අගමැති පුටුවට ඉව අල්ලන පොහොට්ටුවේ අලුත් ඩබල..!

0
103

අර්බුදයට මුහුණදෙන්න විකල්ප හොයන්නලු

පසුගිය සතියේ පැවැති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ආර්ථික අර්බුදය ගැන කරුණු දැක්වූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අපිට අනිවාර්යයෙන්ම ආහාර අර්බුදයකට මුහුණදෙන්න වනවායි දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.

එයට හේතු දැක්වූ ජනාධිපති යුක්රේනය තමයි ලෝකයේ සියයට තිහක් තිරිඟු පිටි හදන්නේ. නමුත් යුද්ධය නිසා ඒ නිෂ්පාදනය වෙන්නේ නෑ. පසුගිය කාලයේ ඉන්දියාවෙන් තිරිඟු පිටි ගත්තා. දැන් ඉන්දියාව තිරිඟු පිටි දෙන්නේ නෑ. ඒ නිසා දෙසැම්බර් වෙද්දි ලෝකයේ තිරිඟු පිටි හිඟ වෙනවා. පාන් මිල තවත් ඉහළ යාවි. මේ අර්බුදයට මුහුණදෙන්න අපි විකල්ප හොයන්න ඕනෑ. එකම විකල්පය තමයි වගා කරන එක යැයි ජනාධිපතිවරයා ආහාර අර්බුදයට මුහුණදෙන්නට මන්ත්‍රිවරුන් පෙළගැස්සුවේය.

මහ කන්නයේ වගා කටයුතු පටන් ගැනීමත්, පොහොර ලබාදීමත්, ප්‍රාදේශීය ලේකම්වරුන් සම්බන්ධ කරගෙන ගමේ නිලධාරීන් පස්දෙනකු ආහාර සුරක්ෂිතභාවය ගැන වගකියන්න පත් කිරීමත් ගැන වැඩපිළිවෙළ හඳුන්වාදුන් ජනාධිපතිවරයා ඒකට මන්ත්‍රිවරුන් සම්බන්ධ වෙන්න ඕනෑයි කීවේය.

ජනාධිපතිවරයා තම මන්ත්‍රි කණ්ඩායම එසේ දැනුවත් කළේ මෙරට දරුවන්ගේ හා ගැබිනි මවුවරුන්ගේ පෝෂණය සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවැති පාර්ලිමේන්තු විවාදයට පෙර ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් දැනුවත් කිරීමට පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති විශේෂ හමුවකදීය. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරි කණ්ඩායමක් මේ හමුවට කැඳවා තිබිණි. සෞඛ්‍ය ඇමැති කෙහෙලිය මේ සාකච්ඡාවට සහභාගි වූයේ නැත.

මන්දපෝෂණය ගැන ඉදිරිපත් කරන දත්ත වැරැදි බව කියති

සාකච්ඡාව ආරම්භයේදීම ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මන්දපෝෂණ තත්ත්වය අතින් ලංකාව ලෝකයේ හය වැනි ස්ථානයේ ඉන්නවා කියලා විපක්ෂය කියනවා. ඒක ඇත්තද?

නිලධාරීන්ගේ පිළිතුර වූයේ ඒ සංඛ්‍යාලේඛන වැරැදි බවයි.

ඒක වැරැදි නම් මීඩියාවලට ගියේ කොහොමදැයි ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කීවේ අපි ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා මේ ගැන කිව්වා. ඒත් මීඩියාවල ඒක ලොකුවට ගියේ නෑ,

නිලධාරීන්ගේ පිළිතුරට හරස් වූ මහින්ද අමරවීර තරමක කේන්තියකින් මෙන් “මීඩියාවල ගියේ නැත්නම් අපිට කියන්න ඕනෑ. අපි මේ ගැන පාර්ලිමේන්තුවේදී හරි කියනවානේ. ඇයි අපිව දැනුවත් කළේ නැත්තේ? අඩුම තරමේ මේ ගැන සෞඛ්‍ය ඇමැතිතුමා දැනුවත් කළාද?”

වැඩේ ටිකක් දුර ගිය බවක් පෙනිණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ “ඒකනේ මේ සංඛ්‍යා ලේඛන වැරැදි නම් අමාත්‍යාංශය ඒක නිවැරැදි කළේ නැත්තේ ඇයි?”

පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම්, මධුර විතානගේ ඇතුළු මන්ත්‍රි පිරිසක්ද මේ කතාවට හවුල් වූහ.

“අපි මේ ගැන ඇමැතිතුමා දැනුවත් කළා” සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීහු කීහ.

“අපි මේ ගැන විවාදයේදී කරුණු දක්වමු” යි කියමින් ජනාධිපතිවරයා සාකච්ඡාව වෙනතකට හැරවීය.

රටේ ආර්ථික අර්බුදය ගැන ජනාධිපති මන්ත්‍රි පිරිස දැනුවත් කළේ ඉන් අනතුරුවය.

ප්‍රාදේශීය ලේකම්ලා මන්ත්‍රිවරු ගණන් ගන්නේ නෑලු

මහ කන්නය සාර්ථක කරගන්නට ප්‍රාදේශීය ලේකම්වරු සම්බන්ධ කරගන්නා බවට ජනපති කී කතාවට මන්ත්‍රිවරු එතරම් මනාපයක් දැක්වූයේ නැත. සමන්ප්‍රිය හේරත් මන්ත්‍රිවරයා ඍජුවම කීවේ ප්‍රාදේශීය ලේකම්වරු එක්ක කතා කළාට වැඩක් නෑ. අපි කියන දේවල් ඒ අය පිළිගන්නේ නෑ කියායි.

සුමිත් උඩුකුඹුර මන්ත්‍රිවරයා ටිකක් සැරට කීවේ “අපිට වයඹ ආණ්ඩුකාරයා එක්ක වැඩ කරන්න බැහැ. එයා නාවික හමුදාව පාලනය කළා වගේ මහජන නියෝජිතයන් පාලනය කරනවා. එයා සම්බන්ධයෙන් තීරණයක් ගන්න” යැයි ජනාධිපතිගෙන් ඉල්ලීමක් කළේය.

ජනාධිපති ප්‍රශ්නයට විසඳුමක් ලෙස කීවේ ආණ්ඩුකාරවරයාගේ බලතල මන්ත්‍රිවරුන්ට පවරන්න පුළුවන්ද කියලා බලන්න ඕනෑ කියායි.

පළාත් සභා ක්‍රියාත්මක නොවුණාට ඒකෙ සභාපතිවරයාට බලතල තියෙනවායි වජිර අබේවර්ධන කියද්දී මන්ත්‍රිවරු කිහිපදෙනෙක්ම මහ හ¾ඩින් කීවේ “බුදු අම්මෝ ඒක කරන්න එපා” කියායි. ඒ කතාවට ජනපතිටත් සිනහ ගියේය.

