බත් කන මිනිසුන්ගේ කතන්දරය

0
90

රාජ්‍ය බැංකු දෙකකින් රුපියල් කෝටි 200ක් ඉල්ලා සිටියත් එය නොලැබුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කොට තිබිණි. ඔහු මේ මුදල ඉල්ලා තිබුණේ යල කන්නයේ වී මිලදී ගැනීම සඳහාය. අමාත්‍යවරයා මේ කතාව කියා තිබුණේ සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රි රෝහණ බණ්ඩාර විමසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

මේ අතර රටින් සහල් ගෙන්වීමද නතර කොට ඇති බව දැනගන්නට ඇත. යම් හෙයකින් ආනයනය කිරීමට ඉඩ දෙනවානම් ඒ වෙනුවෙන් මැදිහත්වන ආනයනකරුවන්ට බදු මුදලක් පැනවිය යුතු බවටද කතාබහකි. මේ රටේ ගොවි ජනතාව යල කන්නය වෙනුවෙන් හෙක්ටයාර් පන්ලක්ෂ ‍ෙදාළොස් දහසක කුඹුරු ප්‍රමාණයක් වගාකොට තිබෙන බවද කියයි.

ඉල්ලා සිටින හැම අවස්ථාවකම අත දිගහැර වග විභාගයක් නැතිව මුදල් ලබාදෙන්නට මේ රටේ කිසිම රාජ්‍ය හෝ රාජ්‍ය නොවන බැංකුවක් සූදානම් නැත. රටේ ආර්ථිකය කෙරෙහි සෘජු බලපෑමක් කළ හැකි බැංකු පද්ධතිය බිඳ නොවැටී ශක්තිමත්ව පවත්වාගෙන යන්නට හැකිවී තිබෙන්නේ ඊට ආවේණික වූ නිසි කළමනාකරණයක් ක්‍රියාත්මකව ඇති බැවිනි.

රටේ දේශපාලන අධිකාරිය සෘජුවම බැංකුවලට ඇඟිලි ගහන්නට ගියොත් එය තවත් බරපතළ අනතුරකට අත වැනීමක් විය නොහැකිද? මහ  බැංකුව ස්වාධීන ආයතනයක් සේ පවත්වාගෙන යෑමේ වැදගත්කම ගැන මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ අවස්ථා කිහිපයකම පැහැදිලි කොට තිබේ. කෘෂිකර්ම අමාත්‍යවරයාද ඒ සම්බන්ධව යම් දැනීමක් ඇතිව සිටිනවාය යන්න අපේ හැඟීමය.

වර්තමානයේ මේ රටේ පවතින කුඹුරු බිම් ප්‍රමාණය අක්කර 1,944,112කි. වසරින් වසර මේ බිම් ප්‍රමාණයෙන් වගාවට යට කරන භූමි ප්‍රමාණය අඩු – වැඩි වෙයි. සමස්ත භූමි ප්‍රමාණයම කිසිම වසරක වගාවට යටවුණු බවක් වාර්තා වී නැත. ගෝඨාභය ආණ්ඩුව බලයට පැමිණි සැණින් රසායන පොහොර තහනමත් සමඟ පැනනැඟුණු බරපතළ පොහොර හිඟය හේතුවෙන් මේ භූමි ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් කන්න කිහිපයක්ම පිට පිටම වී වගාවෙන් බැහැරව තිබූ බව පෙනෙයි. මහජනතාවගේ ආකර්ෂණයට පාත්‍ර වුණු ආණ්ඩුවක් මහජනතාව විසින්ම ප්‍රතික්ෂේප කරන තැනට කටයුතු සැලසුණේ පෙනෙන මානයක විසඳුමක් නොතිබුණු පොහොර අර්බුදයත් සමඟය.

මේ රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය බත්ය. බතට සහල් අවශ්‍යය. සහලට වී අවශ්‍යය. වීයට කුඹුරු ගොවිතැන තිබිය යුතුය. ගොවිතැනට පොහොර නැතිවම බැරිය. ඒවා රසායනිකද? කාබනිකද? යන ගැටලු එන්නේ පසුවටය. පසුගිය කාලය තුළ සිදුවුණේ මේ කියන එක පොහොරක්වත් නිසි කලට, නිසි පරිදි නිසි මිලට නොලැබීමය. බත් කන මිනිසුන්ට හාල් ටික, වී ටික නැතිවන තැනට කටයුතු සැලසීම ජාතික අපරාධයකි. මහින්ද අමරවීර අමාත්‍යවරයාට දැන් කරගසන්නට සිදුව තිබෙන්නේ බරපතළ ජාතික අපරාධයකින් බැට පිට බැට කකා එදාවේල සරිකරගත නොහැකිව අන්ත අසරණව සිටින ගොවි ජනතාවගේ ප්‍රශ්නවලටය.

