කැස්බෑ සංරක්‍ෂණය නියාමන කැබිනට් තීන්දුව වසර 5ක් තිස්සේ හමස් පෙට්ටියේ

0
19

පෞද්ගලික කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථාන වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කර විධිමත් කිරීමට 2016 දෙසැම්බර් 06 වැනිදා අමාත්‍ය මණ්ඩලය තීරණය කර වසර 05කටත් වඩා ගතවී ඇතත් ඒ විධිවිධාන මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බව විගණන කාර්යාලය සඳහන් කළේය.

කැස්බෑ විශේෂවල බිත්තර කෘත්‍රිම කැදලි සකසා ආරක්‍ෂාකාරීව පැටවුන් මුහුදට නිදහස් කිරීම සඳහා 1980 දශකයේ සිට කැස්බෑ  සංරක්‍ෂණ මධ්‍යස්ථාන පවත්වාගෙන යන බවත් එවැනි මධ්‍යස්ථාන 15කට අධික සංඛ්‍යාවක් දකුණු වෙරළ ආශි්‍රතව ක්‍රියාත්මක බවත් එම වාර්තාවේ සඳහන් කර ඇත.

කැස්බෑවන් විධිමත් ලෙස සංරක්‍ෂණය කළ යුතු සත්ත්ව කාණ්ඩයක් වුවත් වඳවීයෑමේ තර්ජනයට ලක්වෙමින් සහ රතු දත්ත ලේඛනයට ඇතුළත්ව සිටින නිසා වන සත්ත්ව හා වෘක්‍ෂලතා ආඥා පනතේ ඪඪඪ වන කොටසේ 30 වැනි වගන්තිය ප්‍රකාරව බිත්තර එකතු කිරීම, කැස්බෑවන් ළඟ තබා ගැනීම සපුරා තහනම් කර තිබේ.

වනජීවී නීතිය බලාත්මක කිරීමට ප්‍රමාද වීම හේතුවෙන් අති දුර්ලභ කැස්බෑ විශේෂ අතරින් බටු කැස්බෑවන්, ඔළුගෙඩි කැස්බෑවන්, ගල් කැස්බෑවන්, පොතු කැස්බෑවන් හා දාර කැස්බෑවන් ඇතුළු කැස්බෑවුන් විශාල සංඛ්‍යාවක් දෛනිකව මිනිසුන් දඩයම් කරන බවත් ජාතික විගණන කාර්යාලයේ පරිසර විගණන වාර්තාවේ සඳහන් කර ඇත.

වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වසර 05ක් ගතවූවත් නියාමනයට අවශ්‍ය පියවර ගෙන නොතිබීම නිසා කැස්බෑ පැටවුන්ගේ ස්ත්‍රී පුරුෂභාවයේ විශාල අසමතුලිතතාවක් ඇති විය හැකි බවත් එහි දක්වා තිබේ.

එයට හේතුව වනුයේ චලතාපී සත්ත්ව කොටසක් වන කැස්බෑවුන් සඳහා “තාපය”  තම අනාගත පරපුර පවත්වා ගැනීමේ තීරණාත්මක සාධකයක් වුවත් මේ ජෛව විද්‍යාත්මක සාධකය නිසි අවබෝධයකින් තොරව සංරක්‍ෂණය කිරීමට උත්සාහ කිරීම බවත් පරිසර විගණන වාර්තාවේ සඳහන් කර ඇත.

මෙම පෞද්ගලික කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම විධිමත් කර එම මධ්‍යස්ථාන වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කර වාර්ෂික බලපත්‍ර යටතේ පවත්වාගෙන යෑමට අවසර දීම මඟින් නියාමනය කිරීමට අනුමැතිය ලැබී තිබුණද එය වසර 5ක් ඉක්මවා ගියද ක්‍රියාවට නඟා නොමැති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මිතුන් ජයවර්ධන