දේශපාලන පක්‍ෂ හා වෘත්තීය සමිති අද ඒකාබද්ධ ප්‍රකාශයකට අස්සන් තබයි

0
23

ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළට එරෙහිව අඛණ්ඩව මැදිහත්වීම සඳහා අද (09දා) දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති එකතුව ඒකාබද්ධ ප්‍රකාශයකට අස්සන් තැබෙන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු ටෙරන්ස් අංජන රොද්‍රිගෝ ‘මව්බිම’ට පැවැසීය.

කොළඹ ජාතික පුස්තකාලයේදී හවස 2ට සර්වාගමික නායකයන්, විපක්ෂයේ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරු, කලාකරුවන්, සිවිල් ක්‍රියාකාරීන් හා වෘත්තීයවේදීන් එක්ව මේ ඒකාබද්ධ ප්‍රකාශයට අස්සන් තැබෙන බව ඔහු කීය. අරගලයට සම්බන්ධ වූ පිරිස් විවිධ චෝදනා නඟමින් මර්දනය කිරීමට එරෙහිව ඉදිරියේදී පුළුල් පෙරමුණක් ගොඩනැඟීමට සූදානම් යැයිද හෙතෙම පැවැසීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා නඟමින් අත්අඩංගුවට ගෙන ඇති පිරිස හා වෙනත් චෝදනා නඟමින් අත්අඩංගුවට ගත් අරගලයට සම්බන්ධ පිරිස් නිදහස් කරන තුරුත් අඛණ්ඩව මැදිහත්වීමකට මෙහිදී එකඟතාවකට එළැඹෙන බවද ඔහු කීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා මැදිහත්වීමට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා භික්ෂු බල මණ්ඩලය සූදානම් යැයිද හෙතෙම තවදුරටත් පැවැසීය.

සවනි ශේශාධි