සාක්ෂිකරුවන්ට බලපෑම් කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්න

0
14

කලා වැව සහ නාමල් උයන ප්‍රදේශ අවට  සැරිසරමින් සිටි බරණ දළ ඇතාට විදුලි සැර වද්දවා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පවතින නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරියට බලපෑම් කරන විත්ති පාර්ශ්වයේ යමකු වේ නම් ඔවුනට එරෙහිව වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ නීතිමය පියවර ගන්නා ලෙස කැකිරාව දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් සමන් වැරණියගොඩ මහතා ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ වන සත්ත්ව අඩවි සහකාර එච්.එම්.එස්. බණ්ඩාර මහතාට නියෝග කළේය.

මහෙස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ බරණ දළ ඇතාට විදුලිසැර වද්දවා මරා දැමීමේ සිද්ධියට අදාළ නඩුව කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීය.

මෙහිදී වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් වන සත්ත්ව අඩවි සහකාර එච්.එම්.එස්. බණ්ඩාර මහතා අධිකරණයට කියා සිටියේ බරණ දළ ඇතාට විදුලිසැර වද්දවා මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරිය ඩී.එම්. කුසුමාවතී යන අයට විත්ති පාර්ශ්වයෙන් බලපෑම් එල්ල වන බවට වන පැමිණිලි දෙකක් ගල්කිරියාගම පොලිසියට දැනටමත් යොමුකර ඇති බවයි. අදාළ පැමිණිලි විභාග කර ඇති බවද අධිකරණයට කියා සිටි බණ්ඩාර මහතා සාක්ෂිකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන්ට එරෙහිව සුදුසු පියවරක් ගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම අපරාධය සම්බන්ධයෙන් චෝදනා ලැබ දැනට ඇප මත මුදාහැර සිටින්නේ ගල්කිරියාගම පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු වන ඩී.ජේ.එම්. අජිත් කුමාර ජයසුන්දර, කුමුදු ප්‍රියන්ත නොහොත් බණ්ඩාර, නුවන් සංජය ඒකනායක සහ නිපුන දිමුතු චතුරංග දිසාරත්න යන සැකකරුවන්ය. නඩුව ලබන දෙසැම්බර් 07 වැනි දින කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය.

අනුරාධපුර අධිකරණ _ උපාලි ආනන්ද