ශ්‍රී  ලංකාව අපරාජිතව අවසන් පූර්ව වටයට යයි

0
26

ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ ඊයේ (8දා) හොංකොං පිල සමඟින් පැවැති දෙවැනි වටයේ තරගයෙන්ද ජයගත් ශ්‍රී  ලංකා කණ්ඩායම අපරාජිතව එම තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

ඒ අනුව මෙම තරගාවලියේ දෙවැනි වටයේ ‘ඊ’ කාණ්ඩය යටතේ තරගවදිමින් ඊයේ හොංකොං පිල සමඟින් පැවති තරගයෙන් ලකුණු 62-51ක් ලෙස ජය ලැබීමට ශ්‍රී  ලංකා ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබිණි. මෙම ජයග්‍රහණයට අනුව ශ්‍රී  ලංකාව හෙට (10දා) හොංකොං කණ්ඩායම සමඟින් පළමු අවසන් පූර්ව වටයේ තරගය සඳහා මුහුණදීමට නියමිතව ඇත. දෙවැනි අවසන් පූර්ව තරගය සිංගප්පූරුව සහ මලයාසියාව අතර පැවැත්වීමට නියමිතව ඇත.

හොංකොං පිල සමඟින් ඊයේ පැවැති තරගයේදී පළමු කාර්තුවෙන් ලකුණු 20-09ක පහසු ජයක් වාර්තා කළ ශ්‍රී  ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 17-13ක් ලෙස දෙවැනි කාර්තුව ජය ගැනීමට සමත් විය. ඉන් අනතුරුව තෙවැනි කාර්තුවේදී හොංකොං පිල ලකුණු 16-11ක් ලෙස ජය වාර්තා කළද නැවතත් තම සුපුරුදු ක්‍රීඩා රටාවට අවතීර්ණ වූ ශ්‍රී  ලංකා පිල තීරණාත්මක සිවුවැනි කාර්තුව ලකුණු 14-13ක් ලෙස ජය ගනිමින් තරගයේ ජය තහවුරු කරගත්හ.

කෙසේ වෙතත් මෙම තරගාවලියෙ දෙවැනි වටයේදී ශ්‍රී  ලංකාව හමුවේ මලයාසියාව, සිංගප්පූරුව සහ හොංකොං යන කණ්ඩායම් පරාජයට පත්වූ අතර පළමු වටයේදී ඉන්දියාව සහ පිලිපීනය පරාජයට පත් කරමින් ශ්‍රී  ලංකාව දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.