ඉන්දියාවෙන් පැනලා ලංකාවට එන්න හදන ගුප්ත ආධ්‍යාත්මිකයා කවුද මේ නිත්‍යානන්ද?

0
69

දූෂණ හා අපහරණ චෝදනාවන්ට ලක්ව ඉන්දීය අධිකරණයකින් වරෙන්තු නිකුත් කර සිටියදී ඉන්දියාවෙන් පලාගොස් දකුණු ඇමරිකානු බිමක තමන් විසින්ම ප්‍රකාශයට පත්කර ගත් ස්වාධීන රාජ්‍යයක් ගොඩනඟාගෙන සිටින හින්දු ආධ්‍යාත්මික නායකයකු යැයි කියාගන්නා අයකු ශ්‍රී  ලංකාවේ දේශපාලන රැකවල් පතා ඇත.

මෙසේ ශ්‍රී  ලංකාවේ දේශපාලන රැකවරණ පතා ඇත්තේ ශ්‍රී  නිත්‍යානන්ද පරමශිවම් නැතහොත් පරමශිවම් නිත්‍යානන්ද නමැත්තෙකි.

මොහුගේ අනුගාමිකයන් ඉකුත් අගෝස්තු 07 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ආධ්‍යාත්මික නායකයාගේ නමින්ම ලිපියක් එවමින් තම නායකයාගේ රෝගී තත්ත්වය බැරෑරුම් අතට හැරෙමින් පවතින බැවින් දේශපාලන රැකවරණ පමණක් නොව රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබාගැනීමට ඉතා දැඩි ලෙස අවශ්‍යව ඇති බවත් දන්වා තිබේ.

ශ්‍රී  ලංකාවේ ඉහළ පෙළේ රජයේ මූලාශ්‍රයකින් මෙම පුවත තහවුරු කරගත් බව ප්‍රකාශ කරන India Today පුවත්පතට අදාළ ලිපියද ප්‍රසිද්ධ කර ඇත.

ඉන්දියා ටුඩේ හි පළ වූ එම ලිපියේ මෙසේද සඳහන් වේ.

“හින්දු ආගමේ උත්තරීතර ආගමික නායක දිව්‍යමය ශුද්ධෝත්තම ශ්‍රී  නිත්‍යානන්ද පරමශිවම්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ බැවින් ඔහුට හදිසි වෛද්‍ය ආධාර අවශ්‍යව තිබේ. කෛලාස රාජ්‍යයේ ඇති වෛද්‍ය පහසුකම් මත ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයට බලපාන රෝගය හඳුනා ගැනීමට නොහැකිව තිබේ. උත්තරීතර හින්දු ආගමික නායකයා මේ වන විට ස්වෛරී රාජ්‍යයක් වන ශ්‍රී  කෛයිලාස භූමියේ සිටින අතර එහි මේ මොහොතේ අත්‍යාවශ්‍යම වෛද්‍ය පහසුකම් නොපවතී.

තත්ත්වය බරපතළ බැවින් ඔහුගේ අනුගාමිකයෝ ඔහුට දේශපාලන රැකවරණ පමණක් නොව ශ්‍රී  ලංකාවේ වෛද්‍ය පහසුකම්ද බලාපොරොත්තු වෙති.

නිත්‍යානන්දගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සලකා බලා නැවත නොවෙනස් කරන ආකාරයට ඔහුට දේශපාලන රැකවරණ හැකි ඉක්මනින් ප්‍රදානය කළහොත් ඔහුව ගුවන් ගිලන් රථ සේවයක් කරා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ශ්‍රී  ලංකා සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික ජනරජය වෙතින් ලබාගැනීමට රැගෙන ආ හැකි බවද ඔහුගේ රාජ්‍යයේ ඇමැතිවරයකු සඳහන් කර ඇත. ඔහුව අපහරණය කිරීමට හැකි බලවේග හේතුවෙන් උත්තරීතර හින්දු පූජකතුමාගේ ජීවිතය තවදුරටත් අවදානමේ පවතින අතර මෙය ශ්‍රී  කෛලාස රාජ්‍යයේ රාජ්‍ය නායකයා ලෙස ඔහුගේ ආරක්‍ෂාවට ගත හැකි හොඳම පියවර බව තමන් විශ්වාස කරන බවද සඳහන් වේ.

