අටකාමා මමිය පිටසක්වළ ජීවියකුගේද  ජාන විකෘති වූ මිනිසකුගේද?

0
665

ලෝකය කියන්නේ එකිනෙකට වෙනස් පරිසර පද්ධති ගණනාවක හරි අපූරු සංකලනයක්. ඒ විවිධත්වය තුළ එකිනෙකට ආවේණික සම්ප්‍රදායන්, ජීවීන් වගේම සංස්කෘතීන් නිර්මාණය වෙලා තිබෙනවා. සුන්දර වනාන්තර, ජලජ පරිසර වගේම ශුෂ්ක, රළු කාන්තාර පවා මේ පද්ධතීන්ට අයත් වෙනවා. ස්වභාවධර්මය තුළ කාන්තාර කියන්නෙත් වටිනා පරිසර පද්ධතියක්.

වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 250ටත් වඩා අඩු වියළි භූමි ප්‍රදේශයක් සාමාන්‍යයෙන් කාන්තාර ලක්ෂණ සහිත පරිසරයක් ලෙස හැඳින්වෙනවා. අපට හුරු පුරුදු නැතත් පෘථිවි පෘෂ්ඨයෙන් 1/4 පමණ භූමි ප්‍රමාණයක  කාන්තාර ව්‍යාප්ත වෙලා තිබෙනවා. ඒ අතරින් 53%ක් පමණ උණුසුම් කාන්තාර ගණයටත්, ඉතිරි ප්‍රමාණය ග්ලැසියර් අතර පිහිටි අයිස් කාන්තාර ගණයටත් අයිති වෙනවා. මේවා තුළ දකින්න ලැබෙන එකිනෙකට වෙනස් ලක්ෂණ නිසා නිවර්තන, ධ්‍රැවීය, වෙරළබඩ සහ අර්ධ ශුෂ්ක විදිහට තවත් උපවර්ග ගණනාවකටම බෙදා තිබෙනවා.  ස්වභාවධර්මය තමන්ගේ ජීවය හරි අපූරුවට මේ පරිසරයන් තුළ ජනිත කර ඇති  බව නම් මේ අපූරු පාරිසරික ලක්ෂණ දකින කොයිකාට වුණත් අවිවාදයෙන්ම පිළිගන්න වෙනවා.

මේ කාන්තාර අතරට ලෝකයේ වියළිම ස්ථානය විධියට සැලකෙන දකුණු ඇමරිකාවේ පිහිටා ඇති අටකාමා කාන්තාරයත් අයිති වෙනවා. වෙරළබඩ කාන්තාර ගණයටයි මේ කාන්තාරය අයත් වෙන්නේ. කිලෝමීටර් 105,000ක පමණ භූමි ප්‍රදේශයක් ආවරණය කරන මේ කාන්තාරය ස්වභාවයෙන්ම ගුප්ත, ගූඪ ස්වභාවයක් රජයන ප්‍රදේශයක් ලෙස හඳුන්වනවා. පිටසක්වළ ජීවීන්ගේ ක්‍රියාකාරකම් පවා සිදුවන බවට පැවැසෙන මෙහි සිදුවන සමහර සිදුවීම් පිළිබඳ හරි අර්ථකථනයක් නූතන විද්‍යාවෙන් පවා විස්තර කළ නොහැකි බවයි ඇතැම් පිරිස් පවසන්නේ.

කොහොම වුණත් 2003 වසරේදී සොයා ගනු ලැබූ පිටසක්වළ ජීවියෙක්ට සමාන අද්භූත, අරුම පුදුම පෙනුමකින් යුක්ත මෘත දේහය සාමාන්‍ය ජනතාව අතර පවතින මෙවැනි මතයන් තහවුරු වෙන ආකාරයේ සිදුවීමක් වුණා. මෘත දේහයක් කිව්වට මේක මමියක්. හිතාමතාම සිදුකරන ලද හෝ එසේත් නැත්නම් අහම්බයක් ලෙස රසායනයන්, අධික සීතල, ඉතාමත් අඩු ආර්ද්‍රතාව, වාතය නැති වීමකට වගේ දෙයකට නිරාවරණය වීම නිසා සම සහ ඉන්ද්‍රියන් සංරක්ෂණය වීම තමයි මමියක් කියන්නේ.

