ගොවිජන සේවා බල ප්‍රදේශවල ලොකු ලූනු අස්වැන්න නෙළීම ඇරැඹේ

0
13

දඹුල්ල, සීගිරිය, දේවහුව, ගල්කිරියාගම හා පුබ්බෝගම ආදී ගොවිජන සේවා බල ප්‍රදේශවල වගා කෙරුණු දේශීය ලොකු ලූනු අස්වැන්න නෙළීම මේ දිනවල ආරම්භ වී තිබේ.

අස්වනු වෙළෙඳපොළට ලැබීමත් සමඟ දේශීය ලොකු ලූනු කිලෝවක උපරිම තොග ගැනුම් මිල රුපියල් 80 සිට 140 දක්වා පවතින බවත් ගොවීහු පෙන්වාදෙති. විශාල පිරිවැයක් මෙවර ලොකු ලූනු වගාව සඳහා ගොවීන් වියදම් කළද එතරම් සාර්ථක අස්වැන්නක් නොලැබීම නිසා ලැබෙන මුදල ප්‍රමාණවත් නොවන බව දේශීය ලොකු ලූනු ගොවීහු පවසති.

 විදේශීය රටවලින් ගෙන්වන ලොකු ලූනු වෙළෙඳපොළේ විශාල වශයෙන් පවතින බවත් ඉතාමත් අනර්ඝ තත්ත්වයේ පවතින දේශීය ලොකු ලූනු සඳහා රුපියල් 130ක, 140ක මිලක් ලැබුණත් එවැනි ගුණාත්මක ලූනු ඉතා අඩු ප්‍රමාණයක් ලැබෙන නිසා තමන්ගේ නිෂ්පාදන කොටස් කිරීමේදී ලැබෙන්නේ කිලෝවකට රුපියල් 50ත් 60ත් අතර මිලකට බව ඔවුහු පෙන්වාදෙති. සීගිරිය ප්‍රදේශයේ ගොවීන් බොහෝදෙනකු සිය අස්වැන්න නෙළීම ආරම්භ කොට ඇති අතර මෙවර වියදම් කළ මුදල හෝ ලබාගැනීමට නොහැකි බව ඔවුහු කියති.

ලබන කන්නේ දේශීය ලොකු ලූනු වගාවට සමුදෙන බවද අස්වනු නෙළන ගොවීහු පවසති. දේශීය ලොකු ලූනු අස්වැන්න නෙළා ලොකු ලූනු කිලෝවක් කපා ඉවත් කිරීමට කුලිය වශයෙන් කම්කරුවකුට කිලෝවකට රුපියල් හතරක මුදලක් දෙන බවත් ගොවීහු පවසති. දවසේ කුලිය හෝ සොයා ගැනීමට ලොකු ලූනු කැපීම කර ගැනීමට නොහැකි බව කම්කරුවෝ පවසති. මන්ද එතරම් ලොකු ලූනු මෙවර කුඩාවට පැවැතීම සහ වැස්ස නිසා විනාශ වීම සිදුව ඇති බව කම්කරු කාන්තාවෝ කියති.

 මෙවර දේශීය ලොකු ලූනු වගාව සඳහා රුපියල් 25,000කට අධික මිල යටතේ පොහොර සහ අනෙකුත් සෑම යෙදවුම් මිල ඉහළ ගොස් තිබියදී දේශීය ලොකු ලූනු ගොවියාට මෙවර අස්වැන්නෙන් විශාල හානියක් සිදුව ඇති බව ඔවුහු පෙන්වාදෙති. කෙසේ වෙතත් විදේශීය රටවලින් ගෙන්වන ලොකු ලූනු සඳහා යම්කිසි බදු මුදලක් පැනවීම් කළහොත් දේශීය ලොකු ලූනු ගොවියාට යම් මට්ටමකින් සාධාරණයක් ඉටුවී වියදම හෝ අඩුකර ගත හැකි වන බව දේශීය ලොකු ලූනු ගොවීහු පෙන්වා දෙති.