ලක්ෂ 11ක එළ ගවයන් සොරාගෙන ගිය පුද්ගලයා කොටු වෙයි

0
11

නොච්චියාගම, නැකැත්තේගම ප්‍රදේශයේ ගව හිමියකුගේ ගව ගාලේ ගස් බැඳ සිටි රුපියල් එකොළොස් ලක්ෂයක් පමණ වටිනාකමකින් යුත් එළ ගවයන් හය දෙනකු සොරකම් කළ පුද්ගලයකු එම ගවයන් හය දෙනා සමඟ නොච්චියාගම පොලිසිය විසින් පෙරේදා (07දා) අත්අඩංගුවට ගෙන තිබේ.

කිසියම් පුද්ගලයකු විසින් තම ගවයන් හය දෙනෙක් සොරකම් කොට රැගෙන ගොස් ඇති බවට ගව හිමියා විසින් ඉකුත් 06 වැනිදා නොච්චියාගම පොලිසිය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලක් පිළිබඳව කළ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු මත සැකකරු විසින් සොරකම් කළ බව කියන ගවයන් හය දෙනා විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආසන්නයේ කැලෑබද ස්ථානයක බැඳ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

සොරකම රැකියාවක් ලෙස කරන සැකකරු නොච්චියාගම, නැකැත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මේ පිළිබඳව නොච්චියාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එස්. කුමාරසේන මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

අනුරාධපුර _ පර්සි කුරුනේරු