අබිරහස් සාගරයක් සඟවාගත් අඳුරු අභ්‍යවකාශය

0
636

ජලය යනු ජීවයේ උල්පතයි. සැබවින්ම සෞරග්‍රහ මණ්ඩලයේ ජීවය සපිරි පෘථිවිය තුළ එම ජීවය පැවැතීම සඳහා වන මූලිකාංගවලින් එකක් වන්නේ ජලයයි.  වර්තමාන පෘථිවිය තුළ 70%ක ද්‍රව ජලයත් 5%කට වඩා මිදුණු ජලයත් පවතින අතර පෘථිවි වායුගෝලය තුළ ඝන සහ වාෂ්ප වශයෙන් පවතින ජල ප්‍රමාණයන් අගය මීට ඉතාම ඉහළයි.

පෘථිවිය මත සාගර නොතිබෙන්නට ජීවය ආරම්භ වීම තවත් වසර බිලියන ගණනාවක් පසුවීමට ඉඩ තිබිණි. එසේම පැහැදිලි ලෙස ජීවය සපිරි එකම ග්‍රහලොව පෘථිවිය ලෙස අප දැනට හ¾දුනාගත්තද පෘථිවියෙන් බැහැර අභ්‍යාවකාශය තුළ ජලය පැවැතිය හැකි බවට සාක්ෂි බොහෝ ලැබී ඇත. මේ පිළිබඳ ලැබුණු වැදගත්ම සාක්ෂියක් පිළිබඳ අද සොයා බලමු. පෘථිවියෙන් බාහිරව පවතින ජල පෝෂක පිළිබඳ සොයා බැලීමේදී බොහෝ විට සූර්යයාගෙන් අෑත කලාපයේ ග්‍රහ වස්තූන් මත සාක්ෂි ලැබී ඇත. 

නමුත් මේ ජලය බොහෝ විට අයිස් වශයෙන් පවතින අතර අඟහරු ධ්‍රැවයන්, බ්‍රහස්පතිගේ ඇතැම් උපග්‍රහයන් මත හා ප්ලූටෝ වැනි ග්‍රහයන් තුළ එවැනි අයිස් වැස්මක් පිළිබඳ පැහැදිලි තොරතුරු විද්‍යාඥයන්ට ලැබී ඇත.  ඇතැම් විට ස්වාභාවික අභ්‍යවකාශ අපද්‍රව්‍ය වශයෙන් හ¾දුන්වන ග්‍රහක කොටස් මත සහ නැප්චූන් වැනි ග්‍රහයන්ගේ වායුගෝලය තුළද ජල වාෂ්ප හෝ හිම අංශු ලෙස ජල පෝෂක පිළිබඳ තොරතුරු ලැබී ඇත. නමුත් කිසිදු ග්‍රහ වස්තුවක ආධාරයකින් තොරව අභ්‍යවකාශය තුළ පවතින යෝධ සාගරයක් ගැන ඔබ කිසියම් දිනෙක අසා ඇතිද.

පසුගිය සමයේ මෙම අපූරු විශ්වීය සාගරය මිනිස් ඇසට හසුවී තිබූ අතර එය මිනිසා දුටු විශාලතම අභ්‍යවකාශ සාගරය ලෙස හ¾දුනාගෙන ඇත. හවායිහි පිහිටා ඇති Caltech Submillimeter නිරීක්ෂණාගාරයේ Z-Spec උපකරණය මඟින් සහ  ප්‍රංශ ඇල්ප්ස්හි Plateau de Bure Interferometer යන සුවිශේෂි දුරේක්ෂ මඟින් තාරකා විද්‍යාඥ කණ්ඩායම් දෙපළක් මෙම සොයා ගැනීමට මූලික වී තිබූ අතර අප සෞරග්‍රහ මණ්ඩලයේ සිට ආලෝක වර්ෂ බිලියන 12ක් අෑත