නිවාස ගිනිබත් වූ මන්ත්‍රින්ගේ හානි පූර්ණය

මන්ත්‍රිවරුන්ගේ ගිනි තැබූ නිවාසවලට වන්දි ගෙවීම ගැන මේ දිනවල රටේ කතාබහ වෙද්දී ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා මන්ත්‍රිවරුන් දැනුවත් කරන අන්දමින් කීවේ ගිනි තැබූ නිවාස සම්බන්ධයෙන් හානිපූර්ණ වන්දි ලබාගන්න අයැදුම්පත් පුරවලා තියෙන්නේ මන්ත්‍රිවරු තිස්දෙනයි. අනිත් අයත් ඉක්මනට පුරවලා දෙන්නැයි ඉල්ලීමක් කළේය.

සමන්ප්‍රිය හේරත් මන්ත්‍රිවරයා ප්‍රාදේශීය ලේකම්වරුන් ෆෝම් එකක් එවලා තියෙනවා. එයාලා කියන්නේ ඒ ෆෝම් එක පුරවන්න කියලා. ඇත්ත තත්ත්වය පැහැදිලි කරදුන් ප්‍රසන්න රණතුංග “නෑ ප්‍රාදේශීය ලේකම්තුමාට දෙන්න ඕනෑ දිවුරුම් ප්‍රකාශයක්. විජයදාස රාජපක්ෂ ඇමැතිතුමා සමඟ ගිය සතියේ අපි සාකච්ඡාවක් තියලා මේ වැඩ කෙරෙන්නේ කොහොමදැයි එහිදී මන්ත්‍රිවරුන්ට පැහැදිලි කරදුන්නා. ආපු නැති මන්ත්‍රිවරු ආපු මන්ත්‍රිවරුත් එක්ක කතා කරලා තොරතුරු දැනගන්න.”

මන්ත්‍රිවරු කිහිපදෙනෙක්ම කීවේ එහෙම දෙයක් ගැන තමන් නොදන්නා බවයි.

පිටි නැව ළඟ එනවා හැබැයි පාන් 300යි

පාන් මිල වැඩි වීම ගැන මන්ත්‍රිවරු කිහිපදෙනෙක්ම ප්‍රශ්න කරමින් පාන් මිල වැඩිවෙච්ච නිසා අපිට ගම්වලට යන්න බෑ. පාන් මිල අඩු කරන එක ගැන වෙළෙඳ ඇමැතිතුමා මොකක්ද කියන්නේ. උත්තරයක් දෙන්න වෙළෙඳ ඇමැතිවරයා සිටියේ නැත. ඔහු වෙනුවෙන් පිළිතුරු දුන්නේ ඇමැති ධුරයක්වත් නැති නිමල් ලන්සායි.

“බේකරි හිමියෝ එක්ක එතුමා කතා කළා. පිටි හිඟයක් තිබුණත් පාන් ගෙඩියක මිල රුපියල් 300ක් වෙන්නෙ නෑ කියලා බේකරි හිමියෝ කියලා තිබුණා. ප්‍රීමා එකටයි සෙරන්ඩිබ් එකටයි කියලා තියෙන්නේ පිටි තොග වෙළෙඳපොළට දාන්න කියලයි. පිටි මිල අඩු කරන්න ජනාධිපතිතුමා දැනටමත් පියවර ගෙන තියෙනවා” ලන්සාගේ පිළිතුර විය.

“බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිම තමයි පාන් ගෙඩියක් රුපියල් 300ක් වෙයි කිව්වේ” ජනක වක්කුඹුර කියද්දී “එයා ඒ කතාව නිවැරැදි කරනවා” ලන්සා කීය.

අපි කියපුවා නො ඇසූ ගෝඨාට ගෙදර යන්න වුණා

අනතුරුව නැඟී සිටියේ කටකාර තිස්සකුට්ටිආරච්චිය. පැවැති ආණ්ඩුවට චෝදනා කළ ඔහු හිටපු ජනාධිපති ගෝඨාටත් පොඩි ‘ෂොට්’ එකක් දෙමින්,

“අපි ප්‍රශ්නයක් කිව්වම හිටපු ජනාධිපතිතුමා අපිව ගණන් ගත්තෙ නෑ. ඒකෙන් වුණේ මන්ත්‍රිවරු, ඇමැතිවරු කලකිරිලා ආණ්ඩුව කඩාගෙන ගියා. අන්තිමට ගෝඨාභය රාජපක්ෂ මහත්තයටත් ගෙදර යන්න වුණා.”

තැන් තැන්වල කුටු කුටු ගාන ඇමැතිලා කවුද?

තරමක කේන්ති ගත් ස්වභාවයකින් එසේ කී තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රිවරයා ජනාධිපති දෙස බලමින් “අද අපේ ජනාධිපති ඔබයි. අප ඔබගේ වැඩපිළිවෙළ අගයනවා. අපේ ජීවිත බේරලා අභයදානය දීපු එකට අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. දැන් ආපසු තැන් තැන්වල කුටු කුටු ගානවා. කැබිනට් ඇමැතිවරුන්ගෙන් අහපුවම මොකද වෙන්නෙ කියලා අනේ වැඩක් නෑ බං කියනවා. මොකක්ද වෙන්නෙ කියලා අපිට තේරෙන්නෙ නෑ බං කියනවා. මොකක්ද වෙන්නෙ කියලා අපට තේරෙන්නෙ නෑ. ඔය ඇමැතිකම් දීලා වැඩේ ඉවර කරගෙන සාමූහිකත්වය ආරක්ෂා කරගමු. දැනටමත් අනවශ්‍ය ප්‍රචාර අපේ කණ්ඩායමේ පැතිරෙනවා. මෙහෙම ගියොත් මේකත් හෝදගෙන යාවි.

අද මට එන්න වාහනයක් තිබුණේ නෑ. හිතවතෙක්ගෙ වාහනයක ආවෙ. ඇමැතිකම් දෙන අයට ඒවා දීලා අපිටත් එහෙට මෙහෙට යන්න තෙල් ටිකක් දෙන්න” යැයි ඇඟට පතට නොදැනී තිස්සකුට්ටිආරච්චි කී කතාවට හැමෝම අත්පොලසන් දුන්නේ කුට්ටිආරච්චිගේ කතා ඇත්තක් නිසා විය හැකිය.

රාජ්‍ය ඇමැතිලා මන්ත්‍රිවරු ගැනත් බලන්න ලන්සා කියයි

කුට්ටිආරච්චි ජනාධිපති අමතමින් මෙහෙමත් කීවේය. ඇමැතිවරු කියනවලු සමහරුන්ට ඇමැතිකම් දෙන්න එපා කියලා. එහෙම කියපු අය ඉන්නවා නම් එහෙම කිව්වේ ඇයි කියන්න. නැත්නම් නෑ කියන්න. ඒ කතාව ඇහිච්ච අයත් ඒක කියනවා” ඔහුට උත්තර දුන්නේ නිමල් ලාන්සායි. “හෙට _ අනිද්දා ඇමැතිකම් ලැබෙන ඇමැතිවරු මේ මන්ත්‍රිවරු ගැනත් බලන්න. රාජ්‍ය ඇමැති තනතුරු ලැබෙන අය අඩු තරමින් මන්ත්‍රිවරු දෙන්නෙක්වත් බලාගන්න. එතකොට ඔය වගේ ප්‍රශ්න එන්නෙ නෑ.”

