නාටකයක් නොවිය යුතු සර්වපාක්ෂික ආණ්ඩුව

0
6

මේ වනවිටත් පැවැති රජය බිඳ වැටී හිටපු ජනාධිපතිවරයාට තම මවු රටෙන් පවා පිටවීමට සිදුවූයේ මහජනතාවගේ දැඩි විරෝධය නිසාම බව අමුතුවෙන් කිවයුතු නොවේ. අන්තයට පිරිහී ගිය රටේ ආර්ථීකය යථාවත් කිරීමට System change එකක් අවශ්‍යම බව සෑම දෙනාගේම පාහේ මතය විය. මෙම තත්ත්වයන් යටතේ සර්වපාක්ෂික වැඩපිළිවෙළක් යටතේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාවද කරලියට පැමිණ ඇත. එහෙත් මේ දක්වා එය ක්‍රියාත්මක නොවීම ජාතියේම ඛේදවාචකයකි.

හිටපු ජනාධිපතිවරයා තම ධුර කාලය අවසන් වීමට මත්තෙන් සිය තනතුරු හැරයෑම නිසා නව ජනාධිපතිවරයකු පාර්ලිමේන්තුව හරහා මේ වනවිට පත්කර ගෙන ඇත. එකම ආසනයක් පවා නොමැති ජාතික ලැයිස්තුවෙන් එම පක්ෂයට ලැබී තිබූ එකම මන්ත්‍රි ආසනයට පත්වී ලෝකයේ කිසිම රටක නොවූ දෙයක් ලෙස ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රි සහාය පිට නව ජනාධිපතිවරයා පත් වූ බව රහසක් නොවේ. එය එසේ වූවා යැයි සිතමු. එවන් තත්ත්වයක් යටතේ System change එකක් සහිතව නව සර්වපාක්ෂික රජයක් පිහිටු වීම ඔහුගේ වගකීම හා කාර්යභාරය වුවද එය මේ දක්වා ඉටු වී නැත. දන්නා තරමින් සියලු පක්ෂ සඳහා මෙම සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවීමට එකී පක්ෂ සඳහා රජය පැත්තෙන් ආරාධනයක් කළද සර්වපාක්ෂික වැඩපිළිවෙළක් මේ දක්වා එළිනොදැක්වීම නිසා එය ලත් තැනම ලොප් වී ඇති බව පෙනේ.

පක්ෂ අතර න්‍යායාත්මක හා වෙනස් මත ගැටුම් අභ්‍යන්තරය තුළ දෝලනය වෙමින් පවතින නිසා මෙම වැඩපිළිවෙළ සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති බව පෙනෙන කරුණකි. මේ අතරතුර මෙම සර්වපාක්ෂික ආණ්ඩුව තුළ ඇමැති තනතුරු බෙදා හදා ගැනීමට දරන උත්සාහයද සුළුපටු නොවේ. පැරණි රජයේ සිටි බහුතර ඇමැතිවරුන් නැවත වරක් මෙම සර්වපාක්ෂික ආණ්ඩුවට අන්තර්ග්‍රහනය වුවහොත් එම ඔළුගෙඩිම සංසරණය වීම නිසා යහපත් ප්‍රතිඵල උදා නොවන බව මතයයි.

කවුරු මොනවා කීවත් මොන බලාපොරොත්තු ඇතිව සිටියත් කඩා වැටී ඇති රටේ ආර්ථිකය යහපත් තැනකට ගෙන දැනට පවතින පෝලිම් ක්‍රමය මුලිනුපුටා දමා ජන ජීවිතය සාර්ථක ලෙස යථාවත් කිරීම පත්වන්නන්ගේ දැඩි වගකීම හා යුතුකම බව අමුතුවෙන් කියාදීමට අවශ්‍යවන්නේද නැත.

මේ වනවිටත් පක්ෂ අතර තම අදහස් එළිදක්වා ඇති අතර ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය දැනට ඔවුන්ගේ මතය ස්ථානගත කර ඇත. ඒ අයගෙන් මෙම සර්වපාක්ෂික ආණ්ඩුවකට ඔවුනගේ සහාය නොලැබෙන අතර සර්වපාක්ෂික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන ලෙස ඔවුන් රජයට ඒත්තු ගන්වා ඇත. මධ්‍යස්ථව මෙම කරුණ පරිශීලනය කිරීමේදී අනිවාර්යයෙන් සර්වපාක්ෂික වැඩපිළිවෙළක් සමාජගත කළ යුතු අතර ඒ අයගේ සියලු දෙනාගේ එකඟතාව මත අද පවතින මෙම තත්ත්වය ගැන සලකා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම අනිවාර්ය විය යුතුය.

මෙහිදී සඳහන් කළයුතු තවත් කරුණක් වන්නේ එක ඡන්දයක් තමන් අත තබාගෙන පාර්ලිමේන්තුවේ ඡන්ද 134ක් ලබාගනිමින් නව ජනාධිපතිවරයා පත් වූයේ නිකම්ම නොවේ. දන්නා තරමින් ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ  මන්ත්‍රිවරුන් එතුමාට ජනාධිපති වීමට සහාය දක්වා ඇත්තේ ඉතිරි අවුරුදු 2 1/2 රාජ්‍ය පාලන කාලය තුළ රජය නොවිසරවීමේ කොන්දේසි යටතේ බව සිතිය හැකිය.

එසේ වූනත් ආර්ථික අර්බුදයකට රට පත්ව සිටින මෙවන් අවධියක සියලුම පක්ෂ එකතුවී සර්වපාක්ෂික වැඩපිළිවෙළක් යටතේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම මොවුනගේ වගකීම වන අතර මෙහි සුක්කානම ක්‍රියාකරන රජයේ මූලික වගකීම ඇත්තේද වත්මන් ජනාධිපතිතුමාට බව සිහිපත් කළ යුතුය. මෙවන් තත්ත්වයක් යටතේ පැහැදිලි වැඩපිළිවෙළක් නොමැතිව විද්‍යාත්මක සීමිත ඇමැති මණ්ඩලයක් යටතේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට නොහැකි වුවහොත් අනිවාර්යයෙන් මෙය “සර්වපාක්ෂික නාටකයක්” වනු නොඅනුමානය.

එම්.ඒ. ජයවීර

ඕකන්ද, අම්බලන්ගොඩ