අභ්‍යවකාශය තුළ මෙම සුවිශාල ජල සංචිතය පවතින බව ඔවුන් තහවුරු කරගෙන තිබිණි.  ආලෝක වර්ෂ සිය ගණනක වපසරියකින් යුතු ප්‍රදේශයක ජල වාෂ්ප ලෙස මෙම සංචිතය පැතිරී ඇති අතර එහි පෘථිවිය තුළ ඇති සියලු ජල ප්‍රමාණය මෙන් ටි්‍රලියන 140 ගුණයක් අන්තර්ගත බවද ඔවුන් තහවුරු කර ඇත.

මෙම අභ්‍යවකාශ ජලාශය සොයාගනු ලැබුවේ කළු කුහරයකින් බල ගැන්වෙන මන්දාකිණියක මධ්‍ය කොටස අසල වූ ඇති දීප්තිමත් සංයුක්ත කලාපයක් වන ක්වාසාර් මන්දාකිණියක පිහිටි වායුමය ප්‍රදේශයකය. එසේම මෙම සොයා ගැනීමෙන් විද්‍යාඥයන් තවත් උපකල්පනයක් තහවුරු කරගෙන ඇති අතර පෘථිවිය තුළ ජලය ඇති වීමට මූලික එහේතුවක් ලෙස මෙවැනි  විශ්ව සාගරයන් හේතු වන්නට ඇති බව ඔවුන් පිළිගෙන ඇත.  එසේම පෙර කිසි දිනෙක ජලය පිළිබඳ මෙතරම් දුරකින් සාක්ෂි ලැබී නොතිබූ අතර විද්‍යාඥයන් අභ්‍යවකාශය තුළ සොයාගත්  දුරින්ම පිහිටි ජල සංචිතය මෙය වේ.

ක්වෙසාර් මන්දාකිණියක් යනු කුමක්ද?

ක්වාසාර් යනු ඇතැම් මන්දාකිණිවල මධ්‍යයේ දක්නට ලැබෙන ඉතා ඉහළ දීප්තියකින් යුත් තාරකා විද්‍යාත්මක වස්තුවක් වන අතර අතිශය විශාල කළු කුහරයක  ප්‍රබල ගුරුත්වය මෙන් බලයක් මෙහි දක්නට ඇත. එමෙන්ම මේවා සුපර්නෝවා තාරකා මෙන් ආලෝකය විහිදවනා අතරම  අධික ප්‍රවේගයකින් යුත් සර්පිලාකාර වායුවකින් බල ගැන්වීම සිදු කරයි. අප ක්ෂීර පථයට පිටත පොකුරු මන්දාකිණි අතරේ මෙවන් ක්වෙසාර් තාරකා පිළිබඳ තොරතුරු ලැබී ඇත.

මෙම අභ්‍යවකාශ සාගරය

වැදගත් වන්නේ ඇයි?

අනාදිමත් කාලයක සිට පෘථිවි විද්‍යාඥයන් පෘථිවියෙන් බාහිර ජීවයක් හෝ ජීවය පැවැතීමට සුදුසු ස්ථානයන් පිළිබඳ විමසිල්ලේ පසුවන අතර ඔවුන් නිරන්තරයෙන් ඒ  සඳහා වන දත්ත එක් රැස් කරමින් සිටී. පෙර සඳහන් කළ අයුරින් පෘථිවි ජීවය හෝ ඊට සමාන ජීවයක් පැවැතීමට නම් ජලය හෝ ජල අණු පැවැතීම අත්‍යවශ්‍ය සාධකයකි.  එබැවින් සෞරග්‍රහ මණ්ඩලය තුළ දැනට ජලය පිළිබඳ ඉඟි සැපයෙනා ස්ථාන නිරන්තරයෙන් ඔවුන් අධ්‍යයනය කරමින් සිටී. 