මෙයාකාරයෙන් ශ්‍රී  කෛයිලාස රාජ්‍යයේ ඇමැතිවරයකු යැයි කියාගන්නා පුද්ගලයකු රාජ්‍යයක් යැයි හඳුන්වාගන්නා ශ්‍රී  කෛලාසය හා ශ්‍රී  ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්ට මුලපිරීමට ඉල්ලීමක් කර ඇති බව ඉන්දියා ටුඩේ පුවත්පත කියයි.

තම උත්තරීතර පූජකතුමාට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය යම් වෛද්‍යමය උපකරණයක් වේ නම් එය රැගෙන ඒමට හැකි බවද ශ්‍රී  ලංකාවේදී ප්‍රතිකාර සඳහා දැරීමට සිදුවන වියදම් ඔවුන් දරන බවද කෛලාස රාජ්‍යයෙන් ශ්‍රී  ලංකාවට එවූ ලිපියේ සඳහන් වේ. වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට ප්‍රතිඋපකාර වශයෙන් ඩොලර් මිලියන ගණනක් වටිනා වෛද්‍යමය උපකරණ ඔබේ ජනතාවගේ ප්‍රයෝජනය පිණිස තබා යන බවද එහි සටහන් කර ඇත.

එපමණක් නොව නැවත වෙනස් නොකරන ආකාරයට දේශපාලන රැකවරණ ලබාදුන් වහාම ශ්‍රී  ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්ත පළකර ඒ සඳහා යෝජනාවක්ද එම ලිපියෙන් ඉදිරිපත් කර තිබේ.

අපේ අසල්වැසි රටේ අධිකරණ වරෙන්තු නිකුත් කර ඇති අපරාධකරුවකු වුවද බංකොලොත්භාවයට පත්ව ඇති අප රටේ දේශපාලන රැකවල් අයදින හා ආයෝජනය කිරීමට සූදානම් මෙම ශ්‍රී  කෛලාස රාජ්‍යයේ රාජ්‍ය නායකයාගේ හා ඔහුගේ ස්වෛරී රටේ වතගොත හා ඉතිහාසය සොයා දැන ගැනීම වටී.

ආධ්‍යාත්මික බල

බ්‍රහ්ම සූත්‍ර, යෝග සූත්‍ර, ශිව සූත්‍ර, භගවත් ගීතාව වැනි විවිධ පෞරාණික හින්දු ග්‍රන්ථයන්හි පවතින ධර්ම කරුණු ගැන දේශනා කිරීමට නිත්‍යානන්ද සමර්ථයක් දක්වයි.

එසේම ඔහු සතු ආධ්‍යාත්මික බලයෙන් හිරු උදාව විනාඩි 40කින් ප්‍රමාද කිරීමටත්, දෙමළ සහ සංස්කෘත භාෂාවලින් වසු පැටවුන් කතා කරවීමටත් හැකි බව කියැවේ. එසේම ස්කන්ධය හා ශක්ති තුල්‍යතාව සම්බන්ධයෙන් නූතන විද්‍යාවේ භාවිත කරන E = mc2 සමීකරණයේ නිරවද්‍යතාව බිඳ හෙළීමට ඔහුට හැකි බව නිත්‍යානන්ද ප්‍රකාශ කර ඇත.

තෙවැනි ඇස ඇරීමේ බලය

අති විශේෂ අපූර්ව හැකියාවන් හෙවත් සිද්ධි 400ක් තමන් විසින් අත්පත් කරගෙන ඇති බව නිත්‍යානන්ද කියයි. ඔහුගේ සිසුන්ට එම හැකියාවන්ගෙන් 60ක් ලබාදෙන බව කියැවේ.  එසේම ඕනෑම කෙනකුගේ තෙවැනි ඇස ඇර දීමටද ඔහුට හැකියාව ඇති බව ඔහු කියයි. මෙය 2021 වසරේදී නොමිලේ ලබාදෙන බවද එය ලබාදුන් පුද්ගලයන්ට බිත්ති, තාප්ප හා මීදුම හරහා බැලිය හැකි බවද කියා ඇත.

ස්වාමි නිත්‍යානන්ද අන්ධ දරුවන් 82කට තෙවැනි ඇස විවර කර දීම තුළින් පෙනීම ලබාදී ඇති බව ඔහුගේ ගෝලබාලයෝ කියති.

