රට හදන තැන

0
93

සමාජ ආරක්‍ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදයේදී ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේදී ඊයේ (8දා) පළ කළ අදහස්පා ර්ලිමේන්තුව අද (9දා) පෙරවරු 9.30ට යළි රැස්වෙයි.

තෙල් – විදුලි ගාස්තු සංශෝධනවලින් ජනතාව මත වැටුණු බරට අපි සේරම වගකියන්න ඕනෑ : – ඇමැති කංචන විජේසේකර

“ඛනිජ තෙල් සංස්ථාවේ හා විදුලිබල මණ්ඩලයේ විවිධ ගාස්තු සංශෝධනය නිසා ජනතාව මත වැටුණු ඒ පිරිවැය පිළිබඳව කතා කරනවා. අපි සියලු දෙනාම ඒකට වගකියන්න ඕන” යැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පැවැසීය.

පක්‍ෂ විපක්‍ෂ සියලු දෙනාම කාලෝචිතව අවශ්‍ය ඒ තීන්දු තීරණ නොගැනීම නිසා අපිට ඉන්ධන ආනයනය කරන්න යන පිරිවැය පිළිබඳව අවබෝධයක් ලබා දෙන්නේ නැතිව දිගින් දිගටම සහනාධාර කියන  මානසිකත්වය ජනතාව තුළ තැන්පත් කරලා මේ රටේ මේ රාජ්‍ය ආයතන සියල්ලම රටට බරක් වුණ ආයතන බවට පත් කිරීමේ වගකීම අපි සියලුදෙනා ගන්න ඕන. ඒකේදී හුඟක් වෙලාවට නිලධාරීන් කෙරෙහි ඇඟිල්ල දික් වෙන්නේ. නිලධාරීනුත් වගකීමක් ගන්න ඕන කොටසක් තියෙනවා.

දේශපාලන තීන්දු හැටියට ගන්න ඕන කොටසකුත් තියෙනවා. විශේෂයෙන්ම මේ ආයතන ගත්තම  මම පිළිගන්නවා එක පැත්තකින් අපි ගාස්තු සංශෝධන නිසි ආකාරව සිදු නොකිරීම නිසා එක පැත්තකින් මේ වගකීම අපි ගන්න ඕන වගේම විශාල බරක් වෙලා තියෙන රාජ්‍ය නිලධාරි ප්‍රමාණය, විශේෂයෙන්ම ඉතාමත්ම ඉහළ වැටුප් ලබන ගමන් ඒ වැටුපට සරිලන දායකත්වයක් ලබා නොදෙන ප්‍රමාණයක් ඉන්නවා. මේ සිදුවීම් නිසා අද අපිට මේ තත්ත්වයට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා.

පසුගිය දවස්වල මේ පාර්ලිමේන්තුව ඇතුළෙත්, ඒ වගේම පිටත සමාජ මාධ්‍ය තුළ මහ ආන්දෝලනාත්මක ප්‍රකාශ බවට පත්වෙලා තිබුණා ඉන්ධන සහනය සහ ගල් අඟුරු ආනයනය කියන එක. මේක අපි පසුගිය කාලය පුරාවටම දැක්කා.  ගල් අඟුරු මාෆියාව, ඉන්ධන මාෆියාව මේ ආකාරයට විවිධ චෝදනා එල්ල වුණා. ඒ චෝදනා එල්ල වුණු නිසා තමයි විශේෂයෙන්ම අමාත්‍යවරයා හැටියට මට සිදුවුණේ පැමිණිල්ලක් කරන්න.

ඒ පරීක්‍ෂණයක් කරලා මේ ආනයනය කරන ක්‍රමවේදය, ටෙන්ඩර් ක්‍රමවේදය සහ අපේ රටේ ඇතිවෙලා තියෙන තත්ත්වයන් එක්ක මේ අභියෝගයට අපි මුහුණදීලා මේ කටයුත්ත කරන්නේ කොහොමද කියලා පරීක්‍ෂණයක් කරන්න කියලා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒ කටයුත්ත සිදු වෙන කොට මම ඛනිජ තෙල් සංස්ථාවට වෙනමම කිව්වා මේ සඳහා ප්‍රවීණතාවක් තියෙන මේ සඳහා අත්දැකීමක් තියෙන වෙනත් සමාගමක් තෝරා ගන්නා ක්‍රමවේදයකට ගිහිල්ලා මේක ෆොරෙන්සිස් ඔඩිට් එකක් බවට පත් කිරීම සඳහා කටයුතු කරන්න කියලා.”

ජනතාව බදු බරින් මිරිකිලා මැරෙද්දි ආණ්ඩුව මුල්තැන දී ඇත්තේ ඇමැතිවරු පත් කිරීමට : – හර්ෂණ රාජකරුණා

“රනිල් වික්‍රමසිංහ මහතා මේ පොහොට්ටුවේ මන්ත්‍රිවරුන්ට කළගුණ සලකන්න දන්නවා. ඒ නිසයි ඇමැතිවරු පත් කරන්නේ” යැයි සජබ ගම්පහ දිස්ත්‍රික්  මන්ත්‍රි  හර්ෂණ  රාජකරුණා පැවැසීය. “රටේ ආදායම – වියදම අතර විශාල ගැප් එකක් තියෙනවා. අපිට තව බදු වැඩි කරගන්න වෙනවා ඒ පරතරය පියවන්න. නමුත් මේ බදු වැඩි කිරීමත් එක්ක අපිට යුතුකමක් තියෙනවා අපේ වියදම් ටික අඩු කරන්න. රජයක් හැටියට වියදම් ටික අඩුකර ගත යුතුයි. ඒ සඳහා තමයි මේ ජනාධිපතිවරයා සර්වපාක්ෂික ආණ්ඩුවකට කවුරුත් එකතු වෙමු කියලා කිව්වෙ. අපි කිව්වා එකතු වෙන්න කැමැතියි, වැඩපිළිවෙළකට සහයෝගය දෙන්න කැමැතියි. හැබැයි අමාත්‍ය ධුර ප්‍රමාණය සීමා සහිත කරගත යුතුයි කියලා. දැන් මං හිතන්නේ කැබිනට් ඇමැතිවරු විසි එකක් ඉන්නවා.

ඒ කැබිනට් ඇමැතිවරු 21ට අමතරව රාජ්‍ය ඇමැතිවරු තිස්හත් දෙනෙක් පත් කර තිබෙනවා. තවත් ඉදිරියේදී දින කිහිපයකින් තවත් කැබිනට් ඇමැතිවරු ගණනාවක් පත් කිරීමට නියමිතයි. එතකොට මේ රටේ මුළු ජනතාවම බදුවලින් මිරිකිලා මැරිලා යනකොට මේ ආණ්ඩුව ප්‍රමුඛත්වය ලබාදී තිබෙන්නේ ඇමැතිවරු පත් කිරීමට. මේ අවස්ථාවේදී රටක් හැටියට අපිට මේක දරාගන්න පුළුවන්ද? කැබිනට් ඇමැතිවරුන්ට යන වියදම, රාජ්‍ය ඇමැතිවරුන්ට යන වියදම, ඒ පහසුකම්, මේ ප්‍රතිලාභ සියල්ල ලබා දෙන්න වෙනවා.

  එහෙම නම් අපි රටක් ලෙස මේ ප්‍රශ්න හඳුනාගෙන තිබෙනවා නම් ඇයි කැබිනට් ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු පත් කරලා මේ විදිහට ප්‍රතිලාභ භුක්ති විඳිමට ඉඩදී තව තවත් වියදම් කරන්නෙ. ඒකට සාධාරණ හේතුවක් නැහැ. ඇත්තටම මේ වෙලාවේ රාජ්‍ය ඇමැතිවරු අවශ්‍ය නෑ. අපි දිගින් දිගටම කිව්වා සමගි ජන බලවේගය හැටියට රාජ්‍ය ඇමැතිවරු, නියෝජ්‍ය ඕනැ නෑ කියලා. රනිල් වික්‍රමසිංහ මහතා මේ පොහොට්ටුවේ මන්ත්‍රිවරුන්ට කළගුණ සලකන්න දන්නවා. ඒ නිසයි ඇමැතිවරු පත් කරන්නේ. ඉස්සරහටත් තව ඇමැතිවරු පත් කරගනී. පක්ෂයේ තීන්දු තීරණ නොතකා සමහරු ඇමැතිකම් භාර ගන්නවා.

ඒ පක්ෂවල ගැටලුවලටත් ප්‍රධාන හේතුව අමාත්‍ය ධුර. ඒ විතරක් නෙමෙයි හැබැයි රනිල් වික්‍රමසිංහ මහතා මේ පොහොට්ටුවේ මහත්වරුන්ට කළගුණ සලකනකොට එතුමාට අමතක වෙලා තියෙනවා අර අරගලයට පින්සිද්ධ වෙන්න තමයි තමන්ට ජනාධිපතිකම ලැබුණේ කියලා. ඒ අරගලයට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම අද මර්දනයක් කරමින් යනවා. මේ රාජ්‍ය ඒ මර්දනය පිළිබඳ මේ වෙනකොටත් මානව හිමිකම් කවුන්සිලය, කොමසාරිස්වරිය ඇතුළු ඉදිරියේදී සාකච්ඡාවට  ජිනීවා මානව හිමිකම් සැසිවාරය සාකච්ඡා කරන්න වෙලා තියෙනවා.”

සමාජ ආරක්‍ෂණ බදු පැනවීමෙන් උද්ධමනය ඉහළ යනවා : – ඉරාන් වික්‍රමරත්න

සමාජ ආරක්ෂණ බදු පැනවීමෙන් උද්ධමනය  අනිවාර්යයෙන්  තවත් ඉහළ යනවා යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි ඉරාන් වික්‍රමරත්න පැවසීය. 1964 ව්‍යාපාර බද්දක්  ගෙනාවා. 1981දී පිරිවැටුම් බදු ගෙනාවා. 1992දී ජාතික ආරක්ෂණ බද්දක් ගෙනාවා. තවත් ආරක්‍ෂක බද්දක් ගෙනාවා. 2006දී ආර්ථික සේවා ගාස්තුවක් ගෙනාවා. 2009දී තව බද්දක් ගෙනාවා. දැන් පිරිවැටුම් බද්දක් ගේනවා.

මේක 2021 අය – වැය කතාවේදී රක්ෂණ යෝජනා ක්‍රමයක් කියලා අග්‍රහාර කියලා රාජ්‍ය සේවකයන්ට දෙන අතරේ අනිත් අයට ඒ කියන්නේ ෆැක්ටරියක්  තියනවා නම් එහි සේවකයන් 50ට වැඩියෙන් ඉන්නව නම් ඒ අයගේ යම්කිසි එකතු කිරීමක් අරගෙන ඒ මත පිරිවැටුම උඩ එහෙම ආරක්ෂණ ක්‍රමයක් දෙනවා. ඒක 2022 අය – වැය කතාවේදී තමයි සමාජ ආරක්ෂණ අදහස ආවේ. 2.5% පිරිවැය උඩ තීරණය කරන එකක්.

අපි සඳහන් කළා මේ හරහා රුපියල් බිලියන එකසිය විස්සක් විතර මෙයින් එකතු කරගන්න පුළුවන් වෙයි කියලා.  මුලින් යෝජනා කළේ මේක අප්‍රේල් පළමුවැනිදා ලබා ගන්න පුළුවන් වෙයි කියලා. දැන් සඳහන් කරනවා ජූලි පළමුවැනිදා ලබා ගන්න පුළුවන් කියලා. අපි හැබැයි සාකච්ඡා කරන්නේ මේ සැප්තැම්බර්. මා කරන පළමු ඉල්ලීම තමයි මේක ක්‍රියාත්මක කරන්න ඕනෑ. නමුත් අනුමත වුණාට පස්සේ නැත්තම් මේක පස්සට ගිහිල්ලා අප්‍රේල් හෝ ජුනි හෝ  මාසවල ක්‍රියාත්මක කළ යුතු නැහැ. හේතුව බදු ගහනකොට ඒ බදු පාරිභෝගිකයටයි, ව්‍යාපාරිකයටයි දෙන්නටම බලපානවා.

පස්සට ගිහින් බද්දක් දැම්මත් විශේෂයෙන් ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරය සැලසුමක් අනුව තමයි ක්‍රියාත්මක කරන්නේ.  එතකොට සැලසුමක් සහිතව ක්‍රියාත්මක වෙන්න බැහැ ඔවුන්ට. උදාහරණයක් විදිහට ව්‍යාපාරවල බදු ගෙවන්නේ අප්‍රේල් 1 සිට මැයි 30 දක්වා. එතකොට 2022 ගත්තොත් මාර්තු මාසයේදී ඒ කාලය අවසන් වෙලා. ව්‍යාපාරිකයෝ තීරණ අරන් ඉවරයි. එතකොට අයිතිකරුවන්ට ලාභාංශ දීලා අවසන්. පහුවෙලා මේ දේවල් කළාම අපේ දේශපාලන වැඩපිළිවෙළක් නැතුව හරි ක්‍රියාදාමයක් නැතුව කලට වෙලාවට ක්‍රියාත්මක නොකර හිටියොත් සිදු වන්නේ ව්‍යාපාරවලට දැඩි බලපෑමක් එල්ලවීමයි. එය අපි නොකළ යුතුයි.

අද උද්ධමනය සියයට 65කට වැඩියි. මේ රජයේ සංඛ්‍යා ලේඛන. ආහාර උද්ධමනය සියයට 95ක් විතර. අනෙක් ස්වාධීන  සංඛ්‍යා ලේඛනවල මීට වඩා හුඟක් වැඩියි. මේ බද්ද ගැහුවහම උද්ධමනය සෑහෙන්න ඉහළ යනවා. මේ පිරිවැටුම ගැහුවොත් කොපමණ  බදු වැඩිවෙයිද කියලා  මම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කිහිප දෙනෙක්ගෙන් ඇහුවා.  ඔවුන් කියනවා 5%ක් දක්වා වැඩිවිය හැකි කියලා. සමහරවිට 10% දක්වා ඉහළ යන්නත් පුළුවන්.  මේක දැඩි බලපෑමක්. විශේෂයෙන් මේක  සාමාන්‍ය ජනතාවට තමයි ලොකු බලපෑමක් වෙන්නේ.”

නිදහස් කිරීමේ තත්ත්වයක සිටින දේශපාලන සිරකරුවන්ට දැන් අලුතින් නඩු ගොනු කරන්න යනවා : – සෙල්වම් අඩෛකලනාදන්

“දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා පැවැසුවත් ඔවුන්ට එරෙහිව අලුතින් නඩු ගොනු කරනවා” යැයි දෙමළ ජාතික සන්ධානයේ මන්නාරම දිස්ත්‍රික් මන්ත්‍රි සෙල්වම් අඩෛකලනාදන් පැවැසීය.

“අපේ මිනිස්සුන්ගේ ප්‍රශ්න තමයි හැමදාම තියෙන්නේ. දේශපාලන සිරකරුවන් නිදහස් කරන බව ජනාධිපතිවරයා සිය මැතිවරණ ප්‍රචාරක කතාවේදී පවසා තිබුණා. ඒ සමඟම දෙමළ ජාතික සම්මේලනය ඔහුව හමු වූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ තමන් ඒ සඳහා උනන්දුවක් දක්වන බව. නමුත් දැන් අපි දන්නෙ එක දෙයයි. ඒ දේශපාලන සිරකරුවන් උපවාස කරන බව.

අධිකරණයෙන් නඩු විස¾දූ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ තත්ත්වයක් තිබියදීත් ජනාධිපතිවරයාගේ සමාව යටතේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ තත්ත්වයක් ඇති වූ විටත් ඔවුන්ට එරෙහිව අලුතින් නඩු ලියාපදිංචි වන තත්ත්වයක් තිබෙනවා. මේ සතිය ඇතුළත විශාල පිරිසකට නව නඩු පවරා තිබෙනවා.  නඩු තීන්දුව වසර 10ක් 15ක් භුක්ති විඳිද්දී අලුතින් නඩු පැවරීම නිරීක්ෂණය කළ හැකියි. ඔවුන් මුදාහැරීම බොරු වචන බවට පත්වේ යැයි බියක් අප අතර තියෙනවා.

මේ අවස්ථාවේ ජනාධිපතිතුමා අවධානය යොමුකර ඔවුන් නිදහස් කිරීමට අවස්ථා නිර්මාණය කළ යුතුයි. මේකෙදි අපි හිතන්නෙ අලුතින් නඩු දාලා හිර ගෙවල් ඇතුළෙම මැරෙයි කියලා. ඒ නිසා මේ පිළිබඳව අවදානය යොමුකරන ලෙස ඉල්ලා සිටිනවා.

මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උතුර – නැඟෙනහිර ප්‍රදේශවල බොහෝ පිරිසක් කැඳවා තියෙනවා. පරීක්ෂණ සඳහා දෙමළ මාධ්‍යවේදීන්ටත් ආරාධනා කර තිබෙනවා. උතුර – නැඟෙනහිර ප්‍රදේශයේ පුද්ගලයන් 12කට වැඩි පිරිසක් ප්‍රශ්න කිරීම සඳහා කැඳවා තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ සාමය ඇති කරන්නේ කෙසේද?

පුනර්ජනනය තවදුරටත් එසේ නොවෙයි. පුනරුත්ථාපනය වූ කොටි පවා දේශපාලනයට එන තත්ත්වයක් තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ ජනවාර්ගික ප්‍රශ්නය විසඳන්න, රටේ ආර්ථික ප්‍රශ්න විසඳන්න අපේ සංක්‍රමණිකයන් එනවද කියලා මම හැමෝටම ආරාධනා කරලා අහන්න කැමැතියි.

මේ අතර උතුරේ ඉඩම් පවරා ගැනීමේ කොන්දේසි තිබෙනවා. හමුදා කඳවුරු අක්කර ගණනක් පුරා පැතිරී තියෙනවා. දැන් ඇයි මෙතරම් ඉඩක්? කඳවුර තුළ ඇති මිනිසුන්ගේ කෘෂිකාර්මික ඉඩම් සහ ස්ථාවර ඉඩම්වලට ඔවුන්ට යන්න ඉඩ දෙන්න.

මේ තත්ත්වය තුළ චීනයේ කාඩ්බෝඩ් ගොවිපොළ සඳහා ඊසාන දිග ඉඩම් අක්කර 5,000ක් ලබාදෙනවා.  අපේ මිනිසුන්ගේ ඉඩම් ඔබේ ඇසට පෙනෙනවා. මේ විධියට අපේ ජනතාවගේ ඉඩම් කොල්ලකෑම අනුමත කරන්න බැහැ. මෙය නැවැත්විය යුතුයි. අපේ ප්‍රධාන අරමුණ හමුදාව අඩු කිරීමයි. ඔවුන් අපේ ඉඩම් අල්ලා නොගත යුතුයි.

සමාජ ආරක්ෂණ බද්ද වෙන වැඩවලට වියදම් නොකරන පොරොන්දුවක් ඕනෑ : – ආචාර්ය හර්ෂ ද සිල්වා

“මෙය සමාජ ආරක්ෂණය සඳහා පමණක් පාවිච්චි කරනවා විනා මේවා රජයේ වෙන වියදම්වලට පාවිච්චි කරන්නේ නැහැ කියන පොරොන්දුව දෙන්න ඕන” යැයි ස.ජ.බ. මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පැවැසීය.

“බැසිල් රාජපක්ෂ මහත්තයා කිව්වා 2021 නොවැම්බර් මාසයේ සියයට 2.5ක බද්දක් ගහනවා කියලා. හැබැයි තාක්ෂණික සටහන්වල තිබ්බා සියයට 3යි කියලා. ඊට පස්සේ ඒක 2.5 වුණා කියලා සඳහන් කළා.

2022 අවුරුද්දේ රුපියල බිලියන 140ක් හොයා ගන්නවා කියලා කිව්වා මේ බද්දෙන්. තාම සතයක්වත් හොයාගෙන නැහැ.

මෙතැනදී අපේ විවේචනය වෙන්නේ, සියයට 8ක වැට් එකක් කලින් තිබුණා. ඒ සියයට 8ක වැට් එක මත තමයි සියයට 2.5 පිරිවැටුම මත බද්ද පනවන්න තීරණය කළේ. අපි එදත් විවේචනය කළා. අදත් විවේචනය කරනවා. මේක 2.5 නෙවෙයි ඇත්ත වශයෙන්ම වැට් බද්දක් හැටියට බැලුවොත් අවම වශයෙන් සියයට 5ක්වත් වෙනවා.

බදු වර්ග දෙකක් දැම්මම මේක අමාරු වෙනවා. වැට් එක නම් වැට් එක. එහෙම නම් ඔය අයට කියන්න ඕන නම් සියයට 22යි කියලා. ඒක එහෙම දාන්න. මිනිස්සුන්ට ඇත්ත කතා කරන්න. ජනතාවට අවබෝධ කරලා දෙන්න. හංගලා කරන්න අවශ්‍යතාවක් නැහැ.

ලෝකය ගැන කතා කළා. ලෝකය යන්නේ එක දිශාවකට නම් අපිත් ඒ දිශාවට යන්න  ඕන. දියුණු රටවල් ගැන කතා කළා. ඒ දිශාවට අපි යමු. මොන රටේද වැට් එකයි ටර්නෝ ටැක්ස් එකයි දෙකම ගහලා දියුණු වෙලා තියෙන්නේ. එහෙම ඒවා ගොඩක් අඩුයි. මොකද කළමනාකරණය කර ගන්න බැහැ.

මම යෝජනා කරනවා මේකට කාලරාමුවක් දාන්න. ඔබතුමන්ලාගේ මතය වෙන්නේ එක බදු ප්‍රතිපත්තියකට යන්න නම් ඒ කියන්නේ වැට් එක විතරක් නම් එහෙමනම් මේක අයින් කරන්න. මේක ඕනෙනම් සන්සෙට් ක්ලෝස් එකක් දාලා 2023 අය-වැය ප්‍රකාශ කරනකොට අයින් කරන්න. මොකද මේක ගෙවන මිනිහටත් කරදරයක්, එකතු කරන මිනිහටත් කරදරයක්. අවසානයේ වෙන්නේ බලාපොරොත්තු වුණ බදු ලැබෙන්නේ නැහැ.“

අපේ බදු ප්‍රතිපත්තියේ නිසි ක්‍රමවේදයක් නැහැ : – අනුර ප්‍රියදර්ශන යාපා

“බදු ප්‍රතිශතය වැඩි කිරීමට සිදුවෙලා තියෙන්නේ ඇයි කියලා අපි  කල්පනා කරන්න ඕන. දීර්ඝ කාලයක් තිස්සේ අපේ බදු ප්‍රතිපත්තියේ නිසි ක්‍රමවේදයක් තිබුණා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. සමහර කාලවල බදු ගහනවා. සමහර කාලවල බදු අයින් කරනවා.

පසුගිය කාලයේ ලංකාවේ බදු වර්ග ගණනාවක් අයින් කළා. වැට් ප්‍රතිශතය සියයට 8 දක්වා අඩු කරලා වැට් ගෙවීමේ පිරිවැටුම මිලියන 12 ඉඳලා මිලියන 300 දක්වා වැඩි කළා.

ආදායම් බදු ප්‍රතිශතය ලක්‍ෂ 6 සිට ලක්‍ෂ 12 දක්වා වැඩි කළා. තවත් බදු වර්ග දෙකක් ඉවත් කළා. මේ බදු වර්ග ඉවත් කිරීමේ අවසන් ප්‍රතිඵලය වුණේ අපේ ආදායමට අවුරුද්දකට එකතු වෙන්න තිබූ බිලියන 600ක් අහිමි වුණා.

මේ පේඊ ටැක්ස් එක ගෙනාවේ ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා. එදා ඉඳලා අද වෙනකන් කිසිම ප්‍රශ්නයක් නැතිව අපි ගත්ත වැටුපකින් අයවෙන ප්‍රමාණය සියයට ගණනක් හැටියට අය කෙරුණා. මේක කවුරුවත් කියපු දෙයක් නෙවෙයි. මම අදටත් දන්නේ නැහැ ඇයි මේක මේ විධියට ඉවත් කරන්න හේතු වුණේ කියලා.

මේ ඉවත් කිරීම නිසා බදු ප්‍රතිශතයෙන් බිලියන 600ක් අහිමි වුණා. ඒ අහිමිවීම නිසා අපිට මහ බැංකුව හරහා දළ වශයෙන් ටි්‍රලියන 3ක් දක්වා මුදල් අච්චු ගහන්න සිද්ධ වුණා. අද අපේ ආර්ථිකයේ ඉතුරුම් පත්‍රිකාව (බැලන්ස් ශීට්) ගත්තොත් මම හිතන්නේ ඉතුරුම් පත්‍රිකාව නැහැ. ආදායම අඩුයි, වියදම ඒ වාගේ තුන් ගුණයක් වැඩියි.

මේ නිසා අපේ රටේ මුදල් අච්චු ගැසීම, උද්ධමනය වැඩි වුණා. ඒ නිසා අපේ බදු ආදායමත් එක්ක සංසන්දනය කළොත් අපේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙව්වට පස්සේ මේ බදු ආදායමෙන් තව කරන්න දෙයක් නැහැ. ඉතිරි සංවර්ධන සියල්ලට අපිට දේශීය වශයෙන් ණය ගන්න සිදුවෙලා තියෙනවා. ඒ නිසා අපි ඉන්නේ නරක තැනක.

අපි මේ නරක තැනක ඉන්නකොට මේ පිළිබඳ කල්පනා කරලා අලුත් මුදල් ඇමැතිවරයා ජනාධිපතිවරයා මේ බදු වැඩි කරලා තියෙනවා. බදු වැඩි කිරීම පිටිපස්සේ ඇතැම් භාණ්ඩ ගෙන ඒමත් නවත්වා තියෙනවා. ඒ නිසා මේ සමාජ ආරක්‍ෂණ බද්ද ඇතුළේ බදු ප්‍රතිශතය වැඩි වෙනකොට අවශ්‍ය මුදල් ප්‍රමාණය ලබා ගන්න පුළුවන්ද කියන තර්කය තමයි එන්නේ. පසුබසින ආර්ථිකයක් ඇතුළේ බදු අයකර ගැනීමක් කරන්න පුළුවන්ද කියලා. දැන් පසුබැස්මක් තියෙන්නේ. මේ පසුබැස්ම කොයි ආකාරයෙන් සිදුවෙනවාද කියලා අපි දන්නේ නැහැ.

ඒ නිසා මේ තත්ත්වය යටතේ වෙනස්කම් රැසක් ඉටු නොකළොත් ලංකාවේ ආර්ථිකය මහ දැවැන්ත බියකරු ස්වරූපයක් අපිට පේනවා. බදු අයකර ගැනීම, ආදායම් ප්‍රභවයන් හඳුනා ගැනීම, ආදායම් බදු අයකර ගැනීමේ ප්‍රමාණය වැඩි කිරීම, දැනට ඉවත් වන රේගු බදු වැඩි කිරීමට ක්‍රියා කිරීම ආදී වශයෙන් ගොඩක් කරන්නට වෙනවා. ඉතින් ආණ්ඩුවට විශාල කාර්යයක් කරන්න වෙයි.”

ස්වාධීනව අදහස් ප්‍රකාශ කිරීමට මන්ත්‍රිවරයකුට ඇති අයිතිය අහුරන්න කාටවත් බැහැ ; – ඩලස් අලහප්පෙරුම

විවිධ මතවාද තිබුණත්, මතවාදවල පරස්පරයන් තිබුණත් මන්ත්‍රිවරයකුගේ කතා කිරීමේ නිදහස ස්වාධීනව තම අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහුරන්න කිසිවකුට නොහැකි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පැවැසීය.

“මම මතු කරන්න හදන්නේ මේ මන්ත්‍රිවරුන්ගේ භාෂණයේ නිදහස පිළිබඳ ගැටලුව. මේ සම්බන්ධයෙන් මන්ත්‍රිවරු රාශියක් කථානායකතුමාත් එක්ක තුන් වතාවක් පෞද්ගලිකව මේ ගැන කතා කරලා තියෙනවා.

ජනාධිපතිතුමාට, අගමැතිතුමාට,  ඔබතුමාට අමතරව සභානායකතුමාට ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමත් එක්ක මේ පිළිබඳ කතා කරලා තියෙනවා. මෙතැන ගැටලුව තියෙන්නේ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණෙන්  ස්වාධීන වුණු මන්ත්‍රි කණ්ඩායම් 04ක් ඉන්නවා පාර්ලිමේන්තුවේ. එයින් මන්ත්‍රි කණ්ඩායම් තුනක් සම්බන්ධයෙන් ගැටලුවක් නැතුව ආණ්ඩු පක්ෂයේ වේලාව වෙන් කරනවා.

අපි විතැන් වූ පළමුවැනි දවසේ ඉඳලා අපිට ආණ්ඩු පක්ෂයේ අනෙක් ස්වාධීන වුණ කණ්ඩායම්වලට ලැබුණු ඒ කාලය අහිමි වෙලා තියෙනවා.

ඔබතුමා, අගමැතිතුමා සහ ජනාධිපතිතුමත් පිළිගන්නවා නම් එය වැරැද්දක් කියලා එහෙම නම් මේ ව්‍යවස්ථාදායකයේ නොවන වෙනත් හස්තයක් තියෙන්නට ඕන. එය පාලනය කරන්න අපේ නිගමනය වෙන්න ඕන ඒක.

මේ 225 දෙනා අතරේ විවිධ පරස්පරයන් තියේවි. නොගැළපීම් තියේවි.නමුත් තමන්ගේ මතය ප්‍රකාශ කරන්න අවස්ථාවක් දෙන්න. මන්ත්‍රිවරයාගේ භාෂණයේ නිදහස ව්‍යවස්ථාවෙන් උත්තරීතර කියන පාර්ලිමේන්තුව ඇතුළේ නැත්නම් එළියේ කොහොමද එය ආරක්ෂා වෙන්නේ. ඒ නිසා ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා දේශපාලන මති මතාන්දර, විවේචන තියෙන පෞද්ගලික දේවල් ඉවත් කරලා කරුණාකරලා මේ මන්ත්‍රිවරුන්ගේ හෘද සාක්ෂියේ ආරක්ෂාව වගකීම තහවුරු කරන්න.”

ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ ආණ්ඩුව ජනතාවට බදු පිට බදු ගහනවා : – විජිත හේරත්

රජය විසින් හ¾දුන්වාදී ඇති සමාජ ආරක්ෂණ බදු පනත ඉතාම අසාධාරණ බවත්  ඉන් රටේ සියලු ක්‍ෂේත්‍ර කඩා වැටී තිබියදී රජය බදු වැඩි කිරීම සාධාරණ නොවන බවත් ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්  මන්ත්‍රි විජිත හේරත් පැවැසීය.

“වැඩි වූ ආදායමට බදු අය කළ යුත්තේ ජනතාවගේ ආදායම වැඩි කිරීමට කටයුතු කළ පසුවයි.  නමුත් රටේ සියලුම ක්‍ෂේත්‍ර කඩා වැටිලා තියෙද්දී ආණ්ඩුව බදු වැඩි කරලා තියෙන එක සාධාරණ නැහැ.  එමෙන්ම මෙම බද්ද සෘජු බද්දක් බවද මනුෂ නානායක්කාර අමාත්‍යවරයා පවසා තිබුණා.  මෙය කුමන රේඛාවක්දැයි ඔහු දන්නෙත් නෑ.  ආදායම් බද්ද වක්‍ර බද්දක්.

ඒ වගේම සමාජ ආරක්ෂාව ඇති කරන්න නම් වක්‍ර බද්ද අඩු කරලා සෘජු බද්ද වැඩි කරන්න ඕනෑ.  නමුත් දැනට සෘජු බදු අනුපාතය සියයට 20ක් වන අතර වක්‍ර බදු අනුපාතය සියයට 20ක්. මේ හරහා සමාජ ආරක්ෂාව ඇති කරන්න බැහැ. බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයාව සිටියදී සියයට 2.5ක සමාජ ආරක්ෂණ සහන බද්ද හ¾දුන්වා දුන් අතර ආදායම් බද්ද සියයට 8ක් වුණා. නමුත් දැන් සියයට 8 සිට සියයට 15 දක්වා බද්ද වැඩිවෙලා.  එහෙම තියෙද්දි මේ බද්ද ගේන එක වැරදි වැඩක්.

ඒ වගේම සුරාබදු බද්ද සියයට 15 දක්වා වැඩිවෙලා තියෙද්දී මේ බද්ද එකතු වුණාම සියයට 20, 21 දක්වා බදු ප්‍රතිශතය වැඩි වෙනවා.  මෙම නව බද්ද 2.5%ක නිෂ්පාදනය, ආනයනය, බෙදාහැරීම සහ විකුණුම් සියල්ල මත පනවා තිබෙනවා.  නිෂ්පාදනයක් රුපියල් 100කට නිෂ්පාදනය කර වෙනත් කෙනකුට අලෙවි කළහොත් එය සියයට 102.50ක් වෙනවා.  භාණ්ඩය වෙන කෙනකුට දුන්නම ආයෙත් ඒ භාණ්ඩයට බදු 2.5ක් අය කරනවා.  මේ ආකාරයට බදු ගෙවීමෙන් පසු බදු ගෙවනවා. එවැනි බද්දක් බදු පිළිබඳ මූලික රීතියට වැරදියි. නමුත් ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ අමාරුවෙන් ඉන්න මිනිසුන්ට ආණ්ඩුව බදු පිට බදු ගහනවා.

විශේෂයෙන්ම උඩරට ජනතාවගේ මූලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන බවට රජය පාර්ලිමේන්තුවට දැනුම්දී තිබුණා. නමුත් තවම එය සිදු කර නැහැ. නමුත් ක¾දුකර ජනතාවට තිරිඟු 420ට සහ භූමිතෙල් 340ට ලැබෙන විට රුපියල් 240යි ඉතිරි.  එහෙම වුණොත් ආණ්ඩුව අලුත් බද්ද ගෙනත් දීලා ඒ මිනිසුන්ට තවත් පීඩාවක් වෙනවා.

ආණ්ඩුව මේ පනත ගෙන එන්නේ සමාජ ආරක්ෂාව සඳහා බව කීවත් පනතේ එවැනි තොරතුරු නැහැ.”

සත පහක්වත් බදු ගෙවා නැති කල්ලියේ ලොකු සල්ලිකාරයෝ ඉන්නවා : – මහින්දානන්ද අලුත්ගමගේ

“මේ රටේ ලොකුම  සල්ලිකාරයෝ ශත පහක බදු ගෙවලා නැති කල්ලියේ ඉන්නවා” යැයි ශ්‍රී  ලංකා පොදුජන  පෙරමුණ  මහනුවර  දිස්ත්‍රික් මන්ත්‍රි මහින්දානන්ද  අලුත්ගමගේ  පැවැසීය. “රාජ්‍ය බදු වැඩි කරන්න ආණ්ඩුවට ආදායම අවශ්‍යයි. බදු වැඩි කරන්න ඕනි. ඒත් මේ  ගෙවන බදු ටික හරියට එකතු කරන ක්‍රමයක් හදා ගත්තනම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ලාභ අධිකව ලබන පුද්ගලයෝ බදු නොගෙවීම ගැන කියන්න ඕනෑ.

අපේ රටේ ප්‍රධානම වී මෝල් තුනක් තිබෙනවා. මහ පරිමාණ වී මෝල් හිමියෙක් ඉන්නවා. වැඩිම වී මෝල් කරන කෙනා ඒ. අවුරුදු පහක් සතපහක බද්දක් ගෙවලා නෑ. ලංකාවේ දෙවැනි ලොකුම මෝල් හිමියා අවුරුද්දකට ගෙවලා තියෙන්නෙ රුපියල්  ලක්ෂ නවයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන වී මෝල් හිමියෙක් ඉන්නවා.

  මිලියන 50ක් ගෙවලා තියෙනවා. කැසිනෝ බලපත්‍ර හතරක් පහක් තියෙනවා. මේ කැසිනෝ බලපත්‍ර ලාභ ලබන්නන් බිලියන ගණන් හොයනවා. එක්කෙනෙක්වත් ආදායම් බදු ගෙවන්නේ නැහැ. හැබැයි ඒගොල්ලොන්ගෙ බලපත්‍ර ගාස්තුව විතරක්  ගෙවනවා. මම නම කියන්නේ නැහැ අපහසුතාවට පත්වෙන නිසා. මම කියන්නේ මේගොල්ලෝ බලපත්‍ර ගාස්තුව ගෙව්වට සතපහක ආදායම් බදු ගෙවන්නෙ නැහැ.

රේස් බයි රේස් කියලා එකක් තියෙනවා. බිලියන ගාණක් බලපත්‍ර ගාස්තුවක්.  බලපත්‍ර ගාස්තුව විතරයි ගෙවන්නේ. සතපහක ආදායම් බද්දක් ගෙවන්නෙ නෑ. ඇඟලුම් කර්මාන්ත තියෙනවා. ලොකුම අපනයනකරුවා ඇමරිකාවට වැඩිම අපනයනය කරන කෙනා. ඒ අපනයනකරුවා බිලියන 150ක ඇඟලුම් අපනයනය කරනවා. හැබැයි ඔහු ආදායම් බදු පෙන්නන්නෙ මිලියන එකයි කියලා. මිලියන 149ක් වෙනත් පාර්ශ්ව හරහා අපනයනය කරනවා. ඊළඟට තේ. ඇමරිකන් ඩොලර් මිලියන හයසියකට වැඩිය උපයනවා. වැඩිම තේ අපනයනය කරන්නේ එක සමාගමක්. ඔවුන් ආදායම් බදු ගෙවන්නේ නැහැ. ප්‍රධාන පෙළේ Supermarket තියෙනවා. එක චේන් එකක සුපර්මාර්කට්  හාරසිය විසි අටක් තියෙනවා. මේ 428 තියෙන සුපර්මාකට් එකේ 2020 සත පහක් ආදායම් බදු ගෙවලා නැහැ. අපි Supermarket ගියොත් මිල බලන්න. ඒත් සත පහක් ගෙවලා නෑ. ඊළඟට නිමි ඇ¾දුම් සමාගම් තියෙනවා. 

එක එක නම් තියෙනවා. එක සමාගමකට නිමි ඇ¾දුම්  කඩ ලංකාවටම හතළිස් අටක් තියෙනවා. තව එකකට දහඅටක් තියෙනවා. තව එකක විසි ගාණක් තියෙනවා. මේ ප්‍රධාන තුන්දෙනා සත පහක් ආදායමක් ගෙවල නැහැ බදු. ඊළඟට තට්ටු නිවාස හිමියෝ ඉන්නවා. ලොකුම තට්ටු නිවාස හදන සමාගමක් තියෙනවා.

බොරැල්ලෙ තියෙන්නෙ. ඒගොල්ලෝ මාලදිවයින ඇතුළු විදේශ රටවල මේ ව්‍යාපෘතිය  කරනවා. අද වෙනකම් සතපහක ආදායම් බද්දක් ගෙවලා නෑ. එක අපාර්ට්මන්ට් එකක් මිලියන සියයකට විකුණන්නෙ. මිලියන දාහකට ගෝල්ෆේස් එකේ අපාර්ට්මන්ට් එකක් තියෙනවා. මිලියන  600, 700, 800 ගාණට මේ යන්නේ. සත පහක් ගෙවලා නෑ. ඒවගේම තමයි  මත්පැන් හල් හිමියො. ඉන්ධනහල්  හිමියො. දවසට ලබන ලාභය තමයි  බදු විදිහට  අවුරුද්දකටම ගෙවන්නේ. මහ බැංකුවෙ නිලධාරිනුත් Pay Tax ගෙවන්නේ නෑ. මේක මහ බැංකුවෙන් පටන් ගන්න ඕනෑ.”

අනුරාධා හේරත්,  සඳුනි ගමාරච්චි