කුඩහපොළ ගෑස් අලෙවිසලකට පැන සිලින්ඩර 16ක් සොරාගෙන

0
10

ජා-ඇළ කුඩහපොළ ප්‍රදේශයේ ගෑස් අලෙවිසලකට පැන එහි තිබූ ගෑස් සිලින්ඩර 16ක් සොරා ගත් පුද්ගලයකු සමඟ ආධාර අනුබල දුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

කුඩහපොළ ප්‍රදේශයේ ගෑස් අලෙවිසලකට රාත්‍රි කාලයේදී එහි පිටුපස යකඩ ‍ෙදාර කඩා ඇතුළු වී මෙම ගෑස් සිලින්ඩර හොරකම කර ඇති බව පොලිසිය කීය. එලෙස සොරා ගන්නා ලද ගෑස් සිලින්ඩර ත්‍රිරෝද රථයක පටවාගෙන ගොස් මාකවිට ප්‍රදේශයේ පුද්ගලයකුට ලබා දී තිබේ. පසුව එම ගෑස් සිලින්ඩර ඒකල ප්‍රදේශයේ ගෑස් අලෙවිසලකට සිලින්ඩරවලින් කොටසක් එකක් රුපියල් 15,000 බැගින් අලෙවි කර තිබූ බව පොලිසිය පවසයි.

ගෑස් සිලින්ඩර හොරකම සම්බන්ධයෙන් පොලිසිය විසින් ආරක්ෂිත කැමරා හා පොලිස් බුද්ධි තොරතුරු අනුව කරනු ලැබූ විමර්ශනයේදී සොරකම ගැන සියලුම තොරතුරු අනාවරණය වීමෙන් පසු පුද්ගලයන් තිදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන අදාළ ගෑස් සිලින්ඩරවලින් කොටසක් ද සොයාගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (08දා) වත්තල මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ජා-ඇළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධර්මප්‍රිය රත්නායක මහතාගේ හා අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගැමුණු ගුණරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක රංජිත් ප්‍රේමසිරි, පොලිස් කොස්තාපල්වරුන් වන ප්‍රදීප් (84045), සුජීව (84955), ප්‍රනාන්දු (38042) යන නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කර තිබේ.

ජා-ඇළ – ප්‍රසංග පාවුළුහේවා