අත රේල් පාරේ ලෙඩා මහනුවර රෝහලේ…!

0
44

පසුගිය හත්වැනි බදාදා රෑ 7.40ට පමණ මහනුවර, සුදුහුම්පොළ ප්‍රදේශයේ දුම්රිය පාර දිගේ අඳුරේම තනිව ඇවිද යමින් සිටි තැනැත්තෙක් හදිසියේම බිම ඇදවැටුණේය.

ඔහු දුම්රිය පීල්ලක් අල්ලාගෙන නැඟිට ගන්නට උත්සාහ කරද්දී වේගයෙන් ඇදී ගිය දුම්රියකට අසුවී ඔහුගේ දකුණු අත

මැණික්කටුව ළඟින් වෙන්වී ගියේය.

හිත හයිය මේ තැනැත්තා තනිවම මහනුවර ජාතික රෝහලට ගියේය.

මේ කිසිවක් ගැන නොදත් ප්‍රදේශවාසී පිරිසක් පසුදා (08දා) උදේ අටට පමණ දුම්රිය මාර්ගයට යාබදව තිබූ මිනිස් අතක මැණික්කටුව ළඟින් කැපී ගිය කොටස දැක කලබලයටත් කම්පාවටත් පත්වූහ. පසුව පිරිස ඒ ගැන පොලිසිය දැනුවත් කළහ.

දුම්රියට අසුවී වෙන්වුණු අතේ හිමිකරු දංගොල්ල පෙදෙසෙහි පදිංචිකාර එස්. එන්. එම්. රිස්වාන් නමැති 44 හැවිරිදි අයකු බව මහනුවර රෝහල් පොලිසිය කියයි.

හදිසි අනතුරට මුහුණ දුන් රිස්වාන් මහනුවර රෝහල් පොලිසියට කටඋත්තරයක් දෙමින් කියා ඇත්තේ දුම්රිය මාර්ගය දිගේ ඇවිද යමින් සිටි තමා හදිසියේ වළක වැටී ඇදවැටුණු බවත්, දුම්රිය පීල්ලක් අල්ලාගෙන නැඟිට ගන්නට උත්සාහ කරද්දී ධාවනය වූ දුම්රියක රෝදවලට අසුවී තම අත වෙන්වූ බවත්, පසුව තමා නැඟිට වෙන්වූ අත් කැබැල්ල සොයා ගැනීමට අඳුරේම බිම අතපත ගෑවත් එය සොයා ගැනීමට බැරි වූ බවත්ය.

අත් කැබැල්ල මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයට බාරදුන් බවද පොලිසිය කියයි.

සැත්කමට ලක්ව සිටින රෝගියා මහනුවර ජාතික රෝහලේ 17 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මහනුවර – කේ. එල්. සුරවීර