හොර පාරෙන් එන ග්ලයිෆොසෙට් ප්‍රමිතියකට නෑ

0
10

රට පුරා තත්ත්වයෙන් බාල ග්ලයිෆොසෙට් කුඩු හා දියර වශයෙන් නීති විරෝධීව අධික මිල ගණන් යටතේ අලෙවි කරන බවත්, දළ වශයෙන් වසරකට රුපියල් බිලියන 1.5ක ග්ලයිෆොසෙට් නීති විරෝධීව මෙරටට ආනයනය කරන බවත් කෘෂිකර්ම  ඇමැති මහින්ද අමරවීර පැවැසීය.

මේ නිසා රජයට ලැබිය යුතු විශාල ආදායමක් වාර්ෂිකව අහිමි වන අතර තත්ත්වයෙන් බාල ග්ලයිෆොසෙට් භාවිතා කිරීම නිසා වන පාරිසරික හා සෞඛ්‍යමය හානිය ගණනය කළ නොහැකි බවත්, ඇමැතිවරයා  අවධාරණය කළේය.  එම නිසා පවතින ග්ලයිෆොසෙට් වල් නාශකය තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් බව ඔහු පැවැසීය.

 “තිරසර බව සමඟ ආහාර අර්බුදය ජය ගැනීම සඳහා ඉදිරි මාවත හා යෝජනා” යන මැයෙන් ශ්‍රී  ලංකා කෘෂි ව්‍යවසායකයන්ගේ සංසදය සමඟ පසුගියදා පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මෙසේ පැවැසීය.

මෙහිදී ග්ලයිෆොසෙට් වල් නාශකය තහනම ඉවත් කිරීම සම්බන්ධව හා එම වල් නාශකය නැවතත් රට තුළ භාවිත කිරීම සම්බන්ධව ඇමැතිවරයා කෘෂි ව්‍යවසායකයන්ගෙන් කරුණු විමසූ අතර ග්ලයිෆොසෙට් තහනම කෘෂිකර්ම  දෙපාර්තමේන්තුව විසින් ඉවත් කරන්නේ නම් ඒවා ආනයනය කිරීම සඳහා තමන් කවර අවස්ථාවක වුවද සූදානම් බවද ව්‍යවසායකයෝ ප්‍රකාශ කළහ.

විශේෂයෙන් බඩඉරිඟු වගාව පුළුල් වශයෙන් වගා කිරීමට සූදානම් වන අවස්ථාවක ග්ලයිෆොසෙට් තහනම ක්‍රියාත්මක කරමින් බඩඉරිඟු වගාව සාර්ථක කර ගත නොහැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පැවැසීය.

එමෙන්ම ග්ලයිෆොසෙට් තහනම කඩිනමින් ඉවත් කළ යුතු යැයිද ඔහු පෙන්වා දුන්නේය.

වී, බඩඉරිඟු ඇතුළු ආහාර බෝග වගාවන් හි අස්වැන්න අවම වීම කෙරෙහි බලපා තිබෙන  ප්‍රබල වල් මර්දන නාශකයක් වන ග්ලයිෆොසෙට් තහනම තවදුරටත් පවත්වාගෙන යායුතු නැති බවත් මෙම මහ කන්නයේදීම නැවතත් ග්ලයිෆොසෙට් ආනයනයට ඉඩ සලසමින් එම තහනම ඉවත් කිරීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත්  සඳහන් කළේය.

නිර්මාණි ගුණරත්න