නිවෙසක් තුළ නිදන් සෙවූ සැකකරුවෝ තවදුරටත් රිමාන්ඩ්

0
6

මැණික්හින්න පොලිස් වසමේ ගල්අමුණ ප්‍රදේශයේ නිවෙසක් තුළ අඩි දහයක වළක් හරා නිදන් සෙවූ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් පස්දෙනා පිළිබඳ මැණික්හින්න පොලිසිය පෙරේදා (7දා) දින වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පසු එම සැකකරුවන් යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තෙල්දෙණිය මහෙස්ත්‍රාත් දිසා විනිසුරු එල්.ජේ. වී. ප්‍රනාන්දු මහතා නියම කළේය.

පසුගියදා මැණික්හින්න පොලිස් වසමේ ගල්අමුණු ප්‍රදේශයේ වයස්ගත මවකට වැලඳුණු රෝගයක් සුව කිරීමට පැමිණ යකදුරන් පිරිසක් එම නිවෙස තුළ නිදන් වස්තු ඇති බවට ප්‍රකාශ කිරීමෙන් පසු මල් පහන් තබා නිදන් සොයමින් සිටි මෙම පිරිස එදින මධ්‍යම රාත්‍රියේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් වටලා අදාළ භාණ්ඩ හා පුද පූජා වට්ටි සියල්ල අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම සැකකරුවන් පස්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු හත්වන දින වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මැණික්හින්න පොලිසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අදාළ නිවෙසේ ස්ථාන තවදුරටත් විමර්ශනය කෙරෙන බවත් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

තෙල්දෙණිය – කේ. නිශ්ශංක