සබඳ අපි කුදු නොවෙමු…

0
142

“සෞභාග්‍යයේ දැක්ම” ඉදිරිපත් කරමින් ගෝඨාභය රට ගොඩනඟන්නට ජනාධිපති වරමක් ඉල්ලා සිටීමත්, ඊට ජනතාව ඉතා ඉහළ ප්‍රතිචාරයක් දැක්වීමත් රෑ දුටු සිහිනයක් තරමටම ශූන්‍ය වන්නට වැඩි කලක් නොගියේය. එම බලවේගය පොහොට්ටුව වටා එක්රොක් වූවක් බවද අමතක කළ යුතු නැත. එහෙත් බොහෝ දෙනාට අමතක වූ දෑ තවමත් තිබෙන බව සිහිපත් කරමින් ඡන්දදායකයකු දැක්වූ අදහසක් මෙහි සටහන් කිරීම වැදගත්ය.

“මහින්ද අපේ ඡන්දය පොකට් ගැහුවේ ‘ආසියාවේ ආශ්චර්යය’, ‘සුබ අනාගතයක්’ දෙනවා කියලයි. ගෝඨාභය කිව්වේ ‘සෞභාග්‍යයේ දැක්ම’ දෙනවා කියලයි. අපරාදේ කියන්න බැහැ. ඒ දෙක තුනම එකට එකතු කරලා හොඳටම දුන්නා මදි නොකියන්නම. ඒකේ ප්‍රතිඵල අපි අද භුක්ති විඳිනවා. ජනතාවගෙන් ලක්‍ෂ 63ක් ආහාර අර්බුදයක. ආශ්චර්ය කොහොමද කියනවා නම් සෑම පවුල් 5කින් හතරක්ම ආහාර වේලක් මඟහරින තැනක. එහෙම කියන්නේ ලෝක ආහාර වැඩසටහනේ අලුත්ම වාර්තාවෙ”

මහින්ද හා ගෝඨාගේ බලය ගිලිහී ගිය බවක්  මතුපිටින් පෙනෙන්නට තිබුණත්, ජනතාව එසේ ප්‍රතිචාර දක්වමින් සිටියත්, තවමත් මහින්ද ඇතුළු රාජපක්‍ෂලාගේ අවතාර ලංකා දේශපාලනයේ හොල්මන් කරන බව නොරහසකි. එය තහවුරු කරගන්නට වන මහජන මතයන් වෙනදාටත් වඩා ඍජුව අප වෙත ඒම ප්‍රකාශ වීම මෙහිදී වැදගත්ය.

“දැන් ඔබට පේනවා ඇති විවිධ සන්ධාන, පක්‍ෂ, කණ්ඩායම් ලහිලහියේ අලුත් වෙමින් අලුත් ගමනක් යන්නට හදන සූදානම. මේක තනිකරම නාඩගමක්. ඇත්තටම කියනවා නම් එක තැනකින් මෙහෙයවන තිරපිටපතකට අනුව නළුවන් රඟන නාට්‍යයක්. මහජන මතය පොහොට්ටුවාදීන්ට හා පොහොට්ටු නායකයන්ට එරෙහිව තවමත් ප්‍රබලයි. ඒ නිසා පොහොට්ටු ලකුණ යටතේ ඡන්ද ඉල්ලන එකත් තවදුරටත් බෙල්ල ගහලා යන වැඩක්.

එහෙම නම් ඊළඟ පාර ආසනයක් දෙකක් බේරගෙන යාන්තම් ජාම බේරාගන්න හදන උන්දැලාට අලුත් පක්‍ෂ හා සන්ධාන ඉතා වැදගත්. මේ අය පොහොට්ටුවෙන් බත් ටික කාලා, කට පිහදාගෙන එළියට ඇවිත් “අපි අලුත්” කියලා කියනවා වගේ වැඩක් මේක. මේ ‘අලුත්’ය කියන අය අලුත් නෑ. මේ ක්‍රමය පවත්වාගෙන ගිය, ඒ නිසා ඇනගත්ත, කසකාරයොම තමයි මේ. හරියටම කියනවා නම් අලුත්ය කිව්වට මේවා ‘අලුත් බෝතල්වල දාපු පරණ වයින්’ රැවටෙන්න නරකයි ඕවාට.”

