ශ්‍රී  ලංකාව සමඟින් අවසන් ගැටුමට

0
225

ඇෆ්ගනිස්තානයට එරෙහිව තියුණු ජයක් වාර්තා කළ පාකිස්තානය 11 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකාව සමඟින් වේලාසනින්ම සුදුසුකම් ලබාගත්තේය.

ඒ අනුව ඇෆ්ගනිස්තානය සමඟින් පැවැති මූලික වටයේ තරගයකදී එක් කඩුල්ලක තියුණු ජයක් ලැබූ පාකිස්තානය මෙම සුවිශේෂී අවස්ථාව උදාකර ගනිද්දී ප්‍රබල ඉන්දීය කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම හිස් අතින්ම සිය රටවල් බලා යෑමට සිදුවීම කැපීපෙණිනි.

සාජාහිදී පැවැති පාකිස්තාන-ඇෆ්ගනිස්තාන තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායකයාගේ ආරාධනයෙන් පළමුව ලකුණු රැස්කළ ඇෆ්ගනිස්තානය පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 6කට රැස්කළ ලකුණු 129ට පිළිතුරු සැපයූ පාකිස්තානය පන්දුවාර 19.2කදී කඩුලු 9ක් දැවී එම ඉලක්කය සපුරා ගත්තේය.

කෙසේ වෙතත් මෙහිදී කඩුලු 9ක් දැවී ගොස් පැවැති මොහොතක පාකිස්තානයට තරගයේ අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 10ක් අවශ්‍යව තිබිණි. ඒ අනුව ෆයිසල්ලා ෆාරුකි යොමු කළ තරගයේ අවසන් පන්දුවාරයේ පළමු පන්දු දෙකටම ලෝන් ඕෆ්හි පන්දු රකිමින් සිටි පන්දු රකින්නාගේ හිසට ඉහළින් පිට පිටම හයේ පහර දෙකක් එල්ල කරමින් නසීම් ෂා පාකිස්තානයේ ජය තහවුරු කර ගත්තේය. එහිදී ශ්‍රී  ලංකාව සහ පාකිස්තානය යන කණ්ඩායම් දෙකම ආසියානු කුසලාන අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබා ගත්තේ වසර 8කට පසුව වීමද කැපීපෙනිණි.

මෙම තරගයේ ඇෆ්ගනිස්තානයෙන් හිමිවූ පහසු ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි පාකිස්තානයේ පළමු කඩුල්ල ලෙස නායක බාබර් ආසම් ලකුණු නොලබා දැවී ගිය අතර, ඉන් අනතුරුව ෆකාර් සමාන් දුවද්දී දැවී යෑමකට හසු විය. පාකිස්තානය වෙනුවෙන් මෙම තරගාවලියේදී පිත්තෙන් විශිෂ්ට දායකත්වයක් ලබා දුන් මොහොමඩ් රිස්වාන්ට රැස්කරගත හැකි වූයේ ලකුණු 20ක් පමණි.

පාකිස්තානයේ බිඳවැටුණු ඉනිම ගොඩගැනීම වෙනුවෙන් ප්‍රබල දායකත්වයක් ලබා දුන් ශදාබ් ඛාන් ලකුණු 36ක් වාර්තා කළ අතර, ඉෆ්ටිකාර් අහමඩ් ලකුණු 36ක් රැස් කර ගත්තේය. මොහොමඩ් නවාස්ට රැස්කර ගත හැකි වූයේ ලකුණු 4ක් පමණි. පාකස්තාන ඉනිමේ අවසන් භාගයේදී ප්‍රබල සටනක් දියත් කළ අසිෆ් අලී ලකුණු 16ක් රැස්කර ගත්තේය. පාකිස්තානය ජයග්‍රහණය කරා රැගෙන ගිය නසීම් ෂා නොදැවී ලකුණු 14ක් ලබා ගත්තේය.

මෙම තරගයේ පළමුව ලකුණු රැස්කළ ඇෆ්ගනිස්තානය වෙනුවෙන් හස්රතුල්ලා සාසි ලකුණු 21ක් රැස්කළ අතර, රමනුල්ලා ගුර්බාස්ට රැස්කර ගත හැකි වූයේ  ලකුණු 17ක් පමණි. ඊබ්‍රාහිම් සද්රාන් ලකුණු 35ක් රැස්කළ අතර, කරීම් ජනාත් ලකුණු 15කට දැවී ගියේය. නජිබුල්ලා සද්රාන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 10ක් පමණි. මොහොමඩ් නභි ලකුණු නොලබා දැවී ගියේය.  ඇෆ්ගනිස්තාන ඉනිමේ අවසන් අවධියේදී අස්මුල්ලා ඔම්රාසි නොදැවී ලකුණු 10ක් සහ රෂීඩ් ඛාන් නොදැවී ලකුණු 18ක් රැස්කර ගත්තේය.

මේ අතර මෙම තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ලෙස ශ්‍රී ලංකාව හා පාකිස්තානය අද (09දා) හමුවීමට නියමිතව ඇති අතර, දෙපිල අතර පැවැත්වෙන මෙම තරගය අවසන් මහා තරගයට පුහුණු තරගයක් ලෙසින්ද හැඳින්වීමට පුළුවන. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් එකක් හෝ දෙකක් සිදුකිරීමට ඉඩ ඇති බවද දැනගන්නට ඇති අතර,  ඒ අනුව චරිත් අසලංක වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට පැමිණීමට බොහෝ  සෙයින් ඉඩ ඇති බවද පැවැසේ.

ලකුණු සාරාංශය

ඇෆ්ගනිස්තානය – 129/6

(20) (ඊබ්‍රාහිම් සද්රාන් 35, හස්රතුල්ලා සාසි 21, රමනුල්ලා ගුර්බාස් 17, රෂීඩ් ඛාන් නොදැවී 18, හාරිස් රාවුෆ් 26/2, ශදාබ් ඛාන් 27/1, නසීම් ෂා 19/1, මොහොමඩ් හස්නෙයින් 34/1, මොහොමඩ් නවාස් 23/1)

පාකිස්තානය – 131/9 (19.2)

(ශදාබ් ඛාන් 36, ඉෆ්ටිකාර් අහමඩ් 30, මොහොමඩ් රිස්වාන් 20, අසිෆ් අලී  16, නසීම් ෂා නොදැවී 14, ෆයිසල්ලා ෆාරුකි 31/3, ෆරීඩ් අහමඩ් 31/3)