ගෝඨාභයගේ සහ ප්‍රසන්නගේ අගමැති කැම්පේන්

2023 අය _ වැය ඉදිරිපත් කිරීමට පෙර නව අගමැතිවරයකු පත්කර ගැනීමට ආණ්ඩුවේම ප්‍රබල කණ්ඩායම් දෙකක් දරන උත්සාහයක් ගැන පසුගිය 06 වැනිදා අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රි මහාචාර්ය චන්න ජයසුමන පාර්ලිමේන්තුවේදී කළ හෙළිදරව්වෙන් එම කණ්ඩායම් දෙකේ රහස් එළියට එන්නට පටන්ගෙන තිබේ.

මෙයින් එක් කණ්ඩායමක අරමුණ වී තිබෙන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය ජාතික ලැයිස්තුවේ මන්ත්‍රිවරයකු ලෙස නම්කර පසුව අගමැති ධුරයට පත්කර ගැනීමටය. දෙවැනි කණ්ඩායම අගමැති ධුරයට පත්කර ගන්නට යෝජනා කරන්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංගවය.

මේ කණ්ඩායම් දෙකම පොහොට්ටුවේ මන්ත්‍රිවරුන් මෙන්ම පොහොට්ටුවෙන් වෙන් වී ස්වාධීන වී සිටින මන්ත්‍රිවරුන් වෙන වෙනම හමුවී අගමැති තනතුරට පත්කර ගැනීමට උදවු ඉල්ලමින් ප්‍රචාරක වැඩසටහනක් රහසේ ක්‍රියාත්මක කොට තිබේ. මේ තොරතුරු කැබිනට් එකට අනාවරණය කළේ පොහොට්ටුවේම මන්ත්‍රිවරුන් මෙන්ම නිදහස් වූ මන්ත්‍රිවරුන්ය.

චන්න ජයසුමන මන්ත්‍රිවරයා හෙළිදරව් කළේ ඔහු දැනට නියෝජනය කරන මන්ත්‍රි කණ්ඩායමේ සාමාජිකයන් වෙන වෙනම මුණගැසී සහාය ඉල්ලා තිබීම ගැනය.

තමා පාර්ලිමේන්තුවට තේරී වසර දෙකක කාලය තුළ අගමැතිවරුන් තිදෙනකු පත්ව තිබෙන අතර සිවුවැනියාත් දැකීම තම අපේක්ෂාව නොවන බව ජයසුමන මන්ත්‍රිවරයා මේ හෙළිදරව්ව කරමින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි.

අවුරුදු දෙකට අගමැතිවරු තුනක්

ගෝඨාභය ජනාධිපති ධුරය දරන කාලයේ ඔහුට වඩාත් සමීපව සිටි හිටපු ඇමැතිවරුන් කිහිපදෙනකු ගෝඨා අගමැති ලෙස පත්කර ගැනීමට වලිකමින් සිටින අතර ප්‍රසන්න පත්කර ගන්නට උත්සාහ කරන්නේ ඔහු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට පත්වීමෙන් පසු සබඳතා වැඩියෙන් ඇතිකර ගත් පිරිසක් බවද මන්ත්‍රිවරුන්ගෙන්ම තොරතුරු දැනගන්නට ලැබිණි.

මේ අතර ප්‍රසන්නට රාජ යෝග තිබෙන බවටද මේ අය කටකතා පතුරවන බවක්ද වාර්තා වේ.

රට දේශාපාලන වශයෙන් තවදුරටත් අස්ථාවර නොකර දැනට රට කරගෙන යන ජනාධිපති, අගමැති දෙදෙනාට මැතිවරණයක් එනතුරු කාලය ලබාදිය යුතු බව ආණ්ඩු පක්ෂයේ වැඩිදෙනකු අගමැතිවරයකු අලුතෙන් පත්කර ගන්නට ප්‍රචාරය ගෙනයන පිරිසට පවසා තිබෙන බවද වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ වැඩ බලන අගමැතිවරයා ලෙස පත්වූ අවස්ථාවේදී ඔහු ඉවත්කර එම තනතුරට කථානායකවරයා පත්කර ගැනීමටත් පසුව පාර්ලිමේන්තුව තුළින්ම අගමැතිවරයකු පත්කර ගැනීමට පොහොට්ටුවේ පිරිසක් ඒ දිනවල හිටපු ජනපති ගෝඨාභයට දැඩි බලපෑමක් කළත් ඔහු එය නොපිළිගත් බව කියති. ඔහුගේ අවසන් තීරණය වූයේ අගමැති තනතුර දැරූ රනිල් වැඩ බලන ජනාධිපති ලෙස පත්කර ගැනීමත් පසුව පොහොට්ටු මන්ත්‍රිවරුන්ගේ වැඩි ඡන්දයෙන් රනිල් ජනාධිපති ධුරයට පත්කර ගැනීමත්ය.

ගෝඨා නොමඟ යැවූ පිරිස නැවතත් ඔහු වටා රොක්වෙලා

ගෝඨාභය යළි පාර්ලිමේන්තුවට පත්කර ගැනීමට උත්සාහ කරන්නේ ජනාධිපති ධුරය දරමින් සිටියදී ඔහු  නොමඟ යවා නොයෙකුත් වරප්‍රසාද ලබා ගන්නට උත්සාහ කළ පිරිසක් බවටද ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රි කණ්ඩායමේ අයෙක් පැවැසීය.  ගෝඨාභය පාර්ලිමේන්තුවට පත් කරන්නේ නම් ඒ සඳහා ඔහුට අවස්ථාව ලබාදීමට සීතා අරඹේපොළ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයෙන් ඉවත්වීමට සූදානම් බව මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වෙතත් ගෝඨා නැවත දේශපාලනයට එනවාට ඔහුගේ බිරියත්, ඇමරිකාවේ සිටින පුතාත් දැඩි ලෙස විරුද්ධ බවද වාර්තා වේ.

පැදුරටත් නොකියා පලා ගිය හැටි

ජනාධිපති ධුරය අතහැර රටින් ගිය ගෝඨාභය රාජපක්ෂ පසුගිය 2 වැනිදා සිකුරාදා රාත්‍රි තායිලන්තයේ සිට සිය බිරිය අයෝමා රාජපක්ෂ සමඟ කටුනායක ගුවන් තොටුපොළින් මවුබිමට ආපසු පැමිණියහ. ඔහු පිළිගැනීමට ආණ්ඩුවේ මැති ඇමැතිවරුද, පොහොට්ටුවේ හිටපු ඇමැතිවරු හා මන්ත්‍රිවරු පිරිසක්ද ගුවන්තොටුපොළට ගොස් සිටියහ.

අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස 2019 නොවැම්බර් 18 වැනිදා සිට 2022 ජූලි 14 ධුරයෙන්  ඉල්ලා අස්වනතුරු ඔහු තනතුරේ සේවය කළේය.  “සිස්ටම් චේන්ජ්” එකකට වෙර දැරූ අරගලකරුවන් ජූලි 09 වැනිදා ජනාධිපති මන්දිරයට ඇතුළු වී එය බලහත්කාරයෙන් අල්ලාගත් අවස්ථාවේ ගෝඨා මන්දිරයෙන් පිටව ගියේ කෙසේද, ගියේ කොහාටද, නතරව සිටියේ කොහේදැයි රටවැසියන් දැන සිටියේ නැත.

රනිල්, ගෝඨාට ඉහළින්ම යුතුකම් ඉටු කරයි

සැප්තැම්බර් 2 වැනිදා ආපසු තම රටට පැමිණි ගෝඨාට පදිංචියට කොළඹ මලලසේකර මාවතේ රජයේ නිවෙසක් ලබාදී තිබිණි. එම නිවෙසේ කලින් පදිංචිව සිටියේ විමල් වීරවංශ මහතාය. ඒ ඔහු ඇමැතිවරයකු ලෙස සේවය කරමින් සිටියදීය. විමල්ට කලින් එම නිවෙස හිටපු ඇමැතිවරයකු වූ රාවුෆ් හකීම්ගේ නිල නිවෙස විය.

ගෝඨාට විදේශයක කාලය ගත කරන්නට අග්‍රාමාත්‍යවරයා ලෙසත් . පසුව ජනාධිපති ලෙසත් රනිල් යුතුකම් ඉහළින්ම ඉටුකළ බව නොරහසකි.

අගමැති දිනේෂ්් සභානායක පදවිය දරද්දී අත ඉතිරි මුදල් ආපසු බාරදෙයි

ජාතික සභාව පිහිටුවීමට දේශපාලන පක්‍ෂ නායකයන් තීන්දු කළේ පසුගිය බදාදා (07දා) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේද සහභාගිත්වයෙන් පැවැති පක්‍ෂ නායක රැස්වීමේදීය. එම රැස්වීමට සහභාගි වී සිටි සුසිල් ප්‍රේමජයන්ත්ට සංඥාවක් දුන් අගමැති පාර්ලිමේන්තුවේ පිහිටි සිය කාර්යාලයට කැඳවාගෙන ගියේය.

සුසිල් කාර්යාලයට ඇතුළුවී අසුන් ගන්නටත් පෙර, “තෑග්ගක් දෙන්න තියෙනවා” යි අගමැතිවරයා පැවැසුවේ සුපුරුදු සිනහවත් සමඟය.

වෙන්න යන්නේ කුමක්දැයි තේරුම් ගත නොහැකිව සුසිල් කුතුහලයෙන් බලා සිටියදී දිනේෂ් සිය ලේකම්වරයකුට කීවේ “අර ඉතිරි කරපු මුදල් භාර දෙන්න” කියායි. සුසිල් වික්ෂිප්ත භාවයට පත්වෙද්දී අගමැතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා එම මුදල සුසිල්ට බාර දුන්නේය. ඒ අගමැතිවරයා සභානායකවරයා ලෙස සිටි 2020 ජනවාරි මාසයේ සිට 2022 ජූලි මාසය දක්වා ඉතිරි කළ නිල රථයට හිමි ඉන්ධන දීමනාවය. සුසිල්ට එම තෑග්ග දිනේෂ්ගෙන් ලැබුණේ සුසිල් වර්තමානයේ සභානායකවරයා වන බැවිනි.

නිදහස් ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රි කණ්ඩායමට තර්ජන ගර්ජන එල්ල වන්නට පටන් ගෙන තිබෙන බව වාර්තා වේ.

ඩලස්ලාගේ ස්වාධීන එකමුතුවට තර්ජන ගර්ජන

නව එකමුතුවේ මන්ත්‍රි කණ්ඩායමේ රැස්වීමක් පසුගිය සතියේ නාවල පක්‍ෂ කාර්යාලයේදී පැවැතියේ දේශපාලන තීන්දු තීරණ කිහිපයක් ගැනීමටය. සාමාජික මන්ත්‍රි පිරිස එනතුරු කලින් පැමිණ සිටි කිහිපදෙනා සුහද කතාබහක යෙදී සිටියදී තමන්ට දුරකථන ඔස්සේ තර්ජන ලැබෙන බව මුලින්ම අනාවරණය කළේ ඩිලාන් පෙරේරායි. දැන් අපේ කණ්ඩායමේ අයට එහෙන් මෙහෙන් තර්ජන ගර්ජන එල්ල වෙන්න අරන් තියෙන්නේයි කීය.

ඩිලාන්ගේ කතාව සනාථ කරමින් නාලක ගොඩහේවා සඳහන් කළේ ඒක නම් ඇත්ත. මුලදි බැලුව ඇමැති කටු පෙන්නලා හරි බිළීබා ගන්න. ඒක හරිගියේ නෑනේ. ඒක තමයි තර්ජනවලින් බියවද්දන්න හදන්නේ.

මහාචාර්ය චරිත හේරත් මන්ත්‍රිවරයා පොඩි පහේ දේශපාලන තියරියක් දමමින් මෙහෙම කතාවක් කීය. “සාමාන්‍ය දේශපාලන ක්‍රමවේදයෙන් බැහැර වෙලා ප්‍රතිපත්තිමය දේශපාලනයකට රට යොමු කරන්න මේක හොඳ අවස්ථාවක්. ඇමැතිකම්වලට වරප්‍රසාදවලට ආශාවෙන් කාගේ හරි බිල්ලක් වන ක්‍රමය දැන් මිනිස්සුන්ට එපා වෙලා. ඒ නිසා තමයි අද රටට මෙහෙම වෙලා තියෙන්නේ.”

ඇමැතිකම් ඇම දමා බිළී බෑම

බිළී බා ගන්න හදන එක නම් සාමාන්‍යයිනේ. තර්ජන කරන්න අයිතියක් නෑනේයි ඩිලාන් කීවේය.

ඩිලාන් සාමාන්‍යයෙන් දේශපාලන තර්ජනවලට බිය පුද්ගලයෙක් නොවේ.

සාකච්ඡාවේ මුලෙන් කෑල්ලක් අල්ලාගත් කුමාරසිරි මන්ත්‍රිවරයා කාර්යාලයට ඇතුළු වෙමින් තර්ජනය කරනවා කියන්නේ මෙහෙමනේ. ඔයාලගේ දේශපාලන ජීවිතය ඔතැනින් ඉවරයි. ඔයාලට ප්‍රශ්න ඇතිවෙයි වගේ කතානේයි කියමින් සාකච්ඡාවට එක්විය. අනතුරුව ඒ මන්ත්‍රිවරු ඔවුන්ට ලැබුණු දුරකථන පණිවුඩ ගැනත් හමුවන්නට පැමිණි අය කී දේවලුත් සාකච්ඡාවට එකතු කළේය.

