ඇද ගැහුණු කොන්දක අස්ථි මෙළෙක් කර තිබුණා වගේම හරිගස්සපු හැටි

0
7

කොඳු ඇට පෙළ ශරීරයේ සියලුම අංගවලට වඩා වැදගත් යැයි සිතෙන්නේ ඊට යම් හානියක් වුවහොත් එය මුළු ශරීරයටම බලපාන නිසයි. සිරුරේ සමබරතාව මෙන්ම ඒ හා සම්බන්ධ ස්නායුගත සියලු තත්ත්වයන් අකර්මණ්‍ය කිරීමට එය බලපෑ හැකියි.

කොඳු ඇටපෙළට යම් ආබාධයක් වුවහොත් හෙද වෙදකමේ පාරම්පරික අත්ගුණයෙන් ජීවය ලැබූ සත්කාරවලින් හිතාගන්න බැරි ඉක්මනින් ලෙඩා සුව කළ හැකි බලයක් තියෙනවා. පුරාණ වෙද පරපුරක වර්තමාන පුරුකක් ලෙස හැඳින්විය හැකි පාරම්පරික වෛද්‍ය එම්.ඒ මදනායක දහස් ගණන් එවන් රෝගීන්ට පූර්ණ සුවය ලබා දුන් වෙද මහතෙක්. එතුමන් මේ ගැන දැක්වූයේ මෙවැනි අදහසක්.

“එක් රෝගියකු අප සුවපත් කළ ආකාරයත්, ඔහු අප වෙත රැගෙන එද්දී සිටිය තත්ත්වයත් දිහා බැලුවම කාටහරි පුදුම නොවී ඉන්න බැහැ. කවුරුත් ඒ ලෙඩා පරික්ෂා කරල බලලා කියා තිබුණේ සුව කරන්න බැරිය කියලයි. ලෙඩා දකුණු පැත්තට බරවී, ඔහුගේ සිරුර ඇද ගැහිලා තිබුණා. ඔහුටත් හිතාගන්න බැහැ තමන්ට මෙහෙම වුණේ කොහොමද කියලා.

කෙනකුගේ කොන්ද ඇද වන ක්‍රම 3ක් තියෙනවා. පළමුවැනි තත්ත්වය තමයි ඇදවීම. එනම් වක් වීමයි. වක ගැහීමයි. එය කුදු වීමක් දක්වා ඇදෙනවා. ඉන් පස්සේ මෙවැනි රෝගියකුට වෙන්නේ තම සිරුරේ වමට හෝ දකුණට ඇද වී යන තත්ත්වයකුයි. ඒකට අපි කියන්නෙ ‘පැති කුදය’ කියලයි. අප වෙත ගෙනා වූ රෝගියාට තිබුණේ එවැනි ‘පැතිකුද’ තත්ත්වයකුයි.”

මෙවැනි රෝගියකුට වෙද මහතා කියන ආකාරයට හොඳින්, ඉවසීමෙන් අඛණ්ඩව ප්‍රතිකාර කළ යුතුයි. මේ ලෙඩාත් පරීක්ෂා කර බැලුවම ඔහුව වෛද්‍ය ශාලාවේ නේවාසිකව රඳවාගෙන එක දිගට ප්‍රතිකාර කළ යුතු වග වැටහී තියෙනවා. ඒ ගැන වෙද මහතා කීවේ මෙහෙමයි.

“රෝගියා මොන තරම් ප්‍රතිකාර කරගෙන තිබුණත් ඔහු මේ කියන පැතිකුද තත්ත්වයෙන් වසර දහයක් විතර ඉතා අසරණව ඉඳ තියෙනවා. වයස පනහට කිට්ටු වෙච්ච කෙනෙක් නිසා කොන්ද මේරීමේ ක්‍රියාවලියට ලක්ව එය සුව කරන්න බැරි තරමට පත්ව තිබුණා. ඒ ඇට ළපටි නැති නිසා. ඒ නිසා ඇද වූ ඇට පුරුක් එහා මෙහා කරගැනීම ප්‍රශ්නයක් වුණා. ඔහුගේ කාටිලේජ තත්ත්වයත් මේරී තිබුණා. නමුත් අපේ වෛද්‍ය ශාස්ත්‍රයට අනුව මේවා පහසු දේවල්. ඒ තරම් ඒ ප්‍රතිකාර හා සත්කාර බලවත්. ඒ නිසා අප ලෙඩා නතර කරගෙන කශේරුකා අස්ථින් මෘදු මොළොක් කරවන පුරාණ ඔසු සත්කාරය ඇරැඹුවා. මේකෙන් වෙන්නේ ඇට පුරුක් අපට ඕන විදිහට හදාගන්න මෙළෙක් කර ගැනීමය.

“විශේෂ තෙල් වර්ග කිහිපයක් මෙන්ම ඊටම අවැසි ඔසු පොට්ටනි හදා ලෙඩාගේ කශේරුකා අස්ථි අපි මොළොක් කළා. මේක බටහිර වෛද්‍ය ක්‍රමයේ නම් හිතන්නවත් බැරි දෙයක්. ඒ අය කරන්නෙ ඇණ සවි කිරීම වැනි කෘත්‍රිම වැඩයි. ඒවා ඒ හැටි සාර්ථකත් නැහැ. සැත්කම් හෝ පින් එකක් සවි කිරීමකින් තොරව අප ලෙඩාගේ අස්ථි මොළොක් කර තිබූ විධියටම යළි හරි ගැස්සවූවා. කොඳු ඇට පෙළ පිටතින් තෙරපමින් සිරස්ව සිටින සේ ලෙඩා සුවපත් කිරීම ප්‍රවේශමෙන් කළ යුත්තක්. මොළොක් කළා වගේම අපේ වෛද්‍ය ශාස්ත්‍රයට අනුව ඒවා තිබුණාටත් වඩා සවිමත්ව හයි කරන්නත් ඕනෑ. ඒක අපට කරන්න දැනුම, බෙහෙත් හේත් සත්කාර තියෙනවා. ඒ දේ අපි නිවැරැදිව කළා.

අස්ථිවලට එවැනි බාහිර ප්‍රතිකාර දෙන අතරෙම ශරීරය ඇතුළෙනුත් ඊට අවශ්‍ය නිරෝගී සම්පත්තිය සලසන්න අප ඊටම අවශ්‍ය කෂාය වර්ග බොන්න දෙනවා. ඒවාට යොදාගන්නේ දුර්ලභ ඔසු තමයි. ඉතින් බොහෝ කල් නොගිහින් ඉතා කෙටිම කාලයකින් අපට ලෙඩා පූර්ණ සුව තත්ත්වයට පත්කර ගත හැකි වුණා.”

විජිත කේ. පතිරණ

අස්ථි රෝග විශේෂ වෛද්‍ය

එම්.ඒ. මදනායක

මදනායක බෙහෙත් ශාලාව වැලිගම

0771875707