මමියක් කියූ පමණින් අපට මතක් වෙන්නේ ඊජිප්තුව වුණාට ලෝකය පුරා වෙනත් ස්ථානවලිනුත් මමී හමුවෙලා තිබෙනවා. හැබැයි  ඊජිප්තු ශිෂ්ටාචාරය මමීකරණය එක්ක තියෙන්නේ බොහොම සමීප සම්බන්ධතාවක්. සාමාන්‍යයෙන් පාරාවෝවරු වැනි ප්‍රභූ පිරිස් තමයි වැඩි වශයෙන්  මමී විධියට අපිට දකින්න ලැබෙන්නේ.

ඒ මමීත් එක්ක අතිවිශාල ධන සම්පත් පවා සොයා ගන්න පුරාවිද්‍යාඥයන් සමත් වෙලා තිබෙනවා. හැබැයි අපි අද කතා කරන්නේ නම් ඊජිප්තුවේ මමියක් ගැන නෙවෙයි. මේක විශාල මතභේදයකට තුඩු දුන්න බොහොම අස්වාභාවික මමියක්. අටකාමා කාන්තාරයේ චිලී රාජ්‍යයේ පාළුවට ගිය “ලා නොරියා”  කියන නගරයෙන් තමයි මේක සොයා ගන්නෙ. මමිය සොයා ගන්න අවස්ථාවේදී ඒක සුදු රෙදි කැබැල්ලක ඔතා, දම් පැහැති පීත්ත පටියකින් ගැට ගසා තමයි තිබිල තියෙන්නේ.

අටකාමා කාන්තාරයෙන් සොයා ගත්ත නිසා පස්සේ මේක “අටා” නැත්නම් “අටකාමා හියුමනොයිඩ්” කියන නමින් නම් කරල තිබෙනවා. හැබැයි මේක සාමාන්‍ය මෘත දේහයක් නම් නෙවෙයි. මේක මිනිස් රූපයකට බෙහෙවින්ම සමාන, නමුත් මිනිසෙක් යැයි විශ්වාස කළ නොහැකි ආකාරයේ මමියක්. ඊජිප්තුවේ ඉපැරැණි මමියකට සමාන අතිශයින්ම අසාමාන්‍ය කුඩා ශරීරයක් තමයි මේ මමියට තිබිල තියෙන්නෙ. කොහොම වුණත් බොහෝ දෙනා විශ්වාස කළේ මේ පිටසක්වළ මමියක් බවත් එය  වසර සිය ගණනක් පැරණි විය හැකි බවයි.

අඟල් 06ක් විතර දිග මේ මමිය අසාමාන්‍ය විධියට දික් වුණ හිසකින් යුක්තයි. ඒ වගේම මෙහි ඇස් විවරත් අසාමාන්‍ය විදිහට හිස් කබල ඇතුළට ගිලිල තමයි තිබෙන්නේ. සාමාන්‍ය මිනිස් සිරුරක ඉළ ඇට යුගල් 12ක් තිබුණද මෙහි තිබිල තියෙන්නේ ඉළ ඇට යුගල් 10ක් විතරයි. එතකොට ඉතිරි ඉළඇට මේ මමියෙන් අතුරුදන් වෙලාද? “අටා” සතුව තිබුණ මේ වගේ වෙනස් ලක්ෂණ නිසාම මෙය පිටසක්වළ ජීවියකුගේ මළ සිරුරක් කියල ලෝකයේ පිළිගත් විද්‍යාඥයන් පවා සැක පළ කිරීම පුදුමයට කරුණක් නෙවෙයි. ලෝකයා කෙතරම් එය විශ්වාස කළාද කියනව නම් “අටා” පිටසක්වළ ජීවියෙක් බව දැක්වෙන වාර්තා චිත්‍රපට පවා මේ කාලයේ නිෂ්පාදනය වුණා.

කොහොම වුණත් බොහෝ දෙනාගේ කතා බහට ලක්වුණ මේ අත්භූත මමිය ගැන පරීක්ෂණ ආරම්භ වෙන්නේ නම් ඒක සොයා ගෙන අවුරුදු දහයකටත් පස්සෙ 2013 වසරේ. පරීක්ෂණයේ වගකීම භාර වෙලා තියෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා, සැන්ෆ්‍රැන්සිස්කෝ, ස්ටැන්ෆර්ඩ් සරසවියේ වෛද්‍ය අණුක ජීව විද්‍යාඥයන් පිරිසකට. ඒත් අටා ගැන මේ පරීක්ෂණ ආරම්භ වෙනකොටත් මේක ස්පාඤ්ඤ ජාතිකයෙක් අතටත් එතැනින් ඇමරිකාවේ විද්‍යාඥයන් පිරිසක් අතටත් ගිහින් තමයි තිබිල තිබෙන්නේ.

