ක්‍රියාත්මක වීම තුළින් බලාපොරොත්තු ඇති කිරීම ඛ්පඥචබඪදඨ ඩ්ධනඥ ඊඩපධභඨඩ ඒජබඪධද

0
9

එක් වරක් හෝ සිය ජීවිතයෙන් සමුගැනීමට සිතීම ඕනෑම කෙනකුට ඇතිවිය හැකි හැඟීමකි. එම සිතුවිල්ල ගැන කතා කිරීම බොහෝදෙනකු ප්‍රතික්ෂේප කරන්නක් විය හැකිය. එයට හේතුව ජීවිතයෙන් සමුගැනීමේ අදහස් පහළවීම පිළිබඳ කතා කිරීම ජීවිතය හානි කරගැනීමට ඍජු හේතුවක් වන බවට සමාජයේ පැතිර ඇති මිථ්‍යා විශ්වාසයයි.

සුමිත්‍රයෝ ආයතනය පසුගිය දශක හතරක පමණ කාලය තුළ දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ට සිය ජීවිතයේ දුෂ්කරතාවලට මුහුණදීම සඳහා ‘හිතමිතුරුකරණය’ (befriending) හරහා වැදගත් මෙහෙයක් ඉටු කළ සංවිධානයකි. විවාහ අසමඟිය, කළමනාකරණය කළ නොහැකි ණය, රැකියා ස්ථානයේ හෝ පාසලේ ගැටලු, සම වයස් කණ්ඩායම්වල පීඩනය, චිත්තවේගීය යහපැවැත්මට බාධා පමුණුවන අනෙකුත් ගැටලුකාරී තත්ත්වයන් නිසා අසහනයෙන් හෝ බලාපොරොත්තු සුන්වීමෙන් පසු වන්නන්ට සුමිත්‍රයෝ ආයතනයේ සහාය ලබාගත හැකිය. සුමිත්‍රයෝ හා සම්බන්ධ වීමෙන් සියදිවි නසාගැනීමේ සීමාවෙන් මෙපිටට ගිය බව පවසන පුද්ගලයන්ගේ සංඛ්‍යාව, අප සමාජයේ චිත්තවේගී පීඩාවේ තරම ඍජුවම හෙළිදරව් කිරීමක් වැනිය.

විශේෂයෙන් සමකාලීන ශ්‍රී ලංකාව තුළ මරණ සංඛ්‍යාව ඉහළ යෑමට තරුණ තරුණියන් විසින් අත්විඳින කාර්යබහුල ජීවන රටාව හේතු වී ඇත. ජීවත්වීම සඳහා මවුපියන් දෙදෙනාම වැඩ කළ යුතු තරුණ පවුල් තුළ සමාජ ගැටලු ලැයිස්තුවක් මතුවෙමින් තිබේ. එනම් එකිනෙකා වෙනුවෙන් කාලය වෙන් කිරීමට අපහසු වීම, දිගු වේලාවක් රැකියාව කිරීමෙන් පසු ගෙදර ‍ෙදාර කටයුතු හසුරුවා ගත නොහැකි වීම, කේබල් ටීවී සහ බටහිර සංස්කෘතිය විසින් බලපෑම් කරන ලද ජීවන රටාව, අන්තර්ජාලයට සහ සමාජ මාධ්‍ය වේදිකාවලට පහසුවෙන් ප්‍රවේශ වීම හරහා සබඳතාවලට දැඩි පීඩනයක් එල්ල වීම මෙන්ම එක් මවුපියෙක් විදේශ රැකියාවක නිරත වනවිට නිවෙසේ රැඳී සිටින අනෙකාට විවිධාකාරයේ සංකීර්ණ ගැටලුවලට මුහුණ දීමට සිදුවීම මේ අතර වේ. සුමිත්‍රයෝහි සහාය ලබන්නන් නිරන්තරයෙන් මෙවැනි ගැටලු වාර්තා කරයි.