ඔහුගේ අනුගාමිකයන්ට අති ඉන්ද්‍රීය සංජානනය, සිරුරු විනිවිද දැකීමේ බලය, ශරීර උස වැඩි කර ගැනීම, දුරස්ථ තැනක සිදුවන දේ දැකීම, නැති වූ භාණ්ඩ සොයා ගැනීම ආදී බලයන් ලැබී ඇති බව නිත්‍යානන්දන් කියයි.

දූෂණ හා අපහරණ චෝදනා

2010 වසරේදී ඇමරිකාවේ පුරවැසියකු වන ඔහුගේ සිසුවියක නිත්‍යානන්දට එරෙහිව දූෂණ චෝදනාවක් එල්ල කළාය. ඇමරිකාවේදී මෙන්ම ඉන්දියාවේදී ද වසර 5ක් දිගටම ඇයව දූෂණය කළ බව ඇය කියා සිටි අතර පළමුව ඇමරිකාවේ මිචිගන් පොලිසියටද දෙවැනුව කර්ණාටක පොලිස් ස්ථානයටද සිය පැමිණිල්ල යොමු කළාය.  රාමනගර අධිකරණය නිත්‍යානන්දට එරෙහිව චෝදනා ගොනුකරන ලෙස 2018 පෙබරවාරි 09 වැනිදා පොලිසියට නියෝග කළේය. එම චෝදනාවලට එරෙහිව නිත්‍යානන්ද කර්ණාටක මහාධිකරණයට යොමු කළ පෙත්සම නිෂ්ප්‍රභ වූ අතර වැරැදිකරු නොවන බව කියමින් හා මහාධිකරණ තීන්දුවට එරෙහිව ශේ්‍රෂ්ඨාධිකරණයට යොමුකළ අභියාචනාද නිෂ්ප්‍රභ විය. මෙම 2022 අගෝස්තු මාසයේදී රාමනගර අධිකරණය නිත්‍යානන්දට පෙනී සිටින ලෙස කළ නියෝග නොතකා හැරීමෙන් ඇප ලබා දිය නොහැකි ලෙස වරෙන්තු නිකුත් කර තිබේ.

එසේම 2019 වසරේදී ගුජරාට් මහාධිකරණය හමුවේ නිත්‍යානන්දට එරෙහිව අපහරණ චෝදනාවක්ද ගොනු කෙරිණි. බැංගලෝරයේ සිට තමන්ගේ කැමැත්තකින් හෝ අවසරයකින් තොරව නිත්‍යානන්ද තම දරු දෙදෙනා ඉක්වදෝර්හි අහමෙදාබාද්හි පිහිටි නිත්‍යානන්දගේ ආශ්‍රමයට ගෙනගොස් ඇතැයි කියමින් තමිල්නාඩුවේ මවුපිය යුවළක් මෙම චෝදනාව ගෙන එන ලදී.  එහෙත් පසුව මෙම ගැහැනු දරුවන් දෙදෙනා තමන් කැමැත්තෙන් පැමිණි බව ප්‍රකාශ කර තිබිණි.

දකුණු ඉන්දීය නිළි රංජිතා ශ්‍රාවිකාවක් වෙයි

මේ අතර 2010දී Sun TV රූපවාහිනි නාළිකාව වීඩියෝ පටයක් විකාශය කිරීම හේතුවෙන් නිත්‍යානන්ද සමඟ දකුණු ඉන්දීය සිනමා නිළි රංජිතා පිළිබඳ කතාවක්ද කරළියට පැමිණියේය.  එම වීඩියෝ පටයෙන් ස්වාමි නිත්‍යානන්ද හා රංජිතා කාමරයක කල් ගතකරන ආකාරය දර්ශනය විය. එම වීඩියෝපටය ව්‍යාජ එකක් බව නිත්‍යානන්ද මෙන්ම රංජිතාද පැවැසූහ. පසුව රංජිතා Sun TVට එරෙහිව සිය පෞද්ගලික ජීවිතයට බාධා කිරීම සම්බන්ධයෙන් නඩුවක් පැවරූ අතර ඇයගෙන් සමාව ගැනීමට අධිකරණය රූපවාහිනි නාළිකාවට නියෝග කළේය.

චිත්‍රපට ගණනාවක රඟපෑ ප්‍රසිද්ධ නිළියක් වන රංජිතා සිය 37 වැනි උපන් දිනයේදී නිත්‍යානන්දගේ ආශ්‍රමයේදී තවුස් දිවියට ඇතුළත් වූවාය.  එතැන් සිට ඇය මා ආනන්දමායි නමින් හැඳින්වෙයි. ඇය අවසාන වශයෙන් මනිරත්නම් අධ්‍යක්ෂණය කළ ‘රාවන්’ චිත්‍රපටයේ රඟපෑවාය.

