IMF සමඟ එකඟතාවක් මිස ගිවිසුමක් නෑ

0
9

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දැනට ඇත්තේ එකඟතාවක් මිස ගිවිසුමක් නොවන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ඊයේ (8දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

පාර්ලිමේන්තුවේදී ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි අනුර කුමාර දිසානායක විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභානායකවරයා මේ බව පැවැසීය.

මන්ත්‍රි අනුර කුමාර දිසානායක,

මේක හුදු ඉඩම් ඔප්පුවක හුවමාරුවක් වගේ ප්‍රශ්නයක් නෙවෙයි. අපේ සමස්ත ආර්ථිකය හා ජන ජීවිතය සමඟ බැඳුණු ගිවිසුම් සහගත ප්‍රශ්නයක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති  එකඟතා පිළිබඳව අප දැන ගත යුතුයි. පුද්ගලයන් දෙදෙනෙක් හෝ ආයතන දෙකක් අතර ගනුදෙනුවක් නොවෙයි. පාර්ලිමේන්තුවටත් ජනතාවටත් හංගලා මොකක්ද මේ කරන්න හදන්නේ. එහෙම හංගලා ගිවිසුම්ගත වෙනවා කියන්නේ ජන ජීවිතයට අතිශය හානිකරයි කියන එක.

සභානායක සුසිල් ප්‍රේමජයන්ත්,

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය හා රාජ්‍ය නිලධාරීන් අතර ගිවිසුමක් අස්සන් කර නෑ. ඒත් ශ්‍රී  ලංකා රජයේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කාර්ය මණ්ඩලය අතර එකඟතාවකට පැමිණ තිබෙනවා. ඒ අනුව දැනට තියෙන්නේ එකඟතාවක් විතරයි. ගිවිසුමකට අස්සන් කර නෑ.

මන්ත්‍රි මහාචාර්ය ජී.එල්. පීරිස්,

ඒ එකඟත්වයන් ක්‍රියා කිරීමට විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබීමට පෙර රජයට යම් යම් පියවර ගැනීමට සිදුවෙනවා. නොවැම්බර්  2023 අය-වැය ඉදිරිපත් කරන අවස්ථාවේදී එකඟ වූ සමහර දේවල් ක්‍රියාවට නැංවීමට  තව මාස දෙකකින් ආරම්භයක් කරනවා. ඒ පියවර සෘජුව ජන ජීවිතවලට බලපානවා.

මන්ත්‍රි  අනුර කුමාර දිසානායක,

එහෙනම් විධායක මට්ටමේ දේවල් එනතෙක් මේ මේ දේවල් ක්‍රියාත්මක කරන්නේ නෑ කියලා තමුන්නාන්සේලා එකඟ වෙන්න ඕනේ.

සභානායක සුසිල් ප්‍රේමජයන්ත්,

එකඟතාවක් හා ගිවිසුමක් අතර වෙනසක් තිබෙනවා. ගිවිසුමකට අස්සන් කළ පසු තමයි පාර්ශ්ව පාර්ශ්ව අතර බැඳීම් ඇතිවෙන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,

ගිවිසුම්, එකඟතාව වගේ වචන හරඹ කරන්න එපා. මේක සභාගත කරන්න. අපිට එකට වැඩ කරන්න නම් අපි ඒවා දැනගන්න ඕනෑ. සාර්ව ආර්ථික විචල්‍යයන්ට ගන්න තීරණ මොනවද කියලා අපි දැනගන්න ඕනෑ. ඔබ පී.එච්.ඩී. එකක් ගත්ත පුද්ගලයෙක්. කවුරුවත් දෙන කොළ කෑලි ගෙනත් මෙතැන කියවන්න එපා.

අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි