ඇමැති පට්ටම් ගත් ශ්‍රී ලනිප මන්ත්‍රින්ට මෛත්‍රිගෙන් රතු එළියක්

0
13

ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් තම තමන්ගේ පෞද්ගලික ලාභාපේක්ෂා පෙරදැරිව අමාත්‍ය ධුර ලබාගැනීම පිළිබඳව පක්ෂය කනගාටුව පළ කරන්නේ යැයි එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. අමාත්‍ය ධුර භාරගත් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් ඒවා ලබාගෙන ඇත්තේ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ කිසිදු අනුමැතියකින් තොරව බව පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේනගේ අස්සනින් යුතුව නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.

මෙවැනි අභියෝගාත්මක හා ව්‍යාකූල දේශපාලන වාතාවරණයක් තුළ වුවද ශ්‍රී  ලංකාවේ වගකිවයුතු දේශපාලන පක්ෂයක් ලෙස ශ්‍රී  ලංකා රාජ්‍යයේත් ශ්‍රී  ලාංකේය ජාතියේත් ආරක්ෂාව හා යහපත පිණිස වඩාත් වගකීමෙන් හා සංවේදීව වත්මන් දේශපාලන සංසිද්ධීන් පිළිබඳ මනා අවධානයකින් යුක්තව කටයුතු කරන්නේ යැයි එහි දැක්වේ.

පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් මෙසේ පක්ෂයේ අනුමැතියකින් තොරව අත්තනෝමතික ලෙස අමාත්‍ය ධුර භාරගැනීම ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය මාතෘභූමිය වෙනුවෙන් හා ජනතාවගේ උන්නතිය උදෙසා ගෙන යන අනාගත දේශපාලන වැඩපිළිවෙළේ ජයග්‍රහණ සඳහා කිසිසේත්ම බලනොපාන බවද එම නිවේදනයෙන් අවධාරණය කොට ඇත.

සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපනය වන්නේ නම් පමණක් ආණ්ඩුවේ තනතුරු භාරගෙන සහාය ලබාදීමට ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගනු ලැබූ තීරණය පසුගිය 71 වැනි මහා සම්මේලනයේදී පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවද, විධායක සභාවද, පක්ෂයේ සංවත්සර මහා සභාවද යළිත් ඒකමතිකව අනුමත කළ බවද එම නිවේදනයෙහි දක්වා තිබේ.

එසේ තිබියදී එම ස්ථාවරයට පටහැනිව ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් තම තමන්ගේ පෞද්ගලික ලාභාපේක්ෂා පෙරදැරිව අමාත්‍ය ධුර ලබාගැනීම පිළිබඳව ශ්‍රී ලනිප සභාපතිවරයා කනගාටුව ප්‍රකාශ කරයි.

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සියලු පාර්ශ්ව පිළිගෙන ඇති පරිදි රටේ දේශපාලනික ස්ථාවරත්වය ඇති කිරීමට හා අර්බුදය කළමනාකරණය කිරීමට සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපනය කළ යුතුය යන්න පළමුවෙන් යෝජනා කළේ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය බවද එම නිවේදනයෙන් අවධාරණය කොට තිබේ. ඒ සඳහා සාකච්ඡා පැවැත්වෙන අතරතුර ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය සමඟ හෝ පක්ෂ නායකත්වය සමඟ කිසිදු සාකච්ඡාවකින් තොරව ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයද වත්මන් ආණ්ඩුවේ තනතුරු දරමින් සහාය දෙන බව පොදු මහජනතාවට ව්‍යාජව හඟවමින් තම පක්ෂයේ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුට අමාත්‍ය තනතුරු පිරිනැමීමේ රජයේ ස්ථාවරය සම්බන්ධයෙන්ද ශ්‍රී ලනිපය සිය කනගාටුව පළකර ඇත.

පක්ෂය සමඟ කිසිදු එකඟතාවකින් තොරව මන්ත්‍රිවරුන් හට අත්තනෝමතිකව තනතුරු පිරිනැමීමෙන් තමන් යෝජනා කළ පරිදි සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපනයට ආණ්ඩුව තුළ සැබෑ වුවමනාවක් නොමැති බව පෙනී යන්නේ යැයිද එම නිවේදනයේ දැක්වේ. මේ හේතුවෙන් යළිත් ජනතාව ප්‍රතික්ෂේප කළ බලලෝභී සාම්ප්‍රදායික ආණ්ඩුවක් පමණක් බිහිවන බවට ඉන් චෝදනා කොට ඇත.

එය මේ රටේ මහ නාහිමිපාණන් වහන්සේගේ, අනෙකුත් ආගමික පූජකතුමන්ගේ, විද්වත් වෘත්තිකයන්ගේ, සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පොදු මහජනතාවගේ මතය නිර්දය ලෙස බැහැර කිරීමක් බවද එම නිවේදනයෙන් අවධාරණය කොට තිබේ. රටේ උද්ගත ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා සහාය දීමට අපේක්ෂාවෙන් දේශපාලන ස්ථාවරත්වය ප්‍රාර්ථනා කරන ජාත්‍යන්තර ප්‍රජාවේ බලාපොරොත්තු නොසලකා හැරීමක් යැයිද එහි සඳහන්ය.

සවනි ශේශාධි