අපි අදටත් ඉන්නේ අද ඊයේ බැන්දා වගේ

0
273

අද වන විට ලංකාවෙහි ප්‍රේක්ෂකයන් තුළ නොමඳ ආදරයක් දිනාගත් කලා පවුලක් ලෙස සතරසිංහ පවුල හැඳින්විය හැකිය. එම ආදරණීය කැදැල්ලෙහි ආදරණීය බිරිය එනම් ජෙනී සතරසිංහ කාගෙත් පැසසුමට ලක්වන්නේ ඇය සතු නිහතමානීකම සහ ආදරණීය කතා බහ නිසාමය. මේ දිනවල ඇය සංගීත් සතරසිංහ සමඟ එකතු වී කරන Sangeeth Vlogs Youtube නාළිකාවට ඉහළ ප්‍රතිචාර ලැබෙන අතර ඒ පිළිබඳව මෙන්ම ඇගේ නවතම තොරතුරු ඇය හදගැස්මට පැවැසුවේ මේ ආකාරයෙන්. කොහොමද මේ දිනවල වැඩකටයුතු?

මම විශ්‍රාම සුවයෙන් තමයි දැන් කල්ගත කරන්නේ. ගුරුවරියක් විධියට සේවයේ යෙදිලා දැන් විශ්‍රාම අරගෙන මගේ පුතා සංගීත් සතරසිංහගේ වැඩකටයුතුවලට උදවු වෙනවා. ඒ ගමන් නිවෙසහි වැඩකටයුතුත් කරගෙන සුරංගටත් සහයෝගය ලබා දෙනවා. එහෙම තමයි ජීවිතය ගෙවෙන්නේ.

ඔබ දැන්  පෙර පරිදි රංගනයේ නියැළෙන්නේ නැහැ. එයට විශේෂ හේතුවක් තිබෙනවද?

ඇත්තටම මට කලින් ඉඳන්ම රංගනයේ යෙදෙන්නට ලොකු අසාවක් තිබුණෙ නැහැ. මගෙ වෘත්තිය සමඟ වෙලාවක් තිබුණෙත් නැහැ. ඒ වගේම මට නිවාඩු තිබුණු දවස්වලට මගේ මහත්තයගෙ වැඩසටහන්වලට පමණයි සහභාගි වුණෙත්. නිවාඩු දිනවලදි නාටක මාරයි වැඩසටහනෙහි කොටස් සියයකට පමණ සහභාගි වුණා. මම ඉගැන්වූයේ ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ට. ඉතින් ඔවුන් සමඟ වැඩකටයුතු කරනකොට නිවාඩු ලබා ගන්නට අපහසුයි. මට අවශ්‍ය වුණේ මගේ රැකියාව පැත්තෙන් උපරිම දෙයක් කරන්න පමණයි. මගේ රැකියාවට මම ගොඩක් ආදරෙයි.

“නාටක මාරයි” ටෙලි නාට්‍යයට බොහෝ ප්‍රතිචාර ලැබුණා. ඒ ගැනත් කතා කරමු?

නාටක මාරයි ටෙලි නාට්‍යය ලිව්වේ මගෙ මහත්තයා  සුරංග සතරසිංහ. එය ඔහුට දෙවියෝ දී තිබෙන සුවිශේෂී හැකියාවක්. නාටක මාරයි පුදුම විධියට ජනතාව අතරට ගියා. මට වඩා මගෙ මහත්තයව අයිති රසිකයන්ට කියලා මම තේරුම් අරන් ඉන්නේ. කතාවටත් කියනවනෙ කලාකරුවෙක් අයිති ජනතාවට කියලා. මම ඒක තේරුම් අරගෙන ඔහුට අවශ්‍ය නිදහස මම ලබාදී තිබෙනවා.

ඔබගේ පුතා සංගීත් සමඟ ඔබ එකතු වී කරන යූ ටුයුබ් නාළිකාවට බොහෝ දෙනකුගෙ අවධානය යොමු වී තිබෙනවා නේද?

ගොඩක් වෙලාවට මම පුතා එක්ක තමයි චැනල් එකේ විඩියෝ  කරන්නේ. පුතා ගොඩක් ඇඟ ගැන සිතනවා. කලාකරුවෙක් වුණාම අනිවාර්යයෙන් පෙනුම ගැන සිතන්නට අවශ්‍යයි. සුරංග ගත්තොත් එයා තුන් වේලටම  බත් කන්නේ. ඒත් පුතාගේ කෑම වේල  ටිකක් වෙනස්. පුතා ඉල්ලන කෑම තමයි අපි ගොඩක් වෙලාවට චැනල් එකට දාන්න පුරුදු වෙලා හිටියේ. චැනල් එකටම  දාන්න කියලා විශේෂ කෑම අපි හැදුවෙ නැහැ. ඇත්තටම මට රසට උයන්න පුළුවන්.

එයට ලැබෙන ප්‍රතිචාර පිළිබඳවත් අනිවාර්යෙන්ම කතා කළ යුතුයි නේද?

ඇත්තටම ඒ කමෙන්ට් කියවලා මම ගොඩක් සතුටට පත්වෙනවා. මට හැකි සෑම වෙලාවකම මම එයට ප්‍රතිචාර දක්වනවා. හරිම සතුටුයි ඒ වගේ ආදරයක් ලැබෙනකොට. රැකියාවෙන් ඉවත් වී සිටින නිසා මම තරමක් විවේකී චරිතයක්. නමුත් මම ගොඩක් වැඩකරන කෙනෙක්. වෙලාවකට සංගීත් මට බනිනවා අම්මි වැඩ හොය හොයා කරනවා කියලා. නමුත් මම වැඩ කරන්න හරි ආසයි.

මවක් ලෙස සංගීත්ට සමාජයෙන් ලැබෙන ප්‍රේක්ෂක ආදරය ගැන ඔබට මොකද සිතෙන්නේ? 

අපි කිසිම දවසක සංගීත්ට මේක කරන්න කියලා  බලපෑම් කළේ නැහැ. මට ගුරුවරියක් විධියට  දරුවන් විනිවිද දකින්න පුළුවන්. සෑම දරුවකුටම  කුමක් හෝ හැකියාවක් තිබෙනවා. දරුවා සතු එම හැකියාව එළියට ගැනීමට  ගුරුවරයා දක්ෂ විය යුතුයි. ඒ වගේම අපේ දරුවා සතුව තිබුණේ කලාව. එයා උසස් පෙළ හැදෑරුවේ විද්‍යා අංශයෙන්. නමුත් ඔහු සතුව තිබුණේ කලාව නිසා ඔහු කලාවට යොමු වුණා. සංගීත් පෙර පාසල් යන කාලයේ චිත්‍ර ඇඳලා චිත්‍රයේ තිබෙන දේවල් කතාවක් විධියට අනිත් අයට කියනවා. ඒ වගේ පෙර පාසල් කාලයේ සිටම කලාව ඔහු තුළ තිබුණා. පවුලේ එකම දරුවා විධියට මුළු රටකම ආදරය හිමි වෙනවා පේනකොට අම්මෙක් විධියට මම නිහතමානීව සතුටු වෙනවා.

කොහොමද සුරංග සතරසිංහ සහ ජෙනී සතරසිංහ ආදර කතාව පටන් ගන්නේ?

ඒ කාලය හරි ප්‍රාථමිකයි. මේ කාලයේ වගේ දියුණු නැහැ.  දුරකථන පහසුකම් නැහැ. සුරංගගේ තාත්තට විවිධ පළාත්වල ඉඩම් තිබුණා. අපේ ගෙවල් පැත්තෙත් එයාලට ඉඩමක් තිබුණා. ඒ කාලයේ යෞවන සමාජයේ මම ලේකම් වෙලා හිටියා. සුරංග සභාපති වෙලා හිටියා. එහෙම ටික කාලයක් යනකොට අපේ පළාතෙන් එයාලා කොළඹට ආවා. ඒත් අපි ලියුම්වලින් පණිවිඩ හුවමාරු කර ගත්තා. එහෙම තමයි අපි පෙම්වතුන් වුණේ.

