීම හරහා චිත්‍රපටය සාර්ථක කරගෙන තිබෙනවා.

ස්කොට් Jump scares වගේ දේවල් චිත්‍රපටය පුරාම යොදාගන්නේ නැතුව ප්‍රේක්ෂකයා සේම චරිත තුළට බියක් ඇතිකරන අවස්ථා අරමුණක් සහ තේරුමක් සහිතව ඉදිරිපත් කර තිබීම විශිෂ්ටයි.

චිත්‍රපටය සම්බන්ධයෙන් මට තිබුණු එකම අවුල ඊතන් හෝක් වගේ ශ්‍රේෂ්ට නළුවෙක් යොදාගෙනත් ඔහුගේ ලොකු භාවිත කිරීමක් දැනුණෙ නැතිවීමයි. කෙසේ නමුත් ඔහුට තිබුණු කාලයෙන් ඔහු හොඳටම කළා. ඒත් තව පැහැරගැනීම්, මරාදැමීම් ඇතුළත් දර්ශන කිහිපයක් තිබුණා නම් ත්‍රාසජනක බව තවත් වැඩිවෙන බව නිසැකයි. චිත්‍රපටය තුළ ඊතන් හෝක් ළමා ඝාතකයකු වන The Grabber ලෙස රඟපායි. උතුරු ඩෙන්වර්හි කුඩා නගරයක මොහුගේ පැහැරගැනීම් මාලාව මොහු කරගෙන යයි. චිත්‍රපටය තුළ පෙන්වන අයුරින් ගැටුම්වලට මුලපුරන, දුකින් කල්ගෙවන, තනියම ගමන් යන දරුවන් මොහුගේ ඉලක්කයන් වේ. මොහු කළු පැහැති වෑන් රථයක් පදවන අතර ඉන්ද්‍රජාලිකයකු ලෙස පෙනී සිටිමින් කුඩා දරුවන් ආකර්ෂණය කර මත්කර පැහැරගනියි.

ඉන්පසුව ඔවුන් සිරකර තබාගනී.  ඇත්තටම මේ පුද්ගලයා කවුද? මොනවද කරන්නේ කියලා බලන්න ඕනේම නම් Black phone නරඹන්න කියලා මම යෝජනා කරනවා වගේම අවසානයේ කියන්න තියෙන්නේ හොරර් ෆිල්ම් ප්‍රියකරන්නන්ට මේක හොඳ චිත්‍රපටයක් බවයි.

ක්‍රිෂාද් මාධව