බොහෝවිට සුමිත්‍රයෝහි උපකාර පතන්නන් සිටින්නේ තම ගැටලුවට තවදුරටත් මුහුණදීමට නොහැකි තත්ත්වයක් තුළය. එවැනි මොහොතක කෙසේ හෝ අප ආයතනය ගැන සැලවී අවසන් පියවර ලෙස ඒ වෙත යොමුවූවන් විරල නොවේ. පීඩාවට පත් වූ පුද්ගලයන් කොළඹ පිහිටි මධ්‍යස්ථානයට පැමිණ ලිපි මඟින්, දුරකථනයෙන් හෝ විද්‍යුත් තැපෑල හරහා සුමිත්‍රයෝ හා සම්බන්ධ වේ. එහිදී ඔවුන් තම බිය සහ කනස්සල්ල ගැන සැලකිලිමත්, විනිශ්චය නොකරන සහ අවබෝධයෙන් පසුවන පුහුණු සුමිත්‍රයකු සමඟ කතා කිරීමෙන් සහනයක් ලබයි.

විශේෂ පුහුණුවකින් යුතු ස්වේච්ඡා සේවකයන් ‘සුමිත්‍රයකු’ ලෙස කටයුතු කරන අතර මෙහිදී අවවාද දීම, විවේචනය කිරීම සහ ආගමානුකූල උපදෙස්දීම සිදු නොකරන අතර ගැටලුව ඇති තැනැත්තාට තමන් මුහුණ දී ඇති වාතාවරණය සමඟ එකඟ වී ආත්මවිශ්වාසය ගොඩනඟා ගෙන එකී තත්ත්වය මනාව කළමනාකරණය කරගැනීමට කිරීමට සහාය වේ. මෙම සහාය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ලබාගත හැකිය. බොහෝවිට පුද්ගලයකු සියදිවි නසා ගැනීමට පෙලඹෙන්නේ මිතුරන් හෝ ඥාතීන් සමඟ තම ගැටලුව සහ ඊට අදාළ හැඟීම් හුවමාරු කර ගැනීමේදී තමාව අවබෝධ කර නොගැනීමෙන් ඉදිරියේදී විඳීමට සිදුවන ලැජ්ජාව, නින්දාව වැනි හැඟීම් පිළිබඳ සිතුවිල්ලෙනි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සියදිවි නසා ගැනීම කෙනකුගේ ජීවිත කාලයේ ඕනෑම අවධියකදී සිදුවිය හැකිය. 2019 දත්තවලට අනුව මෙය ලොවපුරා අවුරුදු 15-29 වයස් කාණ්ඩයේ මරණ සඳහා සිවුවැනි හේතුව වශයෙන් ද දක්වා ඇත. තවද කොවිඩ් – 19 වසංගතය හේතුවෙන්ද වර්තමානයේ පවතින ආර්ථික බිඳවැටීම සහ දේශපාලනික ක්‍රියාවලි හේතු කොට ගෙනද ජනතාවගේ මානසික සුබ සාධනයට තර්ජන එල්ල වී ඇත. සියදිවි නසා ගැනීම සංකීර්ණ ගැටලුවක් වන අතර ඒ සඳහා තනි හේතුවක් නොමැත. එය ජීවවිද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක, සමාජීය, සංස්කෘතික හා පාරිසරික සාධකවල සංකීර්ණ අන්තර් ක්‍රියාකාරිත්වයක ප්‍රතිඵලයකි. සියදිවි නසාගැනීම්වලට වාර්ගික හෝ පන්ති භේදයක් නොමැත. කෙසේ වෙතත් සියදිවි නසාගැනීම් වළක්වා ගත හැකි අතර සියදිවි නසාගැනීම වැළැක්වීම සමාජයේ සිටින සැමගේ වගකීමකි.

