සතොස සේවකයන් දේශපාලන කටයුතු වලට යෙදීමේ ජොනීට එරෙහි නඩුවේ අධිචෝදනා භාරදෙයි

0
8

සමුපකාර හා වෙළෙඳ අමාත්‍යවරයාව සිටිමින් රාජකාරියට පරිභාහිරව සිය සේවකයන් දේශපාලන කටයුතු සඳහා යෙදවීමෙන් රජයට පාඩුවක් කළැයි අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට ඊයේ (08දා) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ අධිචෝදනා භාරදුන්නේය. ඒ අනුව විත්තිකරුවන් තිදෙනා එක් අයකුට රුපියල් 25,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට විනිසුරුවරයා එහිදී නියම කළේය.

හිටපු සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ටි්‍රයන්තා ප්‍රනාන්දු හා එම ආයතනයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂ කාජා මොහිදීන් මොහොමඩ් ශාකිර් යන විත්තිකරුවන්ට එලෙස අධිකරණය හමුවේ අධිචෝදනා භාරදුනි.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා නියෝජනය කරමින් නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අධිචෝදනා භාරදීමෙන් අනතුරුව මෙම අධිචෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බව විත්තිකරුවන් වෙනුවෙන් වෙනුවෙන් නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

මෙම නඩුව ගොනු කිරීමේදී චෝදනා විමර්ශනය කිරීම සඳහා අල්ලස් කොමිසමේ ලිඛිත අනුමැතියක් ලැබී නොමැති බැවින් ඒ කරුණු සම්බන්ධව මූලික විරෝධතාවක් ලිඛිතව ඉදිරි දින ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවට නීතිඥවරයා අධිකරණය හමුවේ පැවැසීය.

ඒ අනුව මෙම නඩුව ගොනු කිරීම සම්බන්ධයෙන් විත්තියේ මූලික විරෝධතාව සඳහා ලිඛිත දේශන ගොනුකිරීමට ලබන නොවැම්බර් පළමු වැනිදා නඩුව කැඳවීමට විනිසුරුවරයා නියම කළේය.

වර්ෂ 2014 ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා අතර කාලය තුළ සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයාව සිටිමින් රාජකාරියට පරිභාහිර ලෙස සතොස ආයතනයේ සේවකයන් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීමෙන් රජයට රුපියල් එක්කෝටි විසිඅට ලක්ෂ හැත්තෑ හත්දහස් හයසිය අනූහයක (12,877,696.48) පාඩුවක් කළේ යැයි චෝදනා කොට අල්ලස් පනතේ දූෂණය නමැති වරද යටතේ අල්ලස් කොමිසම විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබිණි.

හංසි නානායක්කාර