අවසන් ගමන් ගිය සතුන් වත්තේ ව්‍යාඝ්‍ර අම්මා

0
52

මවු සෙනෙහසට මිනිස් සත්ත්ව ලොව කියා වෙනසක් ඇත්තේ නැත. ආදරය ආදරයමය. එහෙත් උපත ලද විගස දරුවන් මරා දමන හෝ ප්‍රතික්‍ෂේප කරන අම්මාවරුන්ද නැත්තේම නැත. වෛරය වෛරයමය. ආදරයත් වෛරයත් අතර ඇත්තේ කෙස් ගසක දුර යැයි කට වහරේ පවසන්නේ ඒ නිසාම වන්නට ඇත.

දෙහිවල සත්ත්වෝද්‍යානයේදී බිහිවූ තවත් කොලු පැටවුන් තිදෙනකුට මවු සෙනෙහස අහිමි වූයේ ඉකුත් බදාදාය. අෑ සැබැවින්ම සෙනෙහෙබර මවක් වූවාය. අෑ ගැන තතු දත්තෝ පවසන්නේ එලෙසිනි. තිරශ්චීනයෙක් වුවද අෑ තම දරුවන් කෙරෙහි අතිශය දයාබර වූවාය. මියෙන මොහොත තෙක්ම අෑ නෙත් මානයේ තබා ගනිමින් දරුවන් රැක්කාය.

අකීරා, ඩූමා හා ලියෝ යනුවෙන් අෑට සුරතල් බෙංගාලි ව්‍යාඝ්‍ර පැටවුන් තිදෙනෙකි. උන් ඉපදී මාස හතක් ඉක්ම යන විටදී උන්ට මවු සෙනෙහසද අහිමි විය. පසුගිය කාලය පුරාවට දෙහිවල සත්තු වත්ත නැරඹීමට පැමිණි දහසක් දෙනාගේ නෙත් සොරා ගත්තේද මේ තිදෙනාය. ගතවූ මාස කිහිපයේදී සත්ත්වෝද්‍යානයේ දරු උපත් කිහිපයක් සිදුවුවද ඒ සියලුදෙනා අතරේ මේ පැටවුන් තිදෙනා කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය.

“කෙල්ල” අෑ බෙංගාලි ව්‍යාඝ්‍ර ධේනුවකි. අකීරාට, ඩූමාට හා ලියෝට සුව යහනක් තනා දුන්නේ ඇගේ කුසිනි. මියයන විට කෙල්ල පහළොස් වියෙහි පසු වූවාය. ගතවූ වසර 14 පුරාවටම කෙල්ලගේ නිවහන වූයේ දෙහිවල සත්ත්වෝද්‍යානයයි. අෑ මෙරට උපත ලද්දියක් නම් නොවේ. චීනයේ ෂියැංජින් සත්ත්වෝද්‍යානයේ සිට අෑ මෙරටට රැගෙන ආවේ 2008 වසරේදීය. ඒ සත්ත්ව හුවමාරු වැඩසටහනක් යටතේය. ඒ වන විට ඇගේ වයස අවුරුද්දක් පමණ වූ බව පැවැසේ.

මෙරටට එන විට අෑ දඟකාර වයසේ පසුවූ බෙංගාලි ව්‍යාඝ්‍ර පැටවෙකි. අලුත ඉපදුණු දරුවකුට නමක් තබනවා සේම සත්ත්වෝද්‍යානවල සිටින බොහෝ සතුන්ට නමක් තැබේ. ඇයට ලැබුණු නම කෙල්ලය. එය අතිශය අහම්බයකි. නම් තැබීමට දින කිහිපයක් ගත වන්නේ එය ආවාට ගියාට සිදු නොකරන කාර්යයක් නිසාය. ඒ දින කිහිපය අතරතුරදී මේ කුඩා බෙංගාලි ව්‍යාඝ්‍ර පැටවා රැක බලා ගත් සත්ත්ව භාරකරුවෝ ඇයට සුරතලයට අඬගසා තිබුණේ කෙල්ල කියාය. නම් තැබීම පසෙකට විය. අවසානයේදී සත්ත්ව භාරකරුවෝ ඇයට සුරතලයට කියූ නම ඇගේ සැබෑ නම බවට පත් විය. ඒ කෙල්ලය.

මේ වසරේ මාර්තුවේ පස් වැනිදා අෑ කුසින් දරුවන් තිදෙනකු බිහි විය. ඒ පිරිමි දරුවන්ම තිදෙනෙකි. උන් නිරෝගී පැටව් වූහ. සත්ත්වෝද්‍යානවල දිවි ගෙවන ගැහැනු සතුන් දරු ප්‍රසූතියෙන් පසුව බොහෝ විට සිය දරුවන් ප්‍රතික්‍ෂේප කරන බවක් දිස් වුවද කෙල්ල සෙනෙහෙබර මවක් ලෙසින් කල් ගෙවූ බව දිස් විය.

පසුගිය කාලයේදී සත්ත්වෝද්‍යානයේදී බිහි වූ සිංහ පැටවුන් කිහිපදෙනකු එම ධේනුව තරයේම ප්‍රතික්ෂේප කළ නිසා අවසානයේදී උන්ට සුව යහන් තැනුණේ සත්ත්වෝද්‍යානය ආසන්නයේ පිහිටි නිවෙසක විසූ ලැබ්ඩරෝර් වර්ගයේ බැල්ලියකගේ ඇකයෙහිය. උන් පෝෂණය වූයේ ඇගේ තන පුඬුවලින් ගලා ආ ක්ෂීරයෙනි. එහෙත් කෙල්ල එසේ නොවූවාය. අෑ සතුව මවුවත්කම ඉතිරී යන්නට තරම් තිබිණි. ඒ නිසාම අෑ සිය දරුවන් විෂයෙහි අතිශය දයාබර බවක් දැක්වූ බව සත්ත්ව භාරකරුවෝ පවසති.

ඒ කෙල්ල අද වන විට මතකයක් පමණි. ඇගේ මරණය ඇයට බොහෝ වේදනාකාරී වන්නට ඇත. අෑ ගතවූ කෙටි කාලයක් තුළ කායිකව මෙන්ම මානසිකවද බොහෝ පීඩා විඳි බව නොරහසකි. ඇයට සහනයක් ගෙන දෙන්නට පශු වෛද්‍යවරුනුත් සත්ත්ව භාරකරුවෝත් මහත් වෙහෙසක් ගත්හ.

සති කිහිපයක සිට කෙල්ල සිටියේ අපහසුවෙන්ය. අෑ වෙනදා මෙන් ඇයට ලැබෙන ආහාර පංගුව නොගත්තාය. යන්තමින් ගත් ආහාර ස්වල්පයද අෑ ගත්තේ ආයාසයෙනි. බොහෝ විට සිටියේ වැතිරීගෙනය. සත්ත්ව භාරකරුවන්ට ඇගේ යම් වෙනසක් දිස්විණි. ඇය පරීක්ෂා කළ පශු වෛද්‍යවරුන්ට ඇගේ ගෙලෙහි පිටතට නෙරා ආ ගෙඩියක් දක්නට ලැබිණි.

එය පිළිකාවක් බව හඳුනා ගැනුණේ ඉන් අනතුරුවය. ඇයට ප්‍රතිකාර කිරීම් ඇරඹිණි. ගිලන් සයනෙක අෑ බොහෝ වේදනා වින්දාය. අවසානයේදී අෑ සියල්ල අතහැරීමට තීරණය කළ සෙයකි. සටහන තබන විටත් ඇගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ ඇතුළු අනෙකුත් කටයුතු පිළිබඳව අවසන් එකඟතාවක් ප්‍රකාශ වී තිබුණේ නැත. ඒ සඳහා දින කිහිපයක් ගත විය හැකිය. එතෙක් බලා සිටිය යුතුය.

සවනි ශේශාධි