ජීවිතය පිළිබඳ නැවත හැරී බලනකොට ඔබට ඔබ පැමිණි ගමන් මඟ පිළිබඳ තෘප්තිමත් වෙන්නට පුළුවන්ද?

සුරංගට බොහෝ වෙලාවට මම සමඟ රැඳෙන්නට  කාලය හරි අඩුයි. මම ඒක තේරුම් අරගෙන සිටින්නේ. ඔහු යම් දෙයක් කරනවා නම් කරන්නේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන්. ඒ වෙනුවෙන්  එයාට  උපරිම සහයෝගය දෙනවා. මට වුණත්  නොයෙකුත් කතන්දර කියලා නිර්නාමික පෝස්ට් ඇවිත් තිබෙනවා. අපිට අපි අවංක නම් විශ්වාස නම් රටේ ලෝකයේ  අය මොනවා කිව්වත්  අපි ඒවා ගැන සිතන්නේ නැහැ. අපි අදටත් ඉන්නේ අද ඊයෙ බැන්දා වගේමයි. මල් යහනාවක් මතින් අපි මේ ගමන ආවේ නැහැ.

සැමියා සතු දක්ෂතාව ගැන ඔබට මොකද සිතෙන්නේ?

ඇත්තටම ඒක දෙවියෝ දීපු හැකියාවක්. ඔහු මම දකින විධියට විශ්ව කෝෂයක්. බිරිය විධියට නෙමෙයි ඔහුගේ රසිකයෙක් විධියට බැලුවත් මම දකින්නේ ඔහු විශ්ව කෝෂයක් විධියටයි. ඔහු දහස් ගණන් පිටපත් රචනා කර තිබෙනවා. ඕනෑම දෙයකට ඔහු දක්ෂයි. ඒ ගැන මට හරිම ආඩම්බරයි. එය කලාතුරකින් කෙනකුට පිහිටන දක්ෂතාවක්.

ජෙනී සතරසිංහ ඉදිරියේදී නැවත රංගනයෙන් දකින්නට හැකි වේවිද?

තවම එහෙම අදහසක් නැහැ. නමුත් සුරංගත් කියනවා රඟපාමු කියලා. මම හරි සැහැල්ලුවෙන් විනෝදයෙන් ඉන්න කැමැති කෙනෙක්. ඉදිරියේදී බලමු අපි නේද?

ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු කොහොමද?

ලොකුවට බලාපොරොත්තුවක් නැහැ. පුතාගේ සතුට දකින්න තමයි මම කැමැති. පුතා අද යම් තැනක ඉන්නවා. ඒක තමයි මගේ ලොකුම සතුට. ආධ්‍යාත්මික පැත්ත හදාගෙන ජීවත්වෙන එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. මගේ ජිවිතයේ මට හුඟක් දේවල් මට ලැබුණා. සමාජයටත් මම දෙයක් කළා. මගෙ පවුලටත් දෙයක් කළා. ජිවිතේ ඉතුරු කාලෙත් සතුටින් සැහැල්ලුවෙන් ඉන්න තමයි මම කැමති.

දිනිති වල්ගම දැන් ඔබේ පවුලේ ළඟම හිතවතියක් වෙලා. ඒ ගැන මොකද සිතෙන්නේ?

දිනිති කියන්නේ හරිම ආදරණීය දරුවෙක්. හොඳ මවුපියන් යටතේ හැදුණු අයුක්තිය වෙනුවෙන් කතා කරන, ඕනෑම දෙයක් තේරුම් ගන්න පුළුවන් නිහතමානී දරුවෙක්. ඇය වගේ කෙනෙක්  පිරිමියකුට ලැබෙනවා කියන්නේ  ඔහුට එය ලොකු ශක්තියක්. ඇය මට මගේ දියණියක් වගෙයි.

සචිනි බස්නායක