තිස්තුන් කෝටියේ ‘සණස’ මුදල් වංචාවේ සැකකරුවෝ 21දා දක්වා යළි රිමාන්ඩ්

0
10

අධිකරණයක විභාග වන නඩුවකට රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයකින් ලේඛනයක පිටපතක් ඉල්ලූ විට සත්‍ය වාර්තා පිටපතක් අධිකරණයට ලබාදිය යුතු වුවද මුදුන්ගොඩ සණස මූල්‍ය වංචා නඩුව වෙනුවෙන් අදාළ නිලධාරීන් ඉදිරිපත් කර ඇති ලේඛන අසම්පූර්ණ වීමෙන් අධිකරණය අපහසුතාවට පත්වී ඇතැයි ගම්පහ අංක දෙක අධිකරණයේ මහෙස්ත්‍රාත් මහේන්ද්‍ර රාජා මහතා මෙම නඩුව 6 වැනිදා යළි කැඳවූ අවස්ථාවේදී   පැවැසීය.

රුපියල් තිස්තුන් කෝටි විසිහතර ලක්ෂයේ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින එම බැංකුවේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ සැකකරුවන් 13 දෙනා මේ මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ විනිසුරුවරයා සාමාන්‍ය නඩු සියයක් ඇසීමට වඩා  මෙම නඩුව විසඳීම අපහසු බැවින් සණස නඩුව ඇසීමට පමණක් වෙනම අධිකරණයක් පිහිටුවිය යුතුව ඇතැයිද පැවැසීය.

ගම්පහ පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් මෙම නඩුව ගොනුකර ඇත්තේ පොදු දේපළ පනත යටතේය. 

බස්නාහිර පළාතේ සමුපකාර කොමසාරිස්වරිය නියෝජනය කරමින් මුදුන්ගොඩ සණස මූල්‍ය සමිතියේ ලේකම්වරිය මෙදින විනිසුරුවරයා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අතර පසුගිය නඩුවාරයේදී අධිකරණය ඉදිරියේ පෙනී සිට ප්‍රකාශ ලබාදුන් බස්නාහිර පළාතේ සමුපකාර කොමසාරිස්වරියගේ අස්සන සහිතව  අධිකරණයට ඉදිරිපත් කර තිබූ විගණන වාර්තාව පිළිබඳව විනිසුරුවරයා ලේකම්වරියගෙන් කරුණු විමසීය.

එම අවස්ථාවේ එම වාර්තාවේ 75%ක් කරුණු සත්‍ය යැයි ලේකම්වරිය විනිසුරුවරයා ඉදිරියේ පැවැසීය.

එයට පිළිතුරු දුන් විනිසුරුවරයා මා ඉල්ලා සිටියේ 100% නිවැරැදි සත්‍ය විගණන වාර්තාවක් මිස 75%ක් පිළිගත හැකි වාර්තාවක් නොවේ යැයි ප්‍රකාශ කළේය.

කොමසාරිස්වරිය සිය වගකීම් පැහැර හරිමින් අධීක්ෂණය නොකළ විගණන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීම බරපතළ වරදක් බවත් එතුමියගේ කළමනාකාරීත්වය යටතේ පවතින මූල්‍ය ආයතනයක ඇතිවූ ගැටලුවකදී නීතිය හමුවට ඉදිරිපත් කරන ලිඛිත සටහන් සම්පූර්ණ නිරීක්ෂණයකට ලක්කිරීමෙන් අනතුරුව ඉදිරිපත් කළ යුතු යැයි විනිසුරුවරයා තරයේම කියා සිටියේය.

තුන්වැනි සැකකාරිය වෙනුවෙන් ඉදිරිපත්ව සිටින විත්තියේ නීතිඥ ජනනිත් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැමිණිල්ල සහ විත්තිය යන දෙපාර්ශ්වයම බලවත් අපහසුතාවකට පත්වී ඇති අවස්ථාවක සමුපකාර කොමසාරිස්වරිය මෙම නඩුව විසඳීමට සහාය ලබාදීම වෙනුවට පිළිගත නොහැකි ලිපිලේඛන ගරු අධිකරණයට ඉදිරිපත් කරමින් අධිකරණය හෑල්ලුවට ලක්කරන බව පැහැදිලිවම පෙනී යන හෙයින් ඒ පිළිබඳව පියවර ගත යුතුව ඇතැයි පැවැසීය.

පසුගිය 23 වැනිදා පැවැති නඩුවාරයේදී පළමු වරට අධිකරණය හමුවේ පෙනී සිටි කොමසාරිස්වරිය ශේෂ පත්‍රයක් ඉදිරිපත් කළ බවත්  එහි කිසිම නිලධාරියෙකු අස්සන් කර නොමැති හෙයින් අධිකරණය අපහසුතාවට ලක්වෙන බව පෙනී යන බවත් නීතිඥවරයා පැවැසීය.

එමෙන්ම මුදුන්ගොඩ සණස මූල්‍ය ආයතනයේ මිලියන 336ක මුදල් තැන්පතුවක් තිබෙන බවත් ගෙවීමට ඇති මුදල රුපියල් මිලියන 286ක් බවත් තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීමට හැකියාව ඇති අතර හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය නිරපරාදේ සිරගතව සිටින බවත් විත්තියේ නීතිඥ ජනනිත් ද සිල්වා මහතා පැවැසීය.

පැමිණිල්ලේ නීතිඥ ප්‍රියන්ත ජයවර්ධන මහතා විත්ති පාර්ශ්වයේ නීතිඥ මහතාගේ ප්‍රකාශය සනාථ කරමින් ඉකුත් 23 වැනිදා පැවැති නඩුවාරයේදී පොලිසිය ඉදිරිපත් කළ 2016/17/18 වසරවල විගණන වාර්තා අධිකරණයේදී දකින තෙක් එතුමිය නොදුටු බව පැවැසීම සම්පූර්ණ අසත්‍යක් බව තමන් විසින් එදින අධිකරණය ඉදිරියේදී ඔප්පු කර පෙන්වූ බව ප්‍රකාශ කළේය.

 කොමසාරිස්වරිය මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් වගකීම් විරහිතව ක්‍රියාකර ඇති බව වැටහුණු බැවින් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කරන ලෙස මීට මාස හතරකට පමණ පෙර පොලිසියෙන් ඉල්ලීමක් කළ නමුත් එය මෙතෙක් ඉටුවී නැති බැවින් වගකීම් පැහැර හරින මෙම රාජ්‍ය නිලධාරිවරිය පිළිබඳව නීතිපතිවරයා දැනුවත් කරන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටින බව පැමිණිල්ලේ නීතිඥ ප්‍රියන්ත ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.

තවද බැංකුව සතු දේපළක් විකුණා ලබාගත්  රුපියල් කෝටි පහක මුදලක් ඇතැයි කොමසාරිස්වරිය අධිකරණයට පැවසූ බැවින් මෙම නඩුවේ තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම කඩිනමින් සිදු කරන ලෙස ඉල්ලා සිටියේය.

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් දහතුන් දෙනාගෙන් කාන්තාවන් හය දෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් මෙදින අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ගම්පහ පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් ගුණසේකර (66319) මහතා අධිකරණයට කරුණු දැක්වීය.

කැලණිය _ කුසුම් එස්. හැන්නදි