තවත් බදු පනත් කෙටුම්පතක් වැඩි ඡන්ද 81කින් සම්මතයි

0
7

සමාජ ආරක්‍ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත වැඩි ඡන්ද 81කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (8දා) සම්මත විය.

පනතට පක්‍ෂව ඡන්ද 91ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 10ක් පමණි.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ආණ්ඩුවේ සිට ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ 13 විපක්‍ෂ කණ්ඩායම, විමල් වීරවංශ ප්‍රමුඛ ස්වාධීන පක්‍ෂ නවයේ කණ්ඩායමේ මන්ත්‍රිවරු මෙසේ පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

ඡන්දය විමසන අවස්ථාවේදී පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රිවරුන් 123 දෙනකු සභාවේ නොසිටීම විශේෂත්වයකි.

නිෂ්පාදනය, බෙදාහැරීම  සහ අලෙවිය මත බදු අය කිරීමට අදාළ විධිවිධාන මෙම බදු පනත් කෙටුම්පතට ඇතුළත් වේ.

මෙම පනත විවාදයකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිතව තිබූ අතර එම පනතට පාර්ලිමේන්තුවේ විවාදයක් අවශ්‍ය බව ඉල්ලා සිටියේ ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි අනුර කුමාර දිසානායක විසිනි.

ඒ අනුව ආණ්ඩු පක්‍ෂය මීට විවාදයක් ලබාදුන්නේය.

අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි