‘මව්බිම’ හෙළිදරව් කළ සිදුවීමට ක්‍රීඩා අධ්‍යක්‍ෂවරයා කරුණු දක්වයි

0
28

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය කරාතේ දෝ ශූරතා තරගාවලිය සඳහා සහභාගි වීම සඳහා එංගලන්තය වෙත පිටත්ව ගිය ශ්‍රී  ලංකා කණ්ඩායම එංගලන්තයෙන් නැවත පිටුවහල් කර ඇති බව ‘මව්බිම’ පසුගියදා (7දා) අනාවරණය කළේය. ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකින් අනතුරුව එම අවමන් සහගත සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු යොදන බව ක්‍රීඩා බලධාරීන් සඳහන් කර ඇති බව ද ‘මව්බිමට’ වාර්තා වේ. එපමණක් නොව මෙම සිදුවීම සම්බන්ධව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු කිරීමටත්, ඒ පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟින් ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් මෙහිදී තීරණය කර ඇති බවද දැනගන්නට ඇත.

මෙම කරුණ සම්බන්ධයෙන් ‘මව්බිම’ සිදුකළ විමසීමකට පිළිතුරු ලබා දුන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා කියා සිටියේ මෙවැන්නකි. “ක්‍රීඩකයන්, මවුපියන් සහ ශ්‍රී  ලංකා කරාතේ දෝ සම්මේලන බලධාරීන් මෙන්ම ක්‍රීඩා බලධාරීන්ගේද සහභාගිත්වයෙන් මේ පිළිබඳව විශේෂ රැස්වීමක් පැවැත්වුණා. විශේෂයෙන් එහිදී යොමු වූ කරුණු මත පැහැදිලි වූයේ යම් පුද්ගලයකු යොමු කර තිබූ පෙත්සමක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

ඒ අනුව යමෙක් පෙත්සමක් යොමු කරමින් එවන් අකටයුත්තක් සිදු කර තිබුණා නම් එය ක්‍රීඩාවට යොමු වූ දරුවන්ට සිදුවූ බලවත් අසාධාරණයක් ලෙස සලකනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කර කරුණු සොයා බැලීමට අපි තීරණයකට එළැඹුණා. එසේම යම් හෙයකින් එවන් පෙත්සමක් යොමු කර අකටයුත්තක් සිදු කර ඇති බවට අනාවරණය වුවහොත් ඔවුන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා.”

එමෙන්ම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ මැදිහත්වීමක් තුළින් මෙම ගැටලුව යම් තරමකින් නිරාකරණය කර ගැනීමේ සූදානමක් පවත්නා බවද සඳහන් කළ ක්‍රීඩා අධ්‍යක්ෂජනරාල්වරයා “මෙහිදී ශ්‍රී  ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා තානාපති කාර්යාල දැනුවත් කිරීම සම්බන්ධවත් අපි සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ අනුව අදාළ කරුණ සම්බන්ධයෙන් යම් සහනයක් සලසන ලෙස එම පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.

එයට අමතරව මෙම දරුවන් ඉදිරියේදී යම් අවශ්‍යතාවක් සඳහා විදෙස් ගත වීමේදී යම් ගැටලුවක් ඇති වුවහොත් ඒ වෙනුවෙන් ද විශේෂ වැඩපිළිවෙළක් යෙදීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අදාළ දරුවන් ජාතික කණ්ඩායමක් නියෝජනය කළ බවත් ඉහත අවස්ථාවේදී ඔවුන්ගේ වීසා බලපත්‍ර අවලංගු වී තිබුණේ වෙනත් කරුණක් හේතුවෙන් බවත් සඳහන් කරමින් මෙම දරුවන්ට විශේෂ ලිපියක් ලබා දීමටත් අපි තීරණය කරනු ලැබූවා” යනුවෙන් පැවැසීය.

ගමිත දෙහිපිටිය