මේ දේවල් නීත්‍යනුකූලව සිදු නොවුණ බවට තර්කයක් ගොඩනැඟී තිබුණත්, අටා මමියට ඒවගෙන් බලපෑමක් වුණාද කියන්න නම් කවුරුත්ම හරියට දන්නේ නැහැ. විද්‍යාඥයන් පරීක්ෂණවලදී අටා සම්පූර්ණ ජාන පරීක්ෂාවකට ලක් කරල තිබෙනවා. කොහොම වුණත් අවසානයේ ඔවුන් එළිදක්වන්නේ නම් ලෝකයම අන්දමන්ද කරන ඇදහිය නොහැකි අන්දමේ පිළිතුරක්. ඔවුන් කියන විදිහට මේක අනුමාන කරන්න බැරි තරම් විකෘතිතාවන්ගෙන් යුක්ත මිනිස් සිරුරක්.

අඟල් 06ක් පමණ වන මේ මමිය අවුරුදු 6 – 8 අතර ගැහැනු දරුවකුගේ කියල ඔවුන් කරන නිගමනය ඉතාමත් පුදුම සහගතයි. මේ පරීක්ෂණ වාර්තාවලින් පෙන්වන විධියට වසර සිය ගණනක් පැරණි යැයි සිතූ මමිය පැරණි වෙන්නේ වසර 40ක් පමණයි. එමෙන්ම එය ස්වාභාවිකවම මමීකරණය වුණ මෘත දේහයක් බවත් ඔවුන් පවසනවා. එතකොට ඔවුන් කියන විධියට මේ කාලේ අඟල් 06ක විතර උස වයස අවුරුදු 6 – 8 ළමයි චිලී රාජ්‍ය ආසන්නයේ ජීවත් වුණාද?

මේ දරුවාට අසාමාන්‍ය සංකීර්ණ සිරුරක් ලැබිල තියෙන්නේ ජාන විකෘතිතාවන් රාශියක් නිසා කියලයි මොවුන් කියන්නේ. ඒ වගේම අටාගේ අස්ථි පද්ධතිය ආශ්‍රිතව විකෘතිතා 64ක් තිබුණ බවත් තහවුරු කරල තිබෙනවා. මේ විකෘතිතා 64 ඇති වෙන්න ජාන 07ක් මුල් වෙලා තිබෙනව කියලයි ඔවුන් නිගමනය කරන්නේ. ඒ නිසාම අටාගේ සිරුර කුරු ස්වරූපයක් ගන්න ඇති කියලත් සැන් ෆ්‍රැන්සිස්කෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂිකා  සන්චිතා භාට්ටාචාර්ය  පෙන්වා දෙනවා. ඉළ ඇට 12ක් වෙනුවට ඉළ ඇට 10ක් පමණක් පිහිටීම ගැන නම් කිසිදු හේතු පැහැදිලි කිරීමක් ඔවුන් කරන්නෙත් නැහැ. ඒ කොහොම වුණත් මේ පරීක්ෂණය අවසන් වෙන්නේ අටා සම්බන්ධ තවත් අබිරහස් ගණනාවක්ම ලෝකයා හමුවේ ඉතිරි කරමින්.

ලන්ඩන් නගරයේ  හොරයිමන්  කෞතුකගාරයේ ස්වාභාව විද්‍යා විශේෂඥයන් පිරිසක් කලින් පරීක්ෂණයෙදී නොවිස¾දුණු කොටස්වලට පිළිතුරු සෙවීමේ වගකීම භාර ගෙන තිබුණා. ඒ අනුව ඔවුන් කියන්නේ මේ මමිය සති 14 – 16 අතර කාලයකදී ගබ්සාවක් නිසා මියගිය දරුවෙක්ගේ සිරුරේ ඉතිරි වුණ කොටස් වෙන්න පුළුවන් කියලයි.