පොහොට්ටුව වටා උන්, යම් වාමාංශික කියැවීමක් සහිතව ඒ මඟ ගිය උන්දැලාද, සටන පාවා දී ජඩ රඟපෑමක් කර කොකා පෙන්වූ පසු ඉන් ඉවත් වූ වාමවාදී ප්‍රබල ක්‍රියාකරුවකුගේ මතය පෙළගැස්වූයේ එලෙසින්ය.

“එහෙම නම් පොහොට්ටුව කොයිබටද? ඒක ආයෙත් පණගැහිලා ඒවිද? ඒක වෙන්නේ කොහොමද?”

පුරවැසියකු හැටියට යමකුට එසේ අසන්නට සිත් විය හැකිය. ඒ අනුව මේ කියන නරාවළ තුළට ඇද දැමුණු ජනතාවක් යළිත් පොහොට්ටුවට ඡන්දය දෙන්නට තරම් මන්දබුද්ධිකයන් නොවන බව කල්පනාවට ගත යුතුය. එසේ නම් පොහොට්ටුවේ ඡන්ද ගිණුමේ අගය කාට හිමිවෙයිද යන්නද විමසිය යුතුය.

“පොහොට්ටුව ඇතුළට වෙලා මේ ඔක්කෝටම උඩගෙඩි දුන්නු උදවියනේ දන්නේ කොයි තරම් ගසා කෑවද? කොයි තරම් පහළට රට ඇදලා දැම්මද කියලා. ඉතින් ඒ රඟදක්වන උදවිය දැන් කරන්න තියෙන්නේ අපි පොහොට්ටුව එක්ක නෑ. අපි වෙන ගමනක යන්නෙ කියලා ජනතාව ඇන්දවීමයි. දැන් කෙරෙන්නෙ ඒකයි. අපි එයාලා එක්ක දැන් නෑ කියලා රට වටා කිය කිය ගිහින් තීරණාත්මක ඡන්දයක් ආපු වෙලාවට යස අගේට මේ සුන්බුන් සන්ධාන, පක්‍ෂ පොහොට්ටුව යටතට හෝ වෙනත් නමකින් හෝ ලකුණකින් එකතු වෙනවා. ඒ එකතු වෙලා ජනතාව ආයෙත් රවට්ටලා ඡන්දය අරන් ඒ අයත් එක්කම පුළුවන් නම් ආණ්ඩුවක් හදලා නිදි වදින්නයි හදන්නේ”

වෙන්න යන දේ ඉවෙන් වගේ වටහා ගත් යමක් තේරුම් ගත හැකි ඡන්දදායකයකු කීවේ එලෙසය. රට තුළ වන පොදු මතය අනුව ඉතා ප්‍රබල ආණ්ඩු විරෝධී රැල්ලක් තිබෙන බැව් පෙනෙයි. එහි අති බහුතර ජනතාවක් “පොහොට්ටුවට හා රාජපක්‍ෂවරුන්ගේ කෙරුවාවට විරුද්ධය.” එසේම රාජපක්‍ෂවරුන්ට උදවු කරන බලවේගවලට හා කණ්ඩායම්වලටත් පක්‍ෂවලටත් පක්‍ෂ නායකයන්ටත් දැඩිව එරෙහි වන තැනකය.

රනිල් මෙය තේරුම් නොගෙන ඔහේ ආණ්ඩු කරගෙන යන්නට හදනවාද නොවේ. රනිල්ද රාජපක්‍ෂවරුන් රැකගන්නා ප්‍රබල  සාමාජිකයකු බව පොදුවේ පිළිගන්නා සත්‍යයකි. ජනතාව අතර රනිල්ට එරෙහිව තිබෙන මතයේ ප්‍රබලම සාධකය නම් ඔහු මුළුමනින්ම “රාජපක්‍ෂවරුන්ට පක්‍ෂ ඔවුන්ගේ රැකවලා ය” යන්නය.

“නෑ රනිල් එහෙම නෑ. එයා හදන්නේ පොහොට්ටුවට උදවු කරනවා වගේ ඉඳලා ඒකෙ අයත් එකතු කරගෙන යූ.එන්.පී. ආණ්ඩුවක් හදාගෙන ගේමක් ගහන්නයි”

එජාපයට හිතවත් ප්‍රබලයෙක් එසේ නිතරම කිය කියා යන්නේ ඔවුන්ගේ දැක්ම හා ඉලක්කයට අනුව බැව් පෙනෙයි. එහෙත් සැබැවින්ම රනිල්ට එහෙව් එජාප ආණ්ඩුවක් හදා ගන්නට ජනතාව වරමක් දෙයිද යන්න කිව නොහැකිය. එහෙත් ඔහු පුන පුනා එජාප 76 වැනි සංවත්සරයේදී කීවේ,

“මට එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායමක් හෝ ආණ්ඩුවක් නැහැ. අපි සියලු දෙනාම එකතු වී මේ ආණ්ඩුව ගෙන යනවා. සජබ, පොහොට්ටුව, ජවිපෙ, දෙමළ සන්ධානය, එජාපය මේ මොහොතේ එක මවකගේ දරුවන් සේ එකතු විය යුතුයි. අපි හදන්නේ රට ශක්තිමත් කර අලුත් පාලනයක් ගෙනයන්නයි.”

රනිල් කියන විධියට ඔහුට හෝ ඔහුගේ පක්‍ෂයට බලයක් නැති අතරේ දැන් ජන පදනමක්ද නැත. එසේ නම් ඔහු පොහොට්ටුවේ ඡන්ද පදනම මත තවදුරටත් විශ්වාසය තබා සිටිය යුතුය. රනිල් හදන්නේ එහෙම රැකෙන ගමන් පොහොට්ටුවේ අවශ්‍ය මිනිසුන් ඩැහැගන්නටත්, එම ඡන්ද මතින් පාර්ලිමේන්තුවේ එජාප මන්ත්‍රි සංඛ්‍යාව ඡන්දයකදී සමානුපාතික ක්‍රමයට වැඩිකර ගන්නටත් විය හැකිය.

උපායක් වශයෙන් එය එසේ වුවත් එලෙස වූ විට රනිල්ගේ එජාපයේ අපේක්‍ෂකයන්ට යම්කිසි දවසක, පොහොට්ටුව ඇතුළු සන්ධානයෙන් තරග කරන්නට වන තත්ත්වයක් හමුවේ නාම යෝජනා අස්සන් කරන්නට, ලැයිස්තුවට නම දමා ගන්නට බැසිල් ළඟට ගොස් රාජපක්‍ෂවරුන් ළඟට සරණ පතා යන්නට සිදුවන්නේය. ඩී.එස්. සේනානායකයන් ඇරැඹූ, සර් ජෝන් කොතලාවල, ජේ.ආර්., ප්‍රේමදාස වැනි දැවැන්ත නායකයන් බිහිකළ එජාපයේ සාමාජිකයන්ට ජනතාව එපා යැයි කියන පොහොට්ටු නායකයන් ළඟට ගොස් වරම් ඉල්ලන්නට සිදුවී නම් එය එම පාක්‍ෂිකයන් මොන හිතින් දරා ගනීදැයි සිතාගන්නට පුළුවන. තවමත් එජාපය හැර නොගිය පැරැණිම සාමාජිකයකු සිදුවෙමින් තිබෙන දේ ගැන කලකිරීමකින් කියූවක් මෙසේය.

“මේක උගුලක්. පොහොට්ටුවේ නායකයෝ ජනතාව අතරට එන්න බයයි. තවමත් ජනතා විරෝධය ප්‍රබලයි. පොහොට්ටුවට ඡන්දෙ දුන්නු මිනිස්සුම පාරට බැහැපු හැටි ඔය කොයි කාටත් වඩා හොඳින් පොහොට්ටුවේ නායකයෝ දන්නවා. එහෙම නම් ඒ අය බළල්ලු ලවා කොස්ඇට බාවගන්නයි මේ හදන්නෙ. රනිල් ලවා තමන්ට කරළියට එන්න අවශ්‍ය පසුබිම, හැකියාව, අවස්ථාව මතුකර ගනිමින් ඉන්නවා. ඒ අය රනිල්ව මේකට පාවිච්චි කරනවා. රනිල් ඔක්කොම එකතු කරගෙන ඡන්දයකට යනවා කියලා කියන්නේ ඒක ඇතුළේ රිංගගත්ත පොහොට්ටුකාරයොත් ගොඩ යනවා කියන එකයි. එජාපයට ආයෙත් පැන්න අය ඒක එහෙමම කරවන්න හරියට මහන්සිත් වෙනවා. සිරිකොතයි, පොහොට්ටු කාර්යාලයයි අතර ගමන ඒ අයට දැන් මහගෙදරට යන පාර වගෙයි. රනිල් හරහා ඔක්කොම එකතු කරගෙන යන ගේම් එක පිටිපස්සේ ඉන්නේ බැසිල් වෙන්න පුළුවන්. ඉතින් කොහොමද අපි රටක් හදන්නේ. ඒකෙන් තව තවත් යූ.එන්.පී.ය අපකීර්තියට පත් වෙනවා. මේවා වෙන්න ඕන දේවල් නෙවෙයි. හරිම කනගාටුයි මේ දැවැන්ත පක්‍ෂයට කරපු අපරාදෙට.”

