මන්දපෝෂණ කතාව ගැන සොයන්න විශේෂඥ පිරිසක් ළමා රෝහලට

0
331

රිජ්වේ ආර්යා ළමා රෝහලට එන රෝගී දරුවන්ගෙන් බහුතරයක් මන්දපෝෂණයට ලක්ව සිටිතැයි කියන සිද්ධිය පිළිබඳ සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ කණ්ඩායමක් ඊයේ (සැප්. 7) එම රෝහලට යැවීමට කටයුතු කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ‘මව්බිම’ට පැවසීය.

එම රෝහලට ඇතුළු වන රෝගී දරුවන් බහුතරයක් මන්දපෝෂණයට ලක්ව සිටින්නේ යැයි එහි සේවය කරන විශේෂඥ වෛද්‍යවරයෙකු මාධ්‍යවලට කරන ලද ප්‍රකාශයක් සම්බන්ධව සොයා බැලීමට මෙම කණ්ඩායම යවන ලද බව ද ලේකම්වරයා කීය.

කෙසේ වෙතත්, බරපතළ රෝගීන් ද එන රෝහලක් වන රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් වන රෝගී දරුවන් බොහොමයක් එකී රෝග තත්ත්වයන් නිසා දුර්වල, බර අඩු, කෘෂ හා නිසි පෝෂණයෙන් යුත් අය නොවීමට ඉඩකඩ ඇතැයි ද ඔහු කියා සිටියේ ය.

මෙම ප්‍රකාශය කර ඇති වෛද්‍යවරයා එක් වාට්ටුවක් භාර වෛද්‍යවරයෙකු යැයි ද ඔහු පවසන්නේ එම වාට්ටුවේ තත්ත්වය විය හැකි යැයි ද කී චන්ද්‍රගුප්ත මහතා කෙසේ වෙතත් විධිමත් පරීක්ෂණයක් කර ඒ පිළිබඳ වාර්තාවක් සපයන ලෙස එම කණ්ඩායමට උපදෙස් දුන් බව ද පැවසීය.