ශ්‍රී  කෛලාස රාජ්‍ය පිහිටුවීම

දූෂණ හා අපහරණ චෝදනා මෙන්ම අධිකරණ වරෙන්තු මැද ඉන්දියාවෙන් පලාගිය නිත්‍යානන්ද සාමි නැවත මතුවූයේ දකුණු ඇමරිකාවට අයත් ඉක්වදෝරය සතු අහමෙදාබාද් (Ahmedabad) නමින් හැඳින්වෙන දිවයිනකිනි. එම දිවයින ඔහුගේ බැතිමතකු විසින් මිලදී ගෙන ඔහුට ප්‍රදානය කරන ලද බව පැවැසේ.

ඒ වනවිට ස්වාමි නිත්‍යානන්දට ඉන්ටර්පෝල් ජාත්‍යන්තර පොලිසියෙන් නිල් නිවේදනයක්ද (Blue Notice) නිකුත් කර තිබූ බව පැවැසේ. නිත්‍යානන්ද ඉක්වදෝරය තෝරාගත්තේ ඉන්දියාව හා ඉක්වදෝරය අතර ‘පුද්ගලයන් නෙරපීම’ සම්බන්ධයෙන් ද්විපාර්ශ්වීය ගිවිසුමක් නොවූ නිසා බව පැවැසේ. ඉන්දීය පොලිසිය ඔහු ඉක්වදෝරයේ රැකවරණ ලබන බවට කළ ප්‍රකාශයක් ඉක්වදෝරය ප්‍රතික්ෂේප කර තිබුණේ ඔහුට දේශපාලන රැකවරණ ලබාදී නොමැති බව කියමිනි.

නිත්‍යානන්ද සිය රාජ්‍යය ශ්‍රී  කෛලාසය නමින් හැඳින්විය. ඇත්ත වශයෙන්ම කෛලාසය ඇත්තේ හිමාලයේ බව කියැවෙතත් නිත්‍යානන්දගේ කෛලාසය ඇත්තේ ඉක්වදෝරයට අයත් භූමි ප්‍රදේශයේය.

2019 දෙසැම්බරයේදී ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී  කෛලාස රාජ්‍ය ලොවපුරා හින්දුන්ට සත්‍ය හින්දු දහමට අනුගත විය හැකි ලෝකයේ එකම ස්වෛරී හින්දු රාජ්‍ය ලෙස නිත්‍යානන්ද විසින් හඳුන්වා ඇත. මෙම අපූර්ව රාජ්‍යයට දේශසීමා නොමැති අතර ලොවපුරා සිටින සැබෑ හින්දුන්ට විවෘතය. මෙකී ශ්‍රී  කෛලාසය ලෝකයේ මහද්වීප තුනක රාජ්‍ය නොවන සංවිධානද පවත්වාගෙන යයි.

නිත්‍යානන්දගේ ස්වෛරී රාජ්‍ය ලොව කිසිදු රාජ්‍යයක් විසින් මෙතෙක් නිල වශයෙන් පිළිගෙන නැත. එහෙත් 2020 අගෝස්තු මාසයේදී නිත්‍යානන්ද එහි බැංකුවක් විවෘත කරමින් නිල වශයෙන් රන් කාසි (Gold Currency) නිකුත් කළේ කෛලාස ඩොලර් නමින් හඳුන්වමිනි. එසේම නිත්‍යානන්ද සිය රාජ්‍යයට අදාළ ගමන් බලපත්‍ර සහ අනෙකුත් ලියකියවිලිද නිකුත් කරමින් සිටී. ඔහුගේ රාජ්‍යයට අගමැතිවරයකු සහ කැබිනට් ඇමැතිවරුද සිටිති. රංජිතා හෙවත් හා මා ආනන්දමායි ශ්‍රී  කෛලාසයේ අගමැතිනිය බවටද රාවයක් ඇත.

අප රටේ දේශපාලන රැකවරණය ලැබීමට ඉල්ලීම් කර ඇත්තේ මෙබඳු ස්වෛරී රාජ්‍යයක පාලකයෙකි. එහෙයින් අපට සිතීමට බොහෝ දේ තිබේ.

රූ කාරියවසම්