මහනුවර දිස්ත්‍රික්කයෙන් එල්ලවූ තර්ජන ගැන වසන්ත යාපා මන්ත්‍රිවරයා තොරතුරු දිගහරිද්දී හම්බන්තොට උපුල් ගලප්පත්ති ඔහුට රජය පැත්තෙන් එල්ලවූ අමුතුම තර්ජනයක් ගැන හෙළි කළේ මෙහෙමය. මම ස්වාධීන වුණා විතරයි. දිස්ත්‍රික් ලේකම්තුමාගෙන් දුරකථන පණිවුඩයක් ආව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ලෙස මට ලැබී තිබෙන කාර්යාලය ආපසු බාර දෙන්න කියලා. ආණ්ඩු පක්‍ෂයෙන් අෑත්වෙනකොට මෙවැනි තර්ජන බලපෑම් පෝලිමට එනවා.

ගලප්පත්ති මුහුණ දෙන්නට යන දේශපාලන ප්‍රශ්නය තේරුම් ගත් ඩිලාන්, එතකොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිකමෙන් ඉවත් වෙලා නොවෙයිද හිටියේ, ප්‍රශ්නයක් යොමු කෙළේය.

දිසා ලේකම්තෝ ල්කයෙක් වෙලා

“නැහැනේ. මම අයින් වුණා නම් කාර්යාලය බාර දෙනවනේ. අයින් වෙනකල්වත් ඒ අයට ඉවසුමක් තිබුණේ නෑ. ගලප්පත්ති කීවේය. ඒ වෙලාවේ දිස්ත්‍රික් ලේකම්ට මම කෝල් එකක් දුන්නා. මම කිව්වා ඔබතුමාට මේක මට කියන්න කියලා. කිව්වේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලනඥයෙක්ද? ඒත් ඔබතුමා දේශපාලන තෝල්කයෙක් වෙන්න එපා.

මේ ධුරයට මාව පත් කළේ ජනාධිපතිතුමා. මේක එතුමා පත් කළ ධුරයක් විතරයි. මම නිසි විදිහට ඉවත් වෙලා කාර්යාලය සමඟ සියලු දේවල් භාර දෙනවායි කී බව මන්ත්‍රිවරයා තම සහෝදර මන්ත්‍රිවරුන්ට ආණ්ඩුවේ අලුත් දේශපාලනය ගැන පැහැදිලි කර දුන්නේය.

ඩලස්ලාට විරුද්ධව තුට්ටු දෙකේ වැඩ කරන්නේ කවුද?

ඩලස් නායකත්වය දෙන මෙම මන්ත්‍රි කණ්ඩායමට පාර්ලිමේන්තුවේ විවාදවලට සහභාගි වීමට කාලය නොදීම ගැන මෙහිදී සාකච්ඡා විය. මේ ගැන එම කණ්ඩායම ජනාධිපති, අගමැති, සභානායකතුමන් සමඟත් විපක්‍ෂයේ ලොබියේදී ජනාධිපතිවරයා මුණගැසී කරුණු දැනුම්දීම ගැන ඩලස් කී අතර මේ වනවිට එම ප්‍රශ්නය විස¼දා තිබෙන බව කථානායක පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී දැනුම්දීමක් කර තිබිණි.

ජනාධිපතිවරයා මෙයට විසඳුමක් ලැබෙනු ඇතැයි කියමින් ඩලස්ලාට කිව්වේ ඔයාලා දන්නවනේ ඉතින් මේ වගේ වැඩ කරන්නේ කවුද කියලා. පවසමින් තුට්ටු දෙකේ වැඩ කරන දේශපාලන හතුරන් ගැන ඉඟියක්ද කළේය.

නිදහස ජනතා සභාවේ කාර්යාලය නාවල තුන්වැනි පටුමඟේ පිහිටි කාර්යාලය විවෘත කිරීමට පෙර දින කාන්තාවන් කේක් ගෙඩියක් රැගෙන කාර්යාලයට පැමිණියේය.

පැමිණ සිටියේ කොළඹ ප්‍රසිද්ධ නීතිඥවරියන් දෙදෙනෙකි. “මන්ත්‍රිතුමා, ඔබලාගේ මේ කාර්යය ඉතාම හොඳයි. දූෂණයෙන් තොර රටක් හදන්න ඔබතුමාලාගේ කැපවීම ගැන ආඩම්බර වෙනවා. අපි මෙතැනට ආවේ ඔබතුමන්ලාගේ නිදහස ගමන සැබෑ නිදහස උදෙසා යන ගමනක් වෙන්න කියලා සුබ පතන්නයි. කේක් ගෙඩියද මන්ත්‍රිවරුන්ට පිරිනමා පිටත්ව ගියහ.

නිමල් සිරිපාලගේ උපන් දිනයට ඩීල් කේක්

එජාප 76 වැනි සංවත්සරය පැවැති පසුගිය 06 වැනිදා වජිරගේ කොළඹ නිවෙසේදී ඔහුගේ පවුලේ සාමාජිකයකු නොවන අයකුගේ උපන් දින කේක් ගෙඩියක් කැපීමේ චාම් උත්සවයක් පැවැත්විණි. මේ පුද්ගලයා වෙනත් දේශපාලන පක්ෂයක ප්‍රධානියෙකි. ඔහු වජිරගේ නිවෙසට පැමිණ ඇත්තේ කිසියම් කාරණයකට සම්බන්ධ සාකච්ඡාවකටය.

සාකච්ඡාව පැවැත්වෙද්දී අමාත්‍ය හරින් ප්‍රනාන්දු ද පැමිණ ඇත. ඔහු පැමිණ ඇත්තේ කුඩා පාර්සලයක්ද අතැතිවය. සුළු වේලාවකින් මේස පිහියක් ගෙන්වා ගත් හරින් පාර්සලය විවෘත කර හොඳින් අයිසින් කර තිබූ කේක් ගෙඩිය එළියට ගෙන මේසය මත තබමින් එය කැපීමට ගෙන්වා ගත් පිහිය ඇමැති නිමල් සිරිපාල අතට දුන්නේය. කිසිවක් තේරුම් නොගත් නිමල් මොකද මේ මට පිහියක් දෙන්නේ? ඔබතුමා කේක් එක කපන්න අපි සුබ පතන්නම් යැයි කියමින් “හැපි බර්ත් ඩේ ටූ යූ” සුබ පතන්නට විය. නිමල්ට වැටහුණේ එදින ඔහුගේ උපන් දිනය යෙදී තිබූ නිසා හරින්, වජිර මේ කේක් කැපිල්ල සංවිධානය කර තිබූ බවයි.

වජිර කොහොමත් දේශපාලන ඩීල්කාරයකු නිසා මේ කේක් කැපිල්ලත් ඩීල් එකක් දැයි නිමල් සිරිපාලට තේරුම් ගියා දැයි දන්නේ නැත. නිමල් දැන් රැඳී ඉන්නේ ශ්‍රී ලනිපයේ වාටියේයි.