සිකුරු ග්‍රහයාගේ වායුගෝලය තුළ ඇති සල්ෆියුරික් අම්ල සමඟ මුසුවන වැසි මෙන්ම අඟහරුගේ ධ්‍රැවීය හිම දියවීමෙන් හටගන්නා ජලය පිළිබඳවද ඔවුන් ප්‍රමුඛව අධ්‍යයනය කරන්නේ මෙම ග්‍රහයන් ද්විත්වයම ජීවය හටගැනීමට සුදුසු කලාපයක පිහිටනා ග්‍රහයන් දෙකක් වන හෙයිනි. 

මීට අමතරව බ්‍රහස්පතිගේ හා සෙනසුරුගේ චන්ද්‍රයන්ගේ සදාකාලික අයිස් පවතින ප්‍රදේශවල එම අයිස් අභ්‍යන්තරයේ සාගර කලාප පවතින බවද එහි ජීවය පිළිබඳ ඉඟි ඇතිදැයි තොරතුරු සෙවීමට විද්‍යාඥයෝ නිරන්තරයෙන් පසු වෙති. කරුණු එසේ හෙයින් ඉහත කියැවෙන ආලෝක වර්ෂ සියයක ප්‍රමාණයක පැතිරෙන ජල සංචිතය තුළ ජීවයට කිසියම් ආකාරයේ අවස්ථාවක් ඇතිද යන්න සෙවීම විද්‍යාඥයන් තුළ පවතින විශේෂ අරමුණකි. 

විශේෂයෙන්ම මෙම සුවිසල් ජල වාෂ්ප සහිත කලාපයේ ඇතැම් විට ග්‍රහයන් හෝ උප ග්‍රහයන් පැවැතිය හැකි නම් ඒවා මත ද්‍රව ජලයද ජීවයට සුදුසු සෞම්‍ය පරිසරයද පිහිටීමට බොහෝ සෙයින් ඉඩ ප්‍රස්තාව පවතී. කෙසේ වුවද මෙම ක්වෙසාර් මන්දාකිණිය හා අප අතර වන අධික දුර මේ සියලු නිරීක්ෂණ කටයුතු    සඳහා වන එකම බාධාව වී ඇත.

ඉහත සඳහන් කළ පරිදි මෙම ජල සංචිතය අයත් ක්වෙසාර් මන්දාකිණිය ආලෝක වර්ෂ බිලියන 12ක විශාල දුරකින් පිහිටා ඇති නිසාවෙන් මෙම සාගරය පෘථිවි විද්‍යාඥයන් දකින්නේ වසර වසර බිලියන 12ක් ගත වීමෙන් පසුව වන අතර එයින් ගම්‍ය වන්නේ විශ්වය තුළ වසර බිලියන ගණනක්ම මෙම ජල ස්කන්ධය පැවැති බව  සහ මෙවැනි සාගරයන් තවදුරටත් විශ්වය තුළ වසර ටි්‍රලියන ගණනක් නිදහසේ පැවතිය හැකි බවයි.

කෙසේ නමුත් මෙම අරුම පුදුම සාගරය පිළිබඳ මීළඟ තොරතුරු පෘථිවිය වෙත ලැබීම අවිනිශ්චිත වන අතරම කිසියම් දිනෙක අප නොදකිනා විශ්වය තුළ ජීවය සහිත ද්‍රවමය හෝ ඝන ජල පෝෂකයක් වුවද හමුවීමට ඉඩ ඇති බවට විද්‍යාඥයෝ සැක පහළ කරති.  එමෙන්ම වසර බිලියන ගණනක් නොනැසී පවතින මෙවන් ජල සංචිත හරහා පෘථිවි ජීවයටත් වඩා වසර ටි්‍රලියන ගණනින් වයසැති ජීව කාණ්ඩයන් සිටීමට බොහෝ සෙයින් ඉඩ ඇත.

සමීර මධුෂංක වන්නිආච්චි