අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සනත් නිශාන්ත උසාවියට කැඳවයි

0
15

අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් කරන ලදැයි යන චෝදනාව  සම්බන්ධයෙන් ලබන 13 වැනිදා. අධිකරණය හමුවට පැමිණ නිදහසට කරුණු ප්‍රකාශ කරන ලෙස ඊයේ (8දා) නව රාජ්‍ය ඇමැතිවරයකු ලෙස පත්වූ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රි සනත් නිශාන්තට අභියාචනාධිකරණය ඊයේ (8දා) නියෝග කළේය.

නිශ්ශංක බන්දුල කරුණාරත්න හා ආර්. ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල එම නියෝගය නිකුත් කළේ ඒ සම්බන්ධයෙන් ගොනු කොට ඇති පෙත්සම් දෙකක් කැඳවූ අවස්ථාවේදීය.

ඉකුත් දිනෙක පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධිකරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් මඟින් ඔහු අධිකරණයට අපහාසයක් කර ඇති බවට නීතිඥවරුන් දෙදෙනකු විසින් මෙම පෙත්සම් දෙක ඉකුත් 29 වැනිදා ගොනු කරනු ලැබ තිබිණි. පෙත්සම් දෙක ඊයේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර නීතිඥ විජිත කුමාර හා නීතිඥ ප්‍රියලාල් සිරිසේන වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස් හා උපුල් ජයසූරිය යන දෙදෙනා පෙනී සිටිමින් කරුණු දැක්වූහ.

එකී කරුණු දැක්වීමෙන් අනතුරුව විනිසුරු මඬුල්ල විසින් වගඋත්තරකාර සනත් නිශාන්ත මන්ත්‍රිවරයාට ඉහත නියෝගය නිකුත් කරනු ලැබීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු අධිකරණයට අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් මන්ත්‍රිවරයාට සුදුසු දඬුවම් නියම කරන ලෙස ඉල්ලා සිටිමින් මෙම පෙත්සම් ගොනු කොට ඇත.

ලබන 13 වැනිදා පෙත්සම් දෙක යළි කැඳවීමට නියම කෙරිණි.

කමල් මහේන්ද්‍ර වීරරත්න