පොහොට්ටු රාජ්‍ය ඇමතිවරු මහින්ද හමුවී වරම් ගනී

පසුගිය බ්‍රහස්පතින්දා (08දා) රාජ්‍ය ඇමැතිවරු 37 දෙනෙක් ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන්නා. මෙසේ දිවුරුම් දුන් අයගෙන් පොහොට්ටුවේ මන්ත්‍රිවරු පිරිස හනි හනිකට ගියේ පොහොට්ටුවේ නායක මහින්ද රාජපක්ෂගේ නිල නිවෙසටය.

නිවෙසේ අෑඳිගෙන සිටි මහින්ද අසලට ගිය පිරිස ඔහුට දෑත් ඔසවා ආයුබෝවන් කියා තම නායකයාගේ ආශීර්වාදය ලබා ගත්තේය.

විනාඩි 24 පාර්ලිමේන්තු සභා වාරයේ වියදම කීයද?

අරගලයේ ඝාතනයට ලක්වූ අමරකීර්ති අතුකෝරළගේ ශෝක ප්‍රකාශ යෝජනාව ඉකුත් ජුනි මස 10 වැනිදා පාර්ලිම්න්තුවට ඉදිරිපත් කර, මැති ඇමැතිවරු විශාල පිරිසක් දිවංගත අතුකෝරළ පිළිබඳව ගුණකථන පැවැත්වීමෙන් පසු එම යෝජනාව යටතේ ගුණකථන ඉදිරිපත් කිරීමට තවත් දිනයකට කල් තැබීය.

ඒ අනුව මාස තුනකට පසු ඉකුත් සිකුරාදා (09දා) එම යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයට ඇතුළත් කර තිබිණි.

එදින අතුකෝරළ ගැන කතා කරන්නට මන්ත්‍රිවරු නොසිටියහ. එතුමා ගැන මැති ඇමැතිවරු කියන කතා අසන්නට අතුකෝරළ මහතාගේ පවුලේ අය පැමිණ සිටියේද නැත.

ශෝක ප්‍රකාශ යෝජනාව පිළිබඳ එදින කතා නොකෙරුණද අභාවප්‍රාප්ත බි්‍රතාන්‍යයේ කිරුළ හිමි එළිසබෙත් මහ රැජිනගේ අභාවය පිළිබඳ ශෝකය පළ කළ අගමැති දිනේෂ් ගුණවර්ධන, විනාඩි දෙකක නිහඬතාවකින් දෙවැනි එළිසබෙත් මහ රැජින වෙත පාර්ලිමේන්තුවේ ශෝකය පළ කළේය. එය රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තකි.

අතුකෝරළ මන්ත්‍රිවරයාගේ ශෝක ප්‍රකාශ යෝජනාව සඳහා වෙන් කෙරුණු ඉකුත් සිකුරාදා පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 24ක කාලයකට සීමා විය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වී ඉකුත් සිකුරාදා දිනය එම ශෝක ප්‍රකාශ යෝජනාව සඳහා වෙන් කෙරුණද, අවසානයේ විශාල මුදලක් වැය කරමින් න්‍යායපත්‍රය මුද්‍රණය කර පාර්ලිමේන්තුව විනාඩි 24ක් වැනි කෙටි කාලයකට රැස්වීම සීමා වීම සිදු නොවිය යුතු දෙයක් බව දියවන්නාව පැත්තෙන් ඇසුනි. ගමේ ගොඩේ අය කියන්නේ මලාට පස්සේ මොන ශෝක ප්‍රකාශද? කියායි. මේ සිද්ධිය එවැන්නක් විය හැකිද?

හැංගි හොරා පැවැත්වූ වජිරගේ බර්ත් ඩේ පාටිය

එජාප සභාපති වජිරගේ උපන්දිනය යෙදී තිබුණේ පසුගිය 02 වැනිදාටයි. උපන්දින උත්සවයක් යොදාගෙන තිබුණේ නැත. එහෙත් වජිර ඔහුගේ නායකයාට ජනාධිපති රනිල්ට පමණක් උත්සව අවස්ථාවට සහභාගි වන ලෙසට දැනුම්දීමක් කර තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයා වජිරගේ කොළඹ නිවෙසට පැමිණියේය.

වෙනත් කිසිවකුට මේ අවස්ථාවට ආරාධනා කර නොතිබුණත් එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, මහ ලේකම් රංගේ බණ්ඩාර, ජාතික සංවිධායක සාගල රත්නායක පැමිණ සිටියහ. වජිර පක්ෂයේ සභාපති නිසා උපන්දිනය දැනගෙන ඔවුන් පැමිණියා දැයි දන්නේ නැත. එසේ වජිරගේ උපන්දිනයට පුරුදු පරිදි පැමිණෙන මහාචාර්යවරුන් සහ වෘත්තීයවේදීන් කිහිපදෙනෙක් පැමිණ සිටියහ.

පැමිණ සිටි අය සඳහා පමණක් රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැත්විණි.

ජනාධිපතිවරයා මහාචාර්යවරුන් සමඟ දිගු සාකච්ඡාවක යෙදී ඇත.

අමරවීර හදන අලුත් පක්ෂය

අපි ශ්‍රී  ලංකා නිදහස් ඒකාධිපති පක්ෂයෙන් අයින්වෙලා ශ්‍රී  ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හදනවායි ශ්‍රී ලනිපයේ ජේ‍යෂ්ඨ උප සභාපතිවරයකු වන ඇමැති මහින්ද අමරවීර කියයි.

ඉකුත් සතියේ පැවැති පක්ෂ නායක රැස්වීම අවසානයේ එළියට එමින් අමරවීර එසේ කියද්දී ඉකුත් බ්‍රහස්පතින්දා (08) වැනි දින වනවිට ශ්‍රී ලනිපයේ මන්ත්‍රිවරු 6 දෙනෙක් ආණ්ඩුවේ රාජ්‍ය ඇමැති ධුරවල දිවුරුම් දුන්හ. මේ පිරිස ශ්‍රී ලනිපයෙන් ඉවත්වීම අමරවීර හදනවා කියන අලුත් පක්ෂයට යනවාදැයි කියන්න දන්නේ නැත.

“සර් ඔහෙම අඬන්න පක්ෂ මොකටද?’ මගේ පක්ෂය සජබ ගත්තා. එහෙනම් මමනේ අඬන්න ඕනෑ”යි ඩයනා ගමගේ මන්ත්‍රිවරිය අමරවීර ළඟම සිටි නිමල් සිරිපාල ද සිල්වාට කීවාය.

“ඔය පොඩි පක්ෂවලට එළියට බැහැලා ඡන්දයක් ඉල්ලන්න බෑ. එහෙම ඉල්ලුවත් වෙනදේ බලාගන්නකො. කිසි කෙනෙක්ට පාර්ලිමේන්තු එන්න බැහැ”යි ඩයනා කීවේ අලුත ගොඩනඟාගත් පක්ෂවලට කළ කෝචොක් එකක් දැයි දන්නේ නැත. නිමල් “ඒක ඇත්ත”යි කියමින් ඩයනාගේ කතාව අනුමත කළේය.  

