පියා පැද වූ රියට යටවී අවුරුදු 2ක දියණිය මරුට

0
238

පියා පැද වූ වාහනයට යටවීමෙන් අවුරුදු දෙකක් වයසැති කුඩා දියණියක ඊයේ (8දා)  මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ තඹලගමුව නයන මාතිඩල් හි පදිංචි අවුරුදු දෙකයි මාස දෙකක් වයසැති සචිත්‍රා වඩිවේල් නමැති කුඩා දියණියකි.  පවුලේ උදවිය සමඟ මංගල උත්සවයකට සහභාගි වීම සඳහා යෑමට තමාට අයත් කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථය පණගන්වා ඇති පියා එය මහාමාර්ගයට ගැනීමට  ආපස්සට පදවා තිබේ.

එවිට ඔහුගේ දෙහැවිරිදි දියණිය වාහනය දෙසට දිවැවිත් එහි පසුපස ගැටී ඇත. එහෙත් ඒ බව නොදත් පියා වෑන් රථය තවදුරටත් පසුපසට ධාවනය කර ඇති අතර එහිදී මෙම සිඟිත්තිය රථයේ  පසුපස වම් රෝදයට යටවී තිබේ.

බරපතළ තුවාල ලැබූ දැරිය කෝවිල්අඩි ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගියද රෝහල වෙත යොමු කරන විටත් ඇය මියගොස් ඇති බව තඹලගමුව පොලිසිය පැවැසීය.

 පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ත්‍රිකුණාමලය රෝහලට දේහය භාරදී ඇත.

සිද්ධිය පිළිබඳව තඹලගමුව පොලිසියේ පොලිස් පරීක්ෂක ඩී. දිසානායක සහ පොලිස් සැරයන්වරුන් වන සුගත් (5745), ආනන්ද (58502), නිසන් (61693) පරීක්‍ෂණ පවත්වති.

සේරුවිල – මනුශංක කාරියවසම්, කන්තලේ – ඩබ්. එම්. වික්‍රමසිංහ