එජාපයේ පැරැණිම පාක්‍ෂිකයකු එසේ කියන අතර රනිල්ට එය නෑසේ නම් එය සිදුවෙමින් තිබෙනවා වන්නටද පුළුවන. එහෙත් රනිල්ට ජවිපෙ හෝ සජබය කඩා කවුරුන් හෝ මේ විපතට ඇද ගන්නට හැකි වුවහොත් ඊට ඇදී යන පුද්ගලයන්ද බලා සිටියදීම දේශපාලනික වශයෙන් විනාශ වන බව ඉතිහාසය අනුවද කිව හැකිය.

රනිල් යන්නේ ඉලක්කයක් වෙත හඹා යෑමකට වුවද එහි ප්‍රතිඵලය බොහෝ දෙනාට අවාසිදායක වන තැනකය. ඔහු හා ඔහුව ගොඩනැඟූ එජාපය නැඟිටුවන්නට හදන උදවිය “කඳු” මෙන් නැඟී සිටින්නට කතා කළද ඔවුන්ට “කඳු” යන්න පවා කියවා ගන්නට බැරිව එය “කුදු” ලෙස පෙනීමත්, දැකීමත් කනගාටුදායක තත්ත්වයකි. ඒ අනුව ඔවුන්ට තමන් වටා සිටින දැවැන්ත කපුටු රැළක සෙවණැල්ල හා පොහොට්ටු බළඇණිය මැද “සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැඟෙන” යන්නවත් හරිහැටි ගළපා ගන්නට බැරිව “කඳු” කුදු වීම පුදුමයට කරුණක් නොවේ. එජාප පාක්‍ෂිකයා ඒවා දැක දැන් හඬා වැටෙන තැනකය. ඒ හඬා වැටෙන තැන කපුටන්ට හා පොහොට්ටුවේ නායකකාරකාදීන්ට රජමඟුල්ය යන්න තහවුරු කෙරෙන ඡන්දදායකයකුගේ මතය මෙසේය.

“කඳු වගේ නැඟී හිටපු නායකයන් එජාපයේ හිටියා. ජේ.ආර්., ප්‍රේමදාස, ලලිත්, ගාමිණී, රොනී වගේ අය කඳු වගේ උස් වූ දැවැන්ත මිනිසුන් මිස මේ වගේ කුදු වෙච්ච නිවටයන් නොවේ. මොක්කුද මුන්. රොඩ්ඩොනේ.”

එබැවින් රනිල් හරි නායකයකු නම් පළමුව යූ.එන්.පී.කාරයා රැකගත යුතුය. ඔවුන් එකතු කරගෙන තමන් හා යා හැකි සමීපතමයන් විනාශ කරනවා වෙනුවට ඔවුන් රැකගෙන දිනාගෙන අනාගත ලංකාවට නායකයන් රොත්තක්ම හදන්න ඕනෑය. දැන් රනිල් කරන්නේ තමන්ද දේශපාලන ක්‍රීඩාවේ අවසන් ඕවරය දක්වා ක්‍රීඩා කර ලකුණු ලබාගන්නට ගොස් එම ක්‍රීඩාවෙන්ද පැරැදී තම පිලද පාවා දී, අසරණ කර, පොහොට්ටුවට බලය ලබා දීමක්ද යන්න සිහිකට යුතුය. ඒ තරමටම මේ ගමන විනාශකාරී බව පොදු ජනතාවගේ මතය ය.

සජිත් රෝහිත ලියනගේ