ඒවගේම ඔවුන් අටා කාන්තාරයට ආව විදිහ ගැනත් උපකල්පනයක් ඉදිරිපත් කරල තිබෙනවා. මේ උපකල්පනයෙන් ඔවුන් කියන්නේ අටකාමා කාන්තාරයේ තිබුණ දෙව් මැඳුරක් අසලින් මේ විකෘති කලලය කිසියම් කෙනෙක් විසි කරන්න ඇති කියලයි. නමුත් මේකත් උපකල්පනයක්ම පමණයි. සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් අටා ගැන කළ පරීක්ෂණයක ප්‍රතිඵල සටහන 2018 මාර්තු මාසයේදී  ජීනෝම් රිසර්ච් කියන පරීක්ෂණ වාර්තාවකින් එළි දක්වල තිබෙනවා.

අටා මමිය ගැන විද්‍යාඥයන් කරපු පරීක්ෂණ සාධාරණීකරණය කරන්න බැහැ කියන පිරිසකුත්, ඒ පරීක්ෂණ ආචාර ධර්මානුකූල නැහැ  කියන පිරිසකුත් සිටිනවා. ඒ වගේ හේතු නිසාම මේ ගැන නවතම අනාවරණයන් කර ගන්න චිලී රාජ්‍යය, නවසීලන්තය වගේ රාජ්‍ය ගණනාවක විද්‍යාඥයන් නැවතත් එකතු වෙලා තිබෙනවා. එතනදී ඔවුන් ජිනෝමි රිසර්ච් වාර්තාවේ පළවී තිබුණ දත්තවලට හාත්පසින්ම වෙනස් දත්ත ලබා දීල තිබෙනවා.

ලන්ඩනයේ හොරයිමන් කෞතුකාගාරයේ වාර්තාව සනාථ කරමින් නවසීලන්තයේ ඔටාගෝ විශ්වවිද්‍යාලයේ ජෛව පුරා විද්‍යාඥ මහාචාර්ය සියන් හල්ක්‍රෝ  කියන්නෙත් අටා සති 15 විතර වයස ගබ්සා කලලයක් කියලයි. ඔවුන් මේ මමියේ ඇට මිදුලුවල තිබුණු ඩී. එන්. ඒ. (DNA) නිස්සාරණය කරගෙන සිදුකළ පරීක්ෂණයෙන් මේක පිටසක්වළ ජීවියකුගේ කියල තිබුණ මතයත් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. විද්‍යාඥයන්ගේ මතය වුණේ මේක අසාමාන්‍ය විදිහට විකෘති ගණනාවකට බ¾දුන් වුණ මානව ස්ත්‍රී දේහයක් කියලයි. මුල්ම පරීක්ෂණවලින් අටාගේ DNA මානව DNA එක්ක ගැළපුණේ 92%ක් විතර වුණත් පසුව කළ පරීක්ෂණවලදී ඒ අගය 98%ක් දක්වා වැඩිවෙලා තිබෙනව.

ඒ වගේම මේ මමිය අවුරුදු 6-8 අතර දරුවකුගේ කියපු නිගමනයත් නවතම පරීක්ෂණ කණ්ඩායම ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් තම පරීක්ෂණ දත්ත ආශ්‍රයෙන් පැහැදිලි කරන අන්දමට මේ මමිය වයස අවුරුදු 6-8 අතර සිරුරකට සමාන ලක්ෂණ පෙන්නුම් කරන්නේ එහි තිබෙන අස්ථිවල විකෘතිතාවක් නිසා. මමිය හමුවුණ ප්‍රදේශයේ අතහැරල දාපු නයිට්‍රේට් පතල් රාශියක්ම තිබිල තිබෙනවා. සමහරවිට ඒ නයිට්‍රේට්වලට නිරාවරණය වුණ නිසා මේවගේ විකෘතිතාවන් ඇති වෙන්න පුළුවන් කියලයි ඔවුන් පවසන්නේ.

මූලික පරීක්ෂණයේදී අදහසක් නොදැක්වුණු ඉළ ඇට සම්බන්ධවත් මොවුන් නිගමනයක් ඉදිරිපත් කරල තිබෙනවා. ඔවුන් කියන විධියට කලලයේ වයස අනුව තිබිය යුතු ඉළ ඇට සංඛ්‍යාව අටා මමියේ තිබෙනවා. එහෙම ගත්තම ඉළ ඇට යුගල 10ක් තිබීම පුදුමයක් නෙවෙයි. මමියේ කේතු හැඩයක් ගන්න දිගටි හිස කියන්නේ මුල ඉඳලම විද්‍යාඥයන් පුදුමයට පත් වුණ දෙයක්. නමුත් දැනට කෙරෙන පරීක්ෂණවලින් තහවුරු වෙන්නේ නම් නිසි වයසට කලින් ගබ්සා වෙන කලලයක හිසේ එවැනි හැඩයක් දකින්න ලැබෙනවා කියලයි.

මුලින්ම මේ මමිය ගැන පරීක්ෂණ කරපු විද්‍යාඥයන්ගේ මතය වුණේ නූතන විද්‍යාවෙන් පවා අනාවරණය කර ගන්න හැකියාවක් නැති සංකීර්ණ දේහයක් අටාට උරුම වෙලා තිබුණ කියලයි. ඔවුන් කියූ විධියට ජාන විකෘතිතාවන් රාශියක් තමයි මේ මමියේ කුරු බවට, අසාමාන්‍ය පෙනුමට හේතුව වෙලා තිබෙන්නේ. නමුත් අටා සම්බන්ධව නවතම පරීක්ෂණ කරපු විද්‍යාඥයන් පවසන්නේ මේ සියල්ලම අසත්‍යයක් කියලයි. අටාගේ අස්ථි සහ වයස ගැන තීරණය කරන්න පර්යේෂිකා සන්චිතා භාට්ටාචාර්ය ඇතුළු පිරිස භාවිත කරපු පරීක්ෂණ ක්‍රමවේදයන් පවා නිවැරදි නොවන බව තමයි මොවුන් පවසන්නේ.

අටාගේ විකෘති රූපය දැක්ක පමණින්ම මව ඇයව කාන්තාරයේ පාළු තැනකට විසි කරල දැමුවේද, එහෙමත් නැත්නම් අටාගේ දේහය සංරක්ෂණය කරල කිසියම් පුද්ගලයෙක්ට අලෙවි කළාද යැයි ලෙසින් පැන නැඟුණ ප්‍රශ්නය නවතම පරීක්ෂණ කණ්ඩායම ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් කියන්නේ මේක ගබ්සා වුණ කලලයක කොටස් කියලයි. එතකොට තමන්ට ගබ්සා වුණ කලලය මව කිසිදු වග විභාගයකින් තොරවම විසි කරල දැම්මද?

අටා සැබෑවටම අවුරුදු 40ට විතර කලින් ගබ්සා වුණ කලලයක් නම් ඒ කලලය දරාගෙන හිටිය මව අදටත් ජීවතුන් අතර ඉන්නව වෙන්නත් පුළුවන්. මව නැතත් අවම වශයෙන් අටාගේ ඥාතීන් හරි ජීවත් වෙලා ඉන්න ඕනේ. නමුත් අටාට ඥාතීත්වයක් ඇති කෙනෙක් හොයාගන්න එක කුමන විද්වතුන් කණ්ඩායමකට වුණත් පහසු වෙන එකක් නම් නැහැ. ඒ කොහොම වුණත් මේ ලෝකේ එළියවත් බලන්න වරම් නොලබපු අහිංසක අටා අනාගතේදී විවිධ ජාන විකෘතිතාවන් නිසා පීඩාවට පත් වෙලා ඉන්න

රෝගීන්ට ප්‍රතිකාර කරන්න විශාල දැනුමක් ලබා දේවි. ඇත්තටම අටා ලෙසින් නම් කරපු මේ මමිය පරීක්ෂණ කණ්ඩායම් කියන විදිහට මිනිසකුගේද/එහෙමත් නැත්නම් පිටසක්වළ ජීවියෙක්ගේද? නයිට්‍රේට්වල බලපෑම් නිසා මේතරම්ම වෙනස් ජීවියෙක් බිහි වෙන්න පුළුවන්ද? මූලික පරීක්ෂණ වාර්තා වෙනස් වුණා වගේම අනිත් පරීක්ෂණ ප්‍රතිඵලත් පසුකාලීනව වෙනස් වෙයිද? තවමත් සම්පූර්ණයෙන්ම පරීක්ෂණ අවසන් නොවුණ මේ අටාගේ මමිය අනාගතේදී අපට මොන වගේ පිළිතුරක් ලබා දේවිද?

නදීරා හඳූගල