‘සල්ලි ඉල්ලුවා දුන්නේ නෑ’ කියාගෙන අත් බැඳගෙන ප්‍රශ්නවලින් කර ඇර සිටින්නට කෘෂිකර්ම අමාත්‍යවරයාට පුළුවන්කමක් නැත. 2048දී තමයි මේ රටේ ඔක්කොම ප්‍රශ්න සහමුලින් විසඳෙන්නේ.  එතෙක් කාට කාටත් දුක් විඳින්න වේවි. ඉදිරියට අදටත් වඩා අමරු වේවි. මේ කතා කිය කියා මේ රටේ ජනතාවට නැළවිලි ගීත කියන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහට පුළුවන්ද? මේ රටේ ගොවි ජනතාව සමඟ සෙල්ලම් කරන්නට විෂය භාර අමාත්‍යවරයාට පුළුවන්ද? ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපති ධුරය හැරගිය පසු හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පොහොර ගැටලුවෙන් තමා නිදහස් කරන ලෙස ඉල්ලීමක් කරයි. ඔහු වගකීම තමා අත නොවූ බවද කියයි.  ඒ කාලයේ මෝල් මාෆියාවක් ගැන බරපතළ ලෙස චෝදනා මුඛයෙන් කතා කළේ ඔහුය. මාෆියාව කුඩුපට්ටම් කරන බවට වහසි බස් දෙඩුවේද ඔහුය. ප්‍රශ්නය විසඳන්නට රටින් හාල් ගේන බවට කතන්දර කියමින් හාල් ගෙනැවිත් සතොස මඟින් ටිකක් මිල අඩුකොට දෙන්නට පටන්ගෙන, පිට පිටම ගැසට් ගැහුවේ බන්දුල ගුණවර්ධන හිටපු අමාත්‍යවරයාය. මේ සියල්ල මැද ආයෙත් දැන් මෝල් මාෆියා ගැන, හාල් මාෆියා ගැන, වී මාෆියා ගැන කතා කරන්නට සිදුවී තිබේ.

බැංකු දෙකෙන් මුදල් නිදහස් කිරීමේ කටයුත්ත මන්දගාමී වීම ගැන විෂය භාර අමාත්‍ය අමරවීර කනස්සල්ලට පත්ව සිටී. ඔහු මීට පෙර අවස්ථාවක බැංකුව හා සම්බන්ධ ගැටලුවක් විසඳන්නට මැදිහත්වුණු හැටි ගැන ආඩම්බරයෙන් කියයි. ඒ ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය මඟින් රාජ්‍ය බැංකුවකට බැර කළ රුපියල් කෝටි 30ක මුදලක් ගැන කතාවකි.

මේ අතර වී අලෙවි මණ්ඩලයේ දඹුල්ල කණ්ඩලම ප්‍රධාන වී ගබඩාවේ සිදුවුණු වී මිටි දෙසීයක් තරම් ප්‍රමාණයක සොරකමක් ගැනද පොලිස් පැමිණිල්ලකි. මණ්ඩලයේ හොරුන් මදිවාට දැන් පිටස්තරයෙත් හොරුන්ය.

මේ රටේ වාර්ෂික සහල් පරිභෝජනය මෙටි්‍රක් ටොන් මිලියන 2.5ක් පමණ බව කියයි. මෙම සහල් අවශ්‍යතාවෙන් 50%ක් පමණ ප්‍රමාණයක් සපුරාලන්නට සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් කටයුතු කරන බව දැනගන්නට ඇත. එහෙත් මහා පරිමාණ වී මෝල් මේ කටයුත්තට අත ගසන්නට පටන්ගත් දා පටන් සහල්-වී මිලට ගැනීම, සහල් ගබඩා කිරීම, බෙදාහැරීම යන සියලු කටයුතු සම්බන්ධව ඒකාධිකාරයක් ගොඩනඟා ගන්නට කටයුතු යොදා ඇති බව පෙනේ.

ආණ්ඩුවේ වී මිලට ගැනීමේ ක්‍රියාවලිය අඩපණ වී ගියේ, පොහොර කළමනාකරණය සම්බන්ධව පැවැති අසමත්කමෙන්ද පාඩම් ඉගෙනීමක් නැතිවය. වී මිලට ගැනීම සම්බන්ධව සහතික මිලක්ද නියම කොට ඒ සම්බන්ධව යුද හමුදා සහායද ලබාගනිමින් කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාවට නඟන්නට ආණ්ඩුව සැලසුම් කළත් එයද සාර්ථක වුණේ නැත.

2015 _ යල කන්නයේ සිට 2019 _ 2020 මහ කන්නය දක්වා කාලපරිච්ඡේදය තුළ මෙරට සමස්ත වී නිෂ්පාදනය මෙටි්‍රක් ටොන් 19,554,964කි. රජය මඟින් ඒ කාලය තුළ මිලට ගෙන තිබුණේ වී මෙටි්‍රක් ටොන් 3,69,183.8ක් පමණි. එය සමස්ත වී නිෂ්පාදනයෙන් 1.88%කි. මහින්ද අමරවීර අමාත්‍යවරයා සත්භාවයෙන් යුතුව දරන උත්සාහය වැදගත් වන්නේ අතීත කතාව  ඒ තරමටම අප්‍රසාදජනක බැවිනි.

බරපතළ ආහාර අර්බුදයක් දැන් අප ඉදිරියෙහිය. ඊට මුහුණ දෙන්නට අද අදම සූදානම් විය යුතුව තිබේ. මේ කතන්දරයේදී ප්‍රධාන තේමාව හාල්ය. හාල් සපයා ගන්නට වී ටික සුද්ද කරගත යුතුය.