බොහෝවිට සියදිවි නසා ගන්නා පුද්ගලයකුට තමා තම ගැටලුව සමඟ හුදෙකලා වී සිටින බවක් දැනෙන අතර එය තම ධාරිතාව තුළ මෙහෙයවා ගත නොහැක්කක් සේ හැඟේ. මිනිසුන් සියදිවි නසාගැනීම් ගැන සිතන්නේ සිය වේදනාව පාලනය කර ගැනීම සඳහා තමන් සතු සම්පත් ඉක්මවා ගිය විටදීය. මෙවැනි අවස්ථාවලදී ඔවුන්ගේ පීඩනකාරී තත්ත්‍වය ගැන විනිශ්චය නොකර පිළිගන්නා, අවබෝධයෙන් යුතුව කටයුතු කරන, සැලකිලිමත් පුද්ගලයකු සමඟ කතා කිරීමෙන් තත්ත්වය කෙරෙහි වෙනස් දෘෂ්ටියකින් බැලීමට යොමුවීම සියදිවි නසා ගැනීමේ ආවේගය දුරු කිරීමට උපකාරී වේ. ‘හිතමිතුරුකරණ’ සේවාවන්ට අමතරව සියදිවි නසාගැනීම් පිළිබඳ දැනුවත් වීම සහ වැළැක්වීම පිළිබඳ උනන්දුවක් දක්වන අය සඳහා එදිනෙදා ජීවිතයේ පීඩනවලට මුහුණදීම සඳහා කුසලතා වර්ධනය කිරීමේ වැඩසටහන්ද සුමිත්‍රයෝ විසින් පවත්වනු ලබයි.

සුමිත්‍රයෝ ආයතනයට අනුබද්ධව ‘මෙල් මැඳුර’ නමින් විශේෂිත ඒකකයක් ද ඇත. මෙය 1984දී මද්‍යසාර, මත්ද්‍රව්‍ය යනාදියට ඇබ්බැහි වූවන්ට සහන සැලසීමේ අරමුණින් ස්ථාපනය කරන ලද අතර පසුව එම සේවාව වඩාත් පුළුල් කරමින් චර්යාත්මක ඇබ්බැහිවීම් සඳහා සහාය සැපයීම දක්වා විහිදුවාලන ලදී. මේ හරහා ස්මාර්ට් ජංගම දුරකථන, අනෙකුත් ඩිජිටල් උපාංග, අන්තර්ජාලය, වීඩියෝ ක්‍රීඩා, සමාජජාල, අශ්ලීල වීඩියෝ සහ සූදුව ආදී ඇබ්බැහිවලින් මිදීමට අත්වැලක් සපයනු ලබයි. විශ්වාසනීයත්වය සුරකිමින් ආකර්ෂණීයව සපයන මෙම සේවාව තුළින් තම අනාගතය ගැන බලාපොරොත්තු තැබිය හැකි ආකාරයේ යහපත් හැඟීමක් ඇති කරන නිසා මෙහි පැමිණෙන සේවාලාභීන් බොහෝදෙනකු ඉදිරි සැසි සඳහා නැවත පැමිණීමට පසුබට නොවේ.

චිත්තවේගී සහාය ලබාදීම සඳහා වසරේ දින 365ම පෙ.ව. 9.00 සිට ප.ව. 8.00 දක්වා සුමිත්‍රයෝ විවෘතව පවතී. දැඩි ලෙස රහස්‍යභාවය සුරකිමින් නොමිලයේ සපයන මෙම සේවාව හේතුවෙන් සුමිත්‍රයෝ ආයතනයට පැමිණ හෝ දුරකථන ඔස්සේ හෝ විද්‍යුත් තැපෑල මාර්ගයෙන් ලබාගත හැකිය.

සුමිත්‍රයෝ ආයතනයේ තොරතුරු පහත පරිදි වේ.

දුරකථන _ 0112692909/ 0112683555/ 0112696666

විද්‍යුත් තැපෑල – [email protected]

වෙබ් අඩවිය – www.sumithrayo.org

ලිපිනය – අංක 60/බී, හෝර්ටන් පෙදෙස, කොළඹ 7.

මෙල් මැඳුර

දුරකථන _ 0112693460/ 0112694665

විද්‍යුත් තැපෑල – [email protected]

වෙබ් අඩවිය – www.melmedura.org

ලිපිනය – අංක 60, හෝර්ටන් පෙදෙස, කොළඹ 7.