තලංගම දේවානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් සමාජ හා ආගමික සේවා රැසක් අද සිට

0
18

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි ශ්‍රී  ලංකාරාමාධිපති හා ඉන්දියානා විහාරාධිපති, ෆාදර් ජෝන් බෞද්ධ මධ්‍යස්ථානාධිපති, කෝට්ටේ රාජමහා විහාරාධිකාරි, තලංගම දේවානන්ද (භන්තේ දේවානන්ද) හිමියන්ගේ මූලිකත්වයෙන් අද (9දා), හෙට (10දා) සහ අනිද්දා (12දා) තෙදින විශේෂ සමාජ හා ආගමික සේවා රැසක් මෙරටදී පැවැත්වීමට සැලසුම් කර ඇත.  

ගම්පොළ කහවත්ත  කනිෂ්ඨ විදුහලේ සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා ඉදිකළ පරිගණක මධ්‍යස්ථානය අද (9දා) විවෘත කෙරේ. ජපානයේ හිටපු තානාපති සංජීව ගුණසේකර ඇතුළු පිරිසක් මේ සඳහා දායකත්වය  දී ඇත. මෙයට අමතරව ගම්පොළ කහවත්ත ප්‍රදේශයේ වෙසෙන රෝගී දරුවකුට අවශ්‍ය සියලු පහසුකම් සහිතව ඉදිකළ කුටියක් එම දරුවාට පරිත්‍යාග කිරීමද සිදුවේ.

ඇමරිකාවේ ලංකාරාමය හා ඉන්දියානා බෞද්ධ විහාරයේ මෙවර කඨින පින්කම සඳහා වැඩමකරන කඨින චීවරය බැතිමතුන්ට වන්දනා කර ගැනීමට අවස්ථාව සැලසීමේ පින්කම හෙට (10දා) පෝයදා කෝට්ටේ රජමහා විහාරයේදී පැවැත්වේ.

එම කඨින චීවරය හෙට සවස 5ට කෝට්ටේ රජමහ  විහාරයේ බෝධින් වහන්සේ අසල සිට සමාධි බුද්ධ ප්‍රතිමාව දක්වා පෙරහරකින් වැඩමවා තැන්පත් කෙරේ. ආර්ථික දුෂ්කරතා නිසා පීඩාවට පත්ව සිටින රටපුරා සිටින පවුල්වලට ඉන්දියාවේ සිට ගෙන්වූ සහල් තොග බෙදාදීමේ මූලික වැඩසටහන අනිද්දා (12දා) උදෑසන කෝට්ටේ රජමහා විහාරයේදී පැවැත්වේ. දේවානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් ජපානයේ හිටපු තානාපති සංජීව ගුණසේකරගේ අනුග්‍රහයෙන් මේ කටයුතු කෙරේ.