දමිතා රිමාන්ඩ්

0
14

පසුගිය ජූලි මස ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රවීණ නිළි දමිතා අබේරත්න. ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ – කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (08දා) නියෝග කළේය.

සැකකාරිය මීට පෙර එක් සිද්ධියකට ඇප මත සිටිමින් එවැනිම තවත් වරදක් කිරීමෙන් ඇප පනත උල්ලංඝනය කර ඇතැයි සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා ඒ අනුව සැකකාරියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

පසුගිය ජූලි 14 වැනිදා දින ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වෙමින් එහි දේපළවලට ද හානියක් කරමින් මෙම සැකකාරිය වරදක් කර ඇති බව කොම්පඤ්ඤවීදිය පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට කොම්පඤ්ඤවීදිය පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

තම සේවාදායිකාව වරදක් කර නොමැති බව ප්‍රකාශ කළ ජනාධිපති නීතිඥවරයා ඇයට ඕනෑම ඇප කොන්දේසියක් මත ඇප ලබාදෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මීට පෙරද අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමේ සිද්ධියකට අදාළව ඇප මත සිටිමින් මෙම සැකකාරිය මෙම වරද කර ඇප පනතේ 14(3) වගන්තිය උල්ලංඝනය කර ඇතැයි සඳහන් කරමින් සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

හංසි නානායක්කාර