ඉර එළිය අධික ශ්‍රී ලංකාවේ සෑම තුන් දෙනෙකුගෙන් අයෙකුට විටමින්-D ඌණතාව

0
174

සූර්යාලෝකයට නිරාවරණය වන විට සමෙහි විටමින් D නිපදවෙන බව අප කුඩා කාලයේ පටන් ඉගෙන ගෙන තිබෙන විද්‍යාත්මක කරුණක්.

එහෙත්, වසර පුරා ම හොඳින් හිරු එළිය ලැබෙන සමකාසන්න රටක් වන ශ්‍රී ලංකාවේ සිදු කර ඇති සමීක්ෂණ මගින් හෙළිවන තොරතුරු ඇතැම් විට ඔබ විමතියට පත් කරන්නට ඉඩ තිබෙනවා.

එක් සමීක්ෂණයකට අනුව, ලංකාවේ නාගරික ජනගහණයෙන් සෑම තුන් දෙනෙකුගෙන් ම එක් අයෙකු (31%) විටමින් D ඌණතාවයෙන් (Vitamin D Deficiency) පෙළෙන අතර අඩකට වඩා (59%) පිරිසකගේ ශරීරයේ විටමින් D මට්ටම ප්‍රමාණවත් නැහැ (Vitamin D Insuficiency).

දකුණු පළාතේ කාන්තාවන් අතර සිදු කළ සමීක්ෂණයකිනුත් මෙයට සමාන ප්‍රතිඵල ලැබී ඇති අතර අඩකට වඩා වැඩි පිරිසකගේ (56%) විටමින් D මට්ටම ප්‍රමාණවත් නැති බව බව තහවුරු වී තිබෙනවා.

වයස 10 -18 අතර පාසල් සිසුන් අතර ද ආසන්න වශයෙන් අඩකගේ පමණ (46%) විටමින් D මට්ටම ප්‍රමාණවත් නැහැ.

අපව ආසාදනවලින් ආරක්ෂා කරන, ප්‍රතිශක්තිය උපරිම මට්ටමෙන් පවත්වා ගැනීමට උපකාරී වන, ශ්වසන රෝග වළක්වාලන, ශක්තිමත් අස්ථි සඳහා අත්‍යවශ්‍ය, මාංශ පේශිවල මෙන් ම මොළයේ ක්‍රියකාරීත්වයට වැදගත් වන, කෙටියෙන් කිවහොත් සෞඛ්‍ය සම්පන්න ක්‍රියාශීලී ජිවිතයකට ඉතා වැදගත්වන පෝෂකයක් මෙලෙස ඌණ වීම අපට සුළු කොට තැකිය හැකි තත්ත්වයක් වන්නෙ නැහැ.

හිරු එළියෙන් නැහැවෙන එළිමහනේ සක්‍රීය ජීවිතයකට හුරු වී සිටි අපේ මුතුන්මිත්තන් ගත කළ ජීවන රටාව වෙනස් වෙමින් වැඩි වැඩියෙන් නිවාස / ගොඩනැගිලි අභ්‍යන්තරයේ රැඳී සිටින්නට අප හුරු වී සිටීම මෙයට එක් හේතුවක් වන්නට ඉඩ තිබෙනවා.

සාලයා, සූඩයා, හුරුල්ලන්, බෝල්ලු වැනි තෙල් සහිත මත්ස්‍යයන්, බිත්තර කහමදය, රතු මස්, සත්ව අක්මාවල (පීකුදු) මෙන් ම සහ පිටතින් විටමින් එක් කරන ලද ආහාර වර්ග වල විටමින් D අඩංගු වන නමුත් දෛනික අවශ්‍යතාවට සරිලන තරම් ප්‍රමාණයක් අප අතරින් බොහෝ දෙනෙකුට එදිනෙදා ආහාර රටාව තුළින් ලැබෙන්නේ නැහැ.

එම නිසා ඉහත කී ආහාර හැකි තාක් කෑම වේලට එකතු කරගන්නා අතරේ ම අප මුලින් සඳහන් කළ පරිදි හිරු එළි ට නිරාවරණය වීමෙන් දිනපතා අවශ්‍ය විටමින් D ප්‍රමාණය සිරුර තුළ ම නිපදවා ගැනීම කළ හැකි ආකාරය ගැන දැනුවත් වීම සහ ඒ අනුව ක්‍රියාත්මක වීම වැදගත්.

පවත්නා ආර්ථික වශයෙන් ගැටලුකාරී වාතාවරණය තුළ මෙය කාලීන වැදගත්කමකින් යුතු විකල්පයක් ද වනු ඇති බව නොඅනුමානයි.

ඒ සඳහා ඔබ, එදිනෙදා භාවිත කරන සාමාන්‍ය ඇඳුමෙන් සැරසී, උදෑසන 10ත් සවස 3ත් අතර විනාඩි 15 – 30 අතර කාලයක් හිරු එළියට නිරාවරණය වීම කළ යුතු වෙනවා.

ශරීරයට අවශ්‍ය සම්පූර්ණ විටමින් D ප්‍රමාණය නිපදවා ගැනීමට නම් මේ ක්‍රියාවලිය දිනපතා සිදු කළ යුතු යි.

මේ හිරු එළියට නිරාවරණයවන කාලය අතරතුර ව්‍යායාම, ගෙවතු වගාව හෝ වෙනත් ඕනෑ ම ඔබ කැමති කටයුත්තක යෙදෙන්නත් හැකියාව තිබෙනවා.

යම් සමේ රෝග තත්ත්වයක් නිසා ඔබට හිරු එළියට නිරාවරණය නොවන ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති නම් මේ ක්‍රමය ඔබට සුදුසු වන්නේ නෑ​​.

ඔබ යම් රෝගයක් සඳහා දිගු කාලීනව ඖෂධ ලබා ගන්නා කෙනෙක් නම්, හිරු එළියට නිරාවරණය වීමේ ගැටලුවක් තිබේ දැයි ඔබේ වෛද්‍යවරයාගෙන් කල් ඇතිව විමසා දැන ගැනීමත් වැදගත් වනවා.

යම් හෙයකින්, හිරු එළියට නිරාවරණය වීමේදී සමෙහි අපහසුතාවන් ඇති වේ නම්, එය වහා ම නවතා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් වැදගත්.

අභියෝග හමුවේ තවත් සවිමත් වෙමින් නිරෝගීමත් සහ ශක්තිමත් පුරවැසියන් බවට පත්වන්නට මේ නොමිලේ ලැබෙන මහඟු දායාදය අපතේ නොහැර භාවිත කරන්නට ඔබ කටයුතු කරනු ඇතැයි අප බලාපොරොත්තු වනවා.

  • සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය