බයිසිකල් හොරෙක් පල්ලමින් අල්ලයි

0
14

පල්ලම ඇතුළු ප්‍රදේශ ගණනාවකින් පාපැදි හොරකම් කර එහි බාහිර ස්වාභාවය වෙනස් කර ඉහළ මිල ගණන්වලට අලෙවි කළ පුද්ගලයකු පල්ලම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පල්ලම ගල්වල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සන්තකව තිබූ පාපැදි 12ක්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරු විසින් එසේ සොරාගන්නා ලද යතුරුපැදි නැවත එකලස් කර තීන්ත ආලේප කර රුපියල් 90,000 දහසේ සිට පහළ මිල ගණන් යටතේ අලෙවි කර ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මහමඟ සහ නිවෙස්වල තිබූ පාපැදි අතුරුදන්වීම සම්බන්ධයෙන් හලාවත, ආරච්චිකට්ටුව, මුන්දලම, පල්ලම, රස්නායකපුර, ආණමඩුව යන පොලිස් ස්ථානවලට පැමිණිලි රාශියක් ලැබී තිබූ බවද පොලිසිය පවසයි.

මේ වන විට සැකකරු විසින් පසුගිය කාලය තුළ සොරා ගන්නා ලද පාපැදි 20කට අධික සංඛ්‍යාවක් අලෙවි කර ඇති බව පවසන පොලිසිය පසුගිය කාලය තුළ නිවෙස්වල ඇති වතුර මෝටර් සහ තණකොළ කපන මැෂින්ද සොරාගෙන ඇති බවත් එසේ සොරාගත් වතුර මෝටරයක් සහ තණකොළ කපන මැෂිමක්ද සැකකරු සතුව තිබියදී අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.

මේ වන විට එසේ අලෙවි කරන ලද පාපැදි සෙවීමටද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය පැවැසීය.

සැකකරු සමඟ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පල්ලම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී සිරිවර්ධන මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිමල්, පොලිස් සැරයන් අතපත්තු (24055), රස්නායක (72509), පොලිස් කොස්තාපල් අමිත් (79185) යන පොලිස් නිලධාරීහුද වැඩිදුර පරීක්ෂණ පවත්වති.

වීහේණ අනුරාධ