කොරේ පිටට මරේ රාජ්‍ය ඇමැතිලා 37යි

රටම බංකොලොත් වී ඇති මොහොතක නව රාජ්‍ය ඇමැතිවරුන් 37 දෙනකු පත්කිරීමට විරෝධය දක්වමින් සජබ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව යෝජනාවක් සම්මත කර එයට අදාළ මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර තිබිණි.

රට බංකොලොත් වී ජීවන වියදම අහස උසට නැඟ ඇති මොහොතක ආණ්ඩුව අත්තනෝමතික ලෙසත්, සදාචාර විරෝධී ලෙසත් නව රාජ්‍ය ඇමැතිවරුන් 37 දෙනකු පත්කිරීම රටට දරාගත නොහැකි මෙන්ම රට ප්‍රපාතයට තල්ලුකර හැරීමක් ලෙස සජබ හඳුන්වා තිබිණි. මෙය පුරවැසි අරගලයේ පරමාර්ථ උල්ලංඝනය කිරීමක් ලෙසද හඳුන්වා ඇත.

කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මරික්කාර් මන්ත්‍රිවරයා අලුතින් පත්කළ රාජ්‍ය ඇමැතිවරුන් නම් වශයෙන් සඳහන් කරමින් ඔවුන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනාද එකින් එක අනාවරණය කර ඇත. එසේ චෝදනාවලට ලක්වූ අය අතර ශෂීන්ද්‍ර රාජපක්ෂ, පිල්ලෙයාන්, සනත් නිශාන්ත, ප්‍රසන්න රණතුංග, ඩයනා ගමගේ රාජ්‍ය ඇමැතිවරුන්ගේ නම්ද ප්‍රකාශ වී තිබිණි.

අශෝක් අබේසිංහ මන්ත්‍රිවරයා ජනාධිපති ගැන සඳහන් කරමින් අරගලයට මුවාවෙලා තමයි රනිල් ජනාධිපති වුණේ. දැන් ගුටිකන්න වෙලා තියෙන්නේ රාජපක්ෂලාට නෙවෙයි අරගලකරුවන්ට බව පවසා සිටී.

සජබ නායකයා ආණ්ඩුවට චෝදනා එල්ල කිරීම, පහරදීම හා විවේචන කිරීමේ අඩුවක් නැත. මේ වෙලාවේ රට බරපතළ විදියට කඩාගෙන වැටිලා තියෙන්නේ. ජීවන වියදම නැඟලා. ජනතාවට ඔළුව උස්සන්න බැරි තරමට තිබෙන වෙලාවක ආණ්ඩුව අලුතින් රාජ්‍ය ඇමැතිවරු 37ක් පත් කරනවා. මේක මොනතරම් පිළිකුල් සහගත දැයි ඔහු ප්‍රශ්න කළේය.

කලාකරුවන්, මාධ්‍යවේදීන් දුටු තැන අල්ලන ආණ්ඩුවක්.

දියත උයන පර්ෂදයේදී අත්අඩංගුවට ගත් කලා ශිල්පිනි දමිතා අබේරත්න රඳවා සිටි කොටුව පොලිසියට ගොස් ඇයගේ සුවදුක් සෙයා බලා පැමිණ කීවේ ආණ්ඩුවට තරුණයන්, මාධ්‍යවේදීන්, කලාකරුවන් පෙන්නන්න බෑ. එයාල දුටු තැන අල්ලන්න තමයි ආණ්ඩුව හදන්නේ. මේක තමයි ආණ්ඩුව දීලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදය යැයි කීවේය.

මහ ගෙදරට පැමිණි හරීන්

එජාප 76 වැනි සංවත්සරය පැවැත්වීමට දින දෙකකට පෙර පක්‍ෂ නායක ජනාධිපති ඔහුගේ නිවෙසට නිලධාරි මණ්ඩලය කැඳවා තිබුණේ සංවත්සරයේ වැඩකටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමටය. එම හමුවට නිලධාරියකු නොවන අයකුද සහභාගි වී සිටියේය. ඒ එජාපයේ හිටපු සාමාජිකයකු මෙන්ම සජබේද සාමාජිකයකු  හරීන් ප්‍රනාන්දුය. සංවත්සර උත්සවය සංවිධානය කිරීමට භාරගෙන තිබුණේද හරීන්ය.

පක්‍ෂ නායකයා සමඟ සාකච්ඡාවට සහභාගි වී සිටි පිරිස අතර සිටි කීපදෙනකු “හරීන් දැන් ඔහොම ඉඳලා හරියන්නේ නෑ. පක්‍ෂ සාමාජිකත්වය ගන්න ඕනෑ” කියද්දී “ළඟදීම එනවා. ළඟදීම එනවා”යි ප්‍රතිචාර දැක්වීමය.

එජාප සමුළුව ඇමැතූ ඔහු කීවේ තමා යළි මහ ගෙදරට පැමිණි බවත්, නැවත නොයන්නම ආ බවත්ය.

පාර්ලිමේන්තුව විනාඩි 24ක් වැනි කෙටි කාලයකට රැස්වීම සීමා වීම සිදු නොවිය යුතු දෙයක් බව දියවන්නාව පැත්තෙන් ඇසුණි. ගමේ ගොඩේ අය කියන්නේ මළාට පස්සේ මොන ශෝක ප්‍රකාශද? කියායි. මේ සිද්ධිය එවැන්නක් විය හැකිද?

හැංගි හොරා පැවැත්වූ වජිරගේ බර්ත් ඩේ පාටිය

එජාප සභාපති වජිරගේ උපන්දිනය යෙදී තිබුණේ පසුගිය 02 වැනිදාටයි. උපන්දින උත්සවයක් යොදාගෙන තිබුණේ නැත. එහෙත් වජිර ඔහුගේ නායකයාට ජනාධිපති රනිල්ට පමණක් උත්සව අවස්ථාවට සහභාගි වන ලෙසට දැනුම්දීමක් කර තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයා වජිරගේ කොළඹ නිවෙසට පැමිණියේය.

වෙනත් කිසිවකුට මේ අවස්ථාවට ආරාධනා කර නොතිබුණත් එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, මහ ලේකම් රංගේ බණ්ඩාර, ජාතික සංවිධායක සාගල රත්නායක පැමිණ සිටියහ. වජිර පක්ෂයේ සභාපති නිසා උපන්දිනය දැනගෙන ඔවුන් පැමිණියා දැයි දන්නේ නැත. එසේ වජිරගේ උපන්දිනයට පුරුදු පරිදි පැමිණෙන මහාචාර්යවරුන් සහ වෘත්තීයවේදීන් කිහිපදෙනෙක් පැමිණ සිටියහ.

පැමිණ සිටි අය සඳහා පමණක් රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැත්විණි.

ජනාධිපතිවරයා මහාචාර්යවරුන් සමඟ දිගු සාකච්ඡාවක යෙදී ඇත.

අමරවීර හදන අලුත් පක්ෂය

අපි ශ්‍රී  ලංකා නිදහස් ඒකාධිපති පක්ෂයෙන් අයින්වෙලා ශ්‍රී  ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හදනවායි ශ්‍රී ලනිපයේ ජේ‍යෂ්ඨ උප සභාපතිවරයකු වන ඇමැති මහින්ද අමරවීර කියයි.

ඉකුත් සතියේ පැවැති පක්ෂ නායක රැස්වීම අවසානයේ එළියට එමින් අමරවීර එසේ කියද්දී ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින වනවිට ශ්‍රී ලනිපයේ මන්ත්‍රිවරු 6 දෙනෙක් ආණ්ඩුවේ රාජ්‍ය ඇමැති ධුරවල දිවුරුම් දුන්හ. මේ පිරිස ශ්‍රී ලනිපයෙන් ඉවත්වීම අමරවීර හදනවා කියන අලුත් පක්ෂයට යනවාදැයි කියන්න දන්නේ නැත.

“සර් ඔහෙම අඬන්න පක්ෂ මොකටද? මගේ පක්ෂය සජබ ගත්තා. එහෙනම් මමනේ අඬන්න ඕනෑ”යි ඩයනා ගමගේ මන්ත්‍රිවරිය අමරවීර ළඟම සිටි නිමල් සිරිපාල ද සිල්වාට කීවාය.

“ඔය පොඩි පක්ෂවලට එළියට බැහැලා ඡන්දයක් ඉල්ලන්න බෑ. එහෙම ඉල්ලුවත් වෙනදේ බලාගන්නකො. කිසි කෙනෙක්ට පාර්ලිමේන්තු එන්න බැහැ”යි ඩයනා කීවේ අලුත ගොඩනඟාගත් පක්ෂවලට කළ කෝචොක් එකක් දැයි දන්නේ නැත. නිමල් “ඒක ඇත්ත”යි කියමින් ඩයනාගේ කතාව අනුමත කළේය.  

කොරේ පිටට මරේ රාජ්‍ය ඇමැතිලා 37යි

රටම බංකොලොත් වී ඇති මොහොතක නව රාජ්‍ය ඇමැතිවරුන් 37 දෙනකු පත්කිරීමට විරෝධය දක්වමින් සජබ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව යෝජනාවක් සම්මත කර එයට අදාළ මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර තිබිණි.

රට බංකොලොත් වී ජීවන වියදම අහස උසට නැඟ ඇති මොහොතක ආණ්ඩුව අත්තනෝමතික ලෙසත්, සදාචාර විරෝධී ලෙසත් නව රාජ්‍ය ඇමැතිවරුන් 37 දෙනකු පත්කිරීම රටට දරාගත නොහැකි මෙන්ම රට ප්‍රපාතයට තල්ලුකර හැරීමක් ලෙස සජබ හඳුන්වා තිබිණි. මෙය පුරවැසි අරගලයේ පරමාර්ථ උල්ලංඝනය කිරීමක් ලෙසද හඳුන්වා ඇත.

කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මරික්කාර් මන්ත්‍රිවරයා අලුතින් පත්කළ රාජ්‍ය ඇමැතිවරුන් නම් වශයෙන් සඳහන් කරමින් ඔවුන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනාද එකින් එක අනාවරණය කර ඇත. එසේ චෝදනාවලට ලක්වූ අය අතර ශෂීන්ද්‍ර රාජපක්ෂ, පිල්ලෙයාන්, සනත් නිශාන්ත, ප්‍රසන්න රණතුංග, ඩයනා ගමගේ රාජ්‍ය ඇමැතිවරුන්ගේ නම්ද ප්‍රකාශ වී තිබිණි.

අශෝක් අබේසිංහ මන්ත්‍රිවරයා ජනාධිපති ගැන සඳහන් කරමින් අරගලයට මුවාවෙලා තමයි රනිල් ජනාධිපති වුණේ. දැන් ගුටිකන්න වෙලා තියෙන්නේ රාජපක්ෂලාට නෙවෙයි අරගලකරුවන්ට බව පවසා සිටී.

සජබ නායකයා ආණ්ඩුවට චෝදනා එල්ල කිරීම, පහරදීම හා විවේචන කිරීමේ අඩුවක් නැත. මේ වෙලාවේ රට බරපතළ විදියට කඩාගෙන වැටිලා තියෙන්නේ. ජීවන වියදම නැඟලා. ජනතාවට ඔළුව උස්සන්න බැරි තරමට තිබෙන වෙලාවක ආණ්ඩුව අලුතින් රාජ්‍ය ඇමැතිවරු 37ක් පත් කරනවා. මේක මොනතරම් පිළිකුල් සහගත දැයි ඔහු ප්‍රශ්න කළේය.

කලාකරුවන්, මාධ්‍යවේදීන් දුටු තැන අල්ලන ආණ්ඩුවක්.

දියත උයන පර්ෂදයේදී අත්අඩංගුවට ගත් කලා ශිල්පිනි දමිතා අබේරත්න රඳවා සිටි කොටුව පොලිසියට ගොස් ඇයගේ සුවදුක් සෙයා බලා පැමිණ කීවේ “ආණ්ඩුවට තරුණයන්, මාධ්‍යවේදීන්, කලාකරුවන් පෙන්නන්න බෑ. එයාල දුටු තැන අල්ලන්න තමයි ආණ්ඩුව හදන්නේ. මේක තමයි ආණ්ඩුව දීලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදය” යැයි කීවේය.

මහ ගෙදරට පැමිණි හරීන්

එජාප 76 වැනි සංවත්සරය පැවැත්වීමට දින දෙකකට පෙර පක්‍ෂ නායක ජනාධිපති ඔහුගේ නිවෙසට නිලධාරි මණ්ඩලය කැඳවා තිබුණේ සංවත්සරයේ වැඩකටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමටය. එම හමුවට නිලධාරියකු නොවන අයකුද සහභාගි වී සිටියේය. ඒ එජාපයේ හිටපු සාමාජිකයකු මෙන්ම සජබේද සාමාජිකයකු  හරීන් ප්‍රනාන්දුය. සංවත්සර උත්සවය සංවිධානය කිරීමට භාරගෙන තිබුණේද හරීන්ය.

පක්‍ෂ නායකයා සමඟ සාකච්ඡාවට සහභාගි වී සිටි පිරිස අතර සිටි කීපදෙනකු “හරීන් දැන් ඔහොම ඉඳලා හරියන්නේ නෑ. පක්‍ෂ සාමාජිකත්වය ගන්න ඕනෑ” කියද්දී “ළඟදීම එනවා. ළඟදීම එනවා”යි ප්‍රතිචාර දැක්වීය.

එජාප සමුළුව ඇමැතූ ඔහු කීවේ තමා යළි මහ ගෙදරට පැමිණි බවත්, නැවත නොයන්නම ආ බවත්ය.

